කසුන් ජයසූරිය සෝන්ඩර්ස් අවසන් මහා තරගයට කැඳවාගෙන යයි

699

FA කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඊයේ (25) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර ප්‍රබල කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය පරාජය කරමින් ප්‍රබල සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

පොලිස් අත්වැරදීමෙන් යුධ හමුදාව අවසන් මහා තරගයට

FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (25) කොළඹ…

පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් වූ නමුත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ කසුන් ජයසූරිය සෝන්ඩර්ස් වෙනුවෙන් දඬුවම් පහරක් දිනා දී තරගය අවසන් වීමට පෙර තමන්ගේ නමට ගෝලයක් ද වාර්තා කිරීමට සමත් විය.

තරගයේ පළමු ආසන්න අවස්ථාව නිර්මාණය කර ගැනීමට කොළඹ ක්‍රීඩා සමාජයේ සර්වාන් ජොහාර් සමත් වූ අතර ඔහු හිසෙන් යොමු කළ පන්දුව ගෝල රාමුවේ වැදී නොවැදී ඉවත ගියේ සර්වාන්ගේ උත්සාහය අපතේ යවමිනි.

13 වන මිනිත්තුවේ දී සෝන්ඩර්ස් කණ්ඩායමට සිය පළමු පැහැදිලි අවස්ථාව හිමි වූ අතර කසුන් ජයසූරියගේ ප්‍රහාරය කොළඹ ගෝල රකින ක්‍රීඩක ලක්ප්‍රිය ප්‍රනාන්දු දක්ෂ ලෙස එම අවස්ථාව වළක්වන්නට සමත් විය.

ප්‍රබල සටනකට පසු සෝන්ඩර්ස් අවසන් 4 දෙනා අතරට

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය …

අනතුරුව 19 වන මිනිත්තුවේ දී කොළඹ ක්‍රීඩා සමාජයට ඉතා අනගි අවස්ථාවක් හිමි වූයේ ගෝල චතුරශ්‍රයට මදක් පිටතින් ඔවුන්ට නිදහස් පහරක් හිමි වූ නිසාවෙනි. කොළඹ ක්‍රීඩා සමාජයේ මොහොමඩ් රිෆ්නාස් එම අවස්ථාව ලබා ගත් අතර ඔහුගේ අලංකාර ප්‍රහාරය කවාකාරව ගමන් කර ගෝල රාමුවේ වැදී ඉවත ගියේ රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුන් කරමිනි.

39 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ කසුන් මෙවර සිය හිසෙන් පන්දුව දැල වෙත යොමු කළත් ගෝල රකින්නා පහසුවෙන් එම අවස්ථාව ව්‍යර්ථ කිරීමට සමත් විය.

සෝන්ඩර්ස් පසුපෙළ ඉතා දක්ෂ ක්‍රීඩා විලාසයක නිරත වූයේ කොළඹ ප්‍රහාරයන් රැසක් ව්‍යර්ථ කරමිනි. ඔවුන් ඉතා සූක්ෂමව ක්‍රීඩා කරමින් කොළඹ ක්‍රීඩකයින් ‘Off Side’ අවස්ථාවන්ට හසු කර ගැනීමට සමත් වූ අතර පළමු අර්ධයේ දී කොළඹ ක්‍රීඩකයින්ට එය දැඩි බාධාවක් විය.

පළමු අර්ධය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 00 – 00 කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී ම කසුන් ජයසූරිය නැවතත් ක්‍රියාත්මක වෙමින් සිය හිසෙන් පන්දුව දැල වෙත යොමු කළත්, ලක්ප්‍රිය එම අවස්ථාව සාර්ථකව ව්‍යර්ථ කරන්නට සමත් විය.

අනතුරුව සෝන්ඩර්ස් ක්‍රීඩා කණ්ඩායමට හිමි වූ නිදහස් පහරක් සාර්ථක කර ගැනීමට චමෝද් දිල්ශාන් අසමත් වූ අතර කසුන් කොළඹ ආරක්ෂක වළලු බිඳ දමා ඉදිරියට ඇදුනත් ඔහුගේ ප්‍රහාරයට නිසි ඉලක්කයට යොමු නොවුනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

71 වන මිනිත්තුවේ දී කසුන් ජයසූරිය දඬුවම් පහර චතුරස්‍රය ඇතුලත දී බිම හෙලීම නිසා සෝන්ඩර්ස් කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දීමට විනිසුරු ක්‍රියාත්මක වූ අතර සුන්දරාජ් නිරේෂ් ගෝල රාමුවේ දකුණු පස කොනට පන්දුව යොමු කරද්දී පන්දුව ගෝල රකින්නාගේ ඇඟිලි තුඩුවල ගැවී ගෝලය තුළට ගියේ තරගයේ පළමු ගෝලය ලෙසයි.

90 වන මිනිත්තුවට ආසන්නයේ කොළඹ ක්‍රීඩා සමාජයට ඉතා ආසන්න අවස්ථාවක් හිමි වූ අතර ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සෝන්ඩර්ස් ගෝල රකින්නා අසල රැඳෙමින් පන්දුව දැල වෙත යොමු කරන්නට තැත් කළත් අවසන් මොහොතේ ජොහාර්ගේ ප්‍රහාරය රැක ගන්නට ගෝල රකින්නා සමත් විය.

දඬුවම් පහර වටයෙන් කොළඹ ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ …

තරගය අවසන් වීමට මොහොතක් තිබිය දී සෝන්ඩර්ස් කණ්ඩායමේ කසුන් ජයසූරිය නැවත වතාවක් කොළඹ ආරක්ෂක වළලුවලින් මිදෙමින් ඉදිරියට ධාවනයේ යෙදුණු අතර කොළඹ ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙකු හා කොළඹ ගෝල රකින්නා පසුකර ඔහු දක්ෂ ලෙස පන්දුව දැල වෙත යොමු කළේ සෝන්ඩර්ස් ජයග්‍රහණයේ අවසන් ඇණය ද ගසමිනි.

අවසන් ලකුණු තත්වය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 02 – 00 කොළඹ ක්‍රීඩා සමාජය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – සුන්දරාජ් නිරේෂ් (PEN) 71’, කසුන් ජයසූරිය 90+3’   

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<