යුද හමුදාව සහ ජාවා ලේන් අවසන් මහා තරගයට

653

FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් තරග දෙකම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එහි දී කොළඹ FC කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජයට පත් කරමින් යුද හමුදා කණ්ඩායමත්, දඬුවම් පහර වටයේ දී සෝන්ඩර්ස් කණ්ඩායම දඬුවම් පහර 5-3ක් ලෙසත් පරාජයට පත්කළ ජාවා ලේන් කණ්ඩායමත් තරගාවලියේ අවසන් මහා තරගයේ තම ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

FA කුසලානය අර්ධ අවසන් වටයට

FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරග මෙම සති අන්තයේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී කොළඹ FC කණ්ඩායමට එරෙහිව යුද හමුදා කණ්ඩායමත්, සෝන්ඩර්ස් කණ්ඩායමට…

යුද හමුදා කණ්ඩායම – කොළඹ FC

තරගයේ පළමු අර්ධය තුළ යුද හමුදා කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පෙරමුණේ පසු වුවත් කොළඹ FC කණ්ඩායමේ ඩිලාන් කෞශල්‍ය දෙවැනි අර්ධයේ දී ගෝල දෙකක් වාර්තා කරමින් තරගයේ ලකුණු තත්වය සම කිරීමට සමත් වූ අතර ඉන් අනතුරුව තරගයේ තම තුන්වැනි ගෝලය වාර්තා කළ මොහොමඩ් ඉසදීන් යුද හමුදා කණ්ඩායම තවත් එක් FA කුසලාන අවසන් මහා තරගයක් කරා රැගෙන යාමට සමත් විය.

යුද හමුදා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී සුපර් සන් කණ්ඩායම ගෝල 12-1ක් ලෙස පරාජයට පත්කළ අතර කොළඹ FC කණ්ඩායම අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබුවේ ගුවන් හමුදා කණ්ඩායම තියුණු තරගයකින් අනතුරුව ගෝල 1-0ක් ලෙස පරාජය කරමිනි.

යුද හමුදා කණ්ඩායම තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ පන්දුව ඉතා හොඳින් හුවමාරු කරමින් කොළඹ FC ක්‍රීඩකයින් හට පීඩනයක් එල්ල කරන්නට සමත් විය. කොළඹ FC කණ්ඩායම තරගයට පිවිසියේ ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන සර්වාන් ජොහාර් ක්‍රීඩාගාරයේ රඳවා තබමිනි. එමනිසා සංඛ ධනුෂ්ක, මදුෂාන් ද සිල්වා හා පුන්සර තිරුණ හට පිටිය තුළ දැඩි පීඩනයකින් තොරව ක්‍රීඩා කරන්නට අවස්ථාව හිමි විය.

තරගයේ පළමු අර්ධයේ මැද භාගය වන විට යුද හමුදා කණ්ඩායම තරගයේ පළමු ගෝලය වාර්තා කර ගන්නට සමත් විය. එහි දී රොෂාන් අප්පුහාමි ඉතා හොඳින් පන්දුව මෙහෙයවමින් මොහොමඩ් ඉසදීන් හට ලබා දුන් අතර එය ගෝල රාමුව තුළට පහසුවෙන් යොමු කරන්නට ඔහු සමත් විය.

මිනිත්තු කිහිපයකින් අනතුරුව කොළඹ FC කණ්ඩායමේ මොහොමඩ් රමීස් අතින් සිදු වූ අතපසුවීමක් නිසා ගෝල රාමුව ආසන්නයේ දී පන්දුව ඔහුගේ අතේ ගැටුණු අතර එනිසා යුද හමුදා කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් හිමි විය. එයින් උපරිම ප්‍රයෝජනය ලබාගත් මොහොමඩ් ඉසදීන් යුද හමුදා කණ්ඩායමට තරගයේ දෙවන ගෝලය හිමිකර දෙන්නට සමත් විය.    

පසුව කොළඹ FC කණ්ඩායම සර්වාන් ජොහාර්ව තරගයට ආදේශ කළ නමුත් පළමු අර්ධය නිමාවට පත්වූයේ තරගයේ වාසිය තවදුරටත් යුද හමුදා කණ්ඩායම සතුව පවතිමිනි.

පළමු අර්ධය : යුද හමුදා කණ්ඩායම 2 – 0 කොළඹ FC

දෙවන අර්ධය ආරම්භයේ සිටම ගෝලයක් ලබාගැනීමේ අරමුණින් කොළඹ FC ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කරන්නට විය. යුද හමුදා ක්‍රීඩකයින් පළමු අර්ධයේ සිදු කළ ආකාරයට ඔවුන් ද පන්දුව ඉදිරියට රැගෙන යමින් පිටියේ මැද තම ග්‍රහණයට නතුකර ගන්නට උත්සාහ දැරීය.

දෙවැනි අර්ධයේ මැද භාගයේ දී යුද හමුදා කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් අතින් ගෝල රාමුව අසල දී සිදු වූ අතපසුවීම අවස්ථාවක් කර ගත් කොළඹ FC කණ්ඩායමේ ඩිලාන් කෞශල්‍ය තම කණ්ඩායමට තරගයේ පළමු ගෝලය හිමි කර කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ උද්යෝගය ඉහළ නංවමිනි.

තවදුරටත් තම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව ඒ අයුරින්ම දියත් කළ කොළඹ FC කණ්ඩායමේ ක්‍රීඩකයින් මිනිත්තු කිහිපයකින් අනතුරුව ඔවුන්ගේ දෙවන ගෝලය ද රැස්කර ගන්නට සමත් විය. එම ගෝලයට ද හිමිකම් කියූ ඩිලාන් එල්ල කළ පහර වළකා ගන්නට යුද හමුදා කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක නිලන්ත කුමාර හට කිසිඳු අවස්ථාවක් නොවීය.

තවත් මිනිත්තු කිහිපයකින් අනතුරුව යුද හමුදා කණ්ඩායමේ තිවංක චන්ද්‍රසේකර ගෝලයක් ලබා ගැනීමට පහරක් එල්ල කළ ද එය ඉතා විශිෂ්ට අන්දමින් වළකා ගන්නට කොළඹ FC කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක ඉම්රාන් සමත් වූ නමුත් එහි දී පන්දුව ඉසදීන් හට යොමු වූ අතර එය ගෝලයක් බවට පරිවර්තනය කර ගත් ඔහු තරගාවලිය තුළ තවත් ගෝල ත්‍රිත්වයකට හිමිකම් කියන්නට සමත් විය.

තරගයේ අවසාන මිනිත්තු කිහිපය තුළ කොළඹ FC කණ්ඩායමේ නාගුර් මීරා හට ගෝලයක් ලබා ගැනීමට පැති පහරක් හරහා අවස්ථාව ලැබුනත් ඔහු එල්ල කළ පහර ගෝල රාමුව ආසන්නයෙන් ඉවතට ඇදී ගිය අතර තියුණු තරගයකින් අනතුරුව යුද හමුදා කණ්ඩායම තවත් එක් FA කුසලාන අවසන් මහා තරගයක් කරා සුදුසුකම් ලබන්නට සමත් විය.   

දෙවන අර්ධය : යුද හමුදා කණ්ඩායම 3 – 2 කොළඹ FC

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් ඉසදීන් (යුද හමුදා කණ්ඩායම)

ගෝල ලාභීන්

  • යුද හමුදා කණ්ඩායම – මොහොමඩ් ඉසදීන්
  • කොළඹ FC – ඩිලාන් කෞශල්‍ය

සෝන්ඩර්ස් SC – ජාවා ලේන් SC

දෙවන අර්ධයේ දී ගෝලයක් පිටුපසින් සිටි ජාවා ලේන් කණ්ඩායම ගෝලයක් ලබාගනිමින් තරගය සම තත්වයට ගෙන ඒමට සමත් වූ අතර ඉන් අනතුරුව දඬුවම් පහර වටයේ දී සෝන්ඩර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ජාවා ලේන් SC කණ්ඩායම සිය පළමු FA කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන්නට සමත් විය.  

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ක්‍රීඩා කළේ තම පසුපෙළ ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කරමිනි. විශේෂයෙන් සෝන්ඩර්ස් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් පන්දුව ඉදිරියට ගෙන යාමේ දී ඉතා සුපරීක්ෂාකාරී අන්දමින් ක්‍රීඩා කළේය.

ඉන්දීවර උදාර තම කණ්ඩායමට තරගයේ පළමු ගෝලය හිමි කර දෙන්නට උත්සාහයක් දැරුව ද පන්දුව ගෝල රාමුවේ වැදී ඉවතට යාම නිසා එම අවස්ථාව අහිමිව ගියේය.

සෝන්ඩර්ස් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් ජාවා ලේන් කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ඔවුන්ට පන්දුව ඉදිරියට ගෙන ඒමට නිදහසක් ලබා නොදුන් අතර ජාවා ලේන් කණ්ඩායමේ මොහොමඩ් රිස්කාන් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගන්නට සමත් වුවත් එය ගෝලයක් බවට පරිවර්තනය කර ගන්නට ඔහු අපොහොසත් විය. මොහොමඩ් අබ්දුල්ලා පළමු අර්ධය පුරාවට ජවසම්පන්නව ක්‍රීඩා කළ ද ඔහුට ද සෝන්ඩර්ස් පසුපෙළ බිඳ දමන්නට හැකිවූයේ නැත.

පළමු අර්ධයේ අවසාන මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකටම අවස්ථාවන් දෙකක් හිමිවුවත් ඒවා සාර්ථක කර ගන්නට ඔවුන් සමත් නොවීය.

පළමු අර්ධය : සෝන්ඩර්ස් SC 0 – 0 ජාවා ලේන් SC

සෝන්ඩර්ස් කණ්ඩායම දෙවන අර්ධය ආරම්භයේ තරමක් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කරමින් ජාවා ලේන් කණ්ඩායමට පීඩනයක් එල්ල කරන්නට සමත් විය. විශේෂයෙන් ක්‍රිෂාන්ත අබේසේකර ලබාගත් පැති පහර අවස්ථා නිසා ජාවා ලේන් කණ්ඩායම තරමක් අපහසුතාවයට පත්විය. ඔහු ලබා දුන් පන්දුවට නිරේෂ් හිසින් පහරක් එල්ල කරමින් ගෝලයක් රැස්කිරීමට උත්සාහ කළ ද එය ගෝල රාමුවේ වැදීම නිසා ගෝලයක් රැස්කර ගැනීමට තිබූ එම අවස්ථාව ඔවුන්ට අහිමි විය.

සෝන්ඩර්ස් කණ්ඩායම ලබා ගත් පැති පහර අවස්ථාවක දී ජාවා ලේන් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක ධම්මික සෙනරත් පන්දුව ඉවතට යොමු කිරීම සඳහා ගෝල රාමුවෙන් ඉවතට පැමිණි අතර එහි දී ඔහුගේ උත්සාහය අසාර්ථක වී පන්දුව නිරේෂ් වෙත යොමු විය. එය අවස්ථාවක් කර ගත් නිරේෂ් සාර්ථකව පන්දුව ගෝල රාමුව තුළට යොමු කරමින් එතෙක් තරගය තුළ පැවති ගෝල නිහැඬියාව බිඳහෙලන්නට සමත් විය. ජාවා ලේන් ක්‍රීඩකයින් ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් හැකිතාක් ඉදිරියට යොමු කරමින් මීට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කළ නමුත් ශක්තිමත් සෝන්ඩර්ස් පසුපෙළට අභියෝගයක් වන්නට ඔවුන්ට නොහැකි විය.

තරගයේ ජයග්‍රහණය ජාවා ලේන් ක්‍රීඩකයින් අතින් ගිලිහෙමින් තිබෙද්දී ජානක චමින්ද ඉතා විශිෂ්ට අන්දමින් පන්දුව නවීන් ජූඩ් වෙත යොමු කළ අතර ඔහු එය පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය.

එම ගෝලයෙන් අනතුරුව කණ්ඩායම් දෙකම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර කණ්ඩායම් දෙකටම ගෝල රැස්කර ගැනීමට අවස්ථාව කිහිපයක්ම උදාවිය. නමුත් තරගය නිමාවන්නට පෙර ඒ එක් අවස්ථාවක් හෝ සාර්ථක කර ගැනීමට කණ්ඩායම් දෙකම අපොහොසත් විය.

දෙවන අර්ධය : සෝන්ඩර්ස් SC 1 – 1 ජාවා ලේන් SC

තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා පැවති දඬුවම් පහර වටයේ දී ජාවා ලේන් කණ්ඩායමේ මාලක පෙරේරා, ලක්මාල් පෙරේරා, ඇලීම්, ජානක චමින්ද හා මොහොමඩ් රිස්කාන් ක්‍රීඩකයින් ලබා ගත් අවස්ථා පහම සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය. නමුත් සෝන්ඩර්ස් කණ්ඩායමේ පළමු අවස්ථාව ලබාගත් සජිත් ධර්මපාල එය සාර්ථක කර ගැනීමට අපොහොසත් වූ අතර ඔවුන්ට අඛණ්ඩව දෙවන වසරටත් දඬුවම් පහර වටයේ දී තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.

මේ අනුව මෙම තරගය ජය ගත් ජාවා ලේන් SC කණ්ඩායම FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී යුද හමුදා කණ්ඩායම සමඟ තරග වදිනු ඇත.

දඬුවම් පහර වටය : සෝන්ඩර්ස් SC 3 – 5 ජාවා ලේන් SC

ThePapare.com තරගයේ වීරයා – ජානක චමින්ද (ජාවා ලේන් SC)

ගෝල ලාභීන්

  • සෝන්ඩර්ස් SC – එස්. නිරේෂ් 61’
  • ජාවා ලේන් SC – එන්. ජූඩ් 74’

කහ කාඩ්පත් ලාභීන් 

  • සෝන්ඩර්ස් SC – එස්. නිරේෂ් 70’
  • ජාවා ලේන් SC – එම්. සලී 47’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට