මීළඟ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා වන පුහුණු සංචිතයෙන් ඉවත් වීමට හිටපු රග්බි නායක ෆසිල් මරීජා තීරණය කොට ඇත. පෞද්ගලික හේතුවක් ඊට බලපෑ බවයි වාර්තා වන්නේ.

හොංකොං හිදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර සඳහා පුහුණු වන සංචිතයට අත්දැකීම් බහුල මරීජාගේ දායකත්වය නොලැබේ. සිය පවුල සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බැවින් ඒ තීරණය ගත් බවයි 32 හැවිරිදි ඔහු පවසන්නේ.

නායකයෙකු සහ ක්‍රීඩකයෙකු ලෙස මරීජාගෙන් වසර ගණනාවක් පුරා ලාංකික රග්බි ක්ෂේත්‍රයට ලැබුණු සේවය අතිමහත් ය. 2015 වර්ෂයේදී නායකත්වයට පත්වීමෙන් පසුද ඔහු සුපුරුදු උද්යෝගයෙන් ක්‍රීඩා කළ අතර එම වසරේදී හොංකොං වලදි පැවති ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට ශ්‍රී ලංකාව සහභාගී විය.

අනාගතය ගැන ඔහු විශ්වාසයෙන් අදහස් දැක්වීය.

“මේ වසරේ අන්තර් සමාජ ලීග් තරගාවලියට මම සහභාගී වෙනවා. නොවැම්බර් මාසයේදී මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරලා එතැන් සිට නැවත ගොඩනැගෙමින් යන්න බලාපොරොත්තු වෙනවා.”

මේ වසරේ මැයි මසදී මැලේසියාවේ පැවැත්වුණු ආසියානු පළමු පෙළ රග්බි තරගාවලියෙන් පසු 15 සාමාජික රග්බි ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කළ මරීජා ආදී කිංස්වුඩ් ක්‍රීඩකයෙකි. ඔහුට මීළඟ වසරේදී නැවතත් සත් සාමාජික ජාතික කණ්ඩායම හා එක්විය හැකි බව ඔහු විශ්වාස කරයි.

මේ වසරේ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර කොළඹදී පැවැත්වෙද්දී ඊට මරීජා සහභාගී නොවීම ශ්‍රී ලාංකික රග්බිලෝලීන්ට කනගාටුවක් ගෙන එන පුවතක් වන අතරම මීළඟ වසරේ ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාවේදී නොපැවැත්වෙන බවද ඔවුනට කනගාටුවක් වනු ඇත.

අත්දැකීම් බහුල අනුරුද්ධ විල්වර හටද ආබාධයක් හේතුවෙන් තරගාවලියට සහභාගී වීමේ වරම අහිමිව තිබේ. සැප්තැම්බර් පළමුවැනිදා ඇරඹෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් සති දෙකකින් නික්ම යනු ඇත.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට