යුද හමුදාව සහ සෝන්ඩර්ස් අර්ධ අවසන් වටයට

514

FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති තරගවලින් සුපර් සන් SC කණ්ඩායම ගෝල 12-1ක් ලෙස පරාජයට පත් කළ යුද හමුදා කණ්ඩායමත්, බ්ලූ ස්ටාර් SC කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කළ සෝන්ඩර්ස් SC කණ්ඩායමත් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තම ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

FA කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට සියල්ල සූදානම්

FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් 8 මේ වන විට තේරී පත්වී ඇති අතර අර්ධ අවසන් පූර්ව වටයේ දී…

යුද හමුදා කණ්ඩායම – සුපර් සන් SC

ඊශ්වරන් SC කණ්ඩායම ගෝල 20-0ක් ලෙස පරාජය කිරීමෙන් අනතුරුව මායා SC කණ්ඩායම සමඟ තරගයේ ජය නිතරගයෙන් හිමි කර ගත් යුද හමුදා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

අනෙක් පසින් සුපර් සන් SC කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ඔලිම්පික් SC කණ්ඩායම 3-0ක් ලෙස පරාජය කරමිනි.

තරගය ආරම්භ වූ මොහොතේ සිටම සුපර් සන් කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් විය. තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙද්දී සුපර් සන් ක්‍රීඩකයින්ට කහ කාඩ්පත් දෙකක් හිමි විය.

තරගයේ ගෝලයක් රැස්කර ගැනීමට ලැබුණු ප්‍රථම අවස්ථාව සජිත් කුමාර හට ලැබුණත් ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී යමින් එම අවස්ථාව අහිමි වී ගියේය.

මෙහි දී සුපර් සන් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන ෂෆ්රාස් කායිස් කෙරෙහි යුද හමුදා කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් වැඩි අවධානයක් යොමු කළ අතර ඔහුට තරගය තුළ වැඩි අවකාශයක් නොදෙන්නට ඔවුන් සමත් විය.

තරගයේ 18’ වන මිනිත්තුවේ දී ප්‍රතිවාදී කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයාගේ නොසැලකිලිමත් භාවයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් යුද හමුදා කණ්ඩායමේ මොහොමඩ් ඉසදීන් තරගයේ පළමු ගෝලය රැස්කර ගන්නට සමත් විය. අනතුරුව 29’ වන මිනිත්තුවේ දී තරගයේ දෙවන ගෝලය වාර්තා කරන්නට යුද හමුදා කණ්ඩායමේ ම සජිත් කුමාර සමත් වූයේ තරගයේ වාසිය තවදුරටත් වැඩි කර ගනිමිනි.

තවත් මිනිත්තු කිහිපයක් ගතවෙද්දී යුද හමුදා කණ්ඩායමේ මොහොමඩ් රිම්සාන් තරගයේ තුන්වන ගෝලය වාර්තා කර ගනිද්දී 37’ වන මිනිත්තුවේ දී මොහොමඩ් ඉසදීන් තම කණ්ඩායමට තරගයේ හතරවැනි ගෝලය ද හිමි කර දෙන්නට සමත් වූයේ සුපර් සන් ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි.

තරගයේ ප්‍රථම අර්ධය අවසන් වූයේ යුද හමුදා කණ්ඩායමේ සජිත් කුමාර හට කහ කාඩ්පතක් හිමිවීමත් සමඟයි.

පළමු අර්ධය : යුද හමුදා කණ්ඩායම 4 – 0 සුපර් සන් SC

තරගය දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තුවක් ගතවද්දී මොහොමඩ් ඉසදීන් තම තුන්වන ගෝලය වාර්තා කර ගනිමින් ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් වූයේ තම කණ්ඩායමේ ගෝල තත්වය ගෝල පහක් දක්වා ඉහළ නංවමිනි.

පසුව තවත් ගෝලයක් රැස්කර ගන්නට මොහොමඩ් ඉසදීන් සමත් වුවත් එහි දී ‘ඕෆ් සයිඩ්’ නීතිය උල්ලංඝණය වූ බව විනිසුරුවරයා සංඥා කිරීමත් සමඟ එම ගෝලය ඔවුන්ගෙන් අහිමි වී ගියේය.

කෙසේ වුවත් තරගයේ හයවෙනි ගෝලය රැස්කර ගැනීමට උත්සාහ කරමින් සිටි යුද හමුදා ක්‍රීඩකයින්ගේ උත්සාහය මොහොමඩ් රිම්සාන් එල්ල කළ පහර ගෝල රාමුව තුළට යොමුවීමත් සමඟ සාර්ථක විය. තරගයේ 61’ වෙනි මිනිත්තුවේ දී යුද හමුදා කණ්ඩායමේ චන්ද්‍රසේකර තම කණ්ඩායමේ හත්වෙනි ගෝලය රැස්කර ගත්තේ සුපර් සන් ක්‍රීඩකයින් මහත් අපහසු තත්වයකට ඇද දමමිනි.

සුපර් සන් ක්‍රීඩකයින් ගෝල රැස්කර ගන්නට දැරූ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ කර දමන්නට යුද හමුදා කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් සමත් විය.

මිනිත්තු කිහිපයක් ගතවෙද්දී තරගයේ අටවෙනි ගෝලය ද රැස්කර ගන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වූයේ මදුෂාන් ද සිල්වා ලබාගත් නිදහස් පහර අවස්ථාවට චන්ද්‍රසේකර හිසින් පහරක් එල්ල කරමිනි.

දෙවන අර්ධයේ දී තරගයට ආදේශ කළ යුද හමුදා කණ්ඩායමේ චන්ද්‍රසේකර තරගය තුළ ගෝල හතරක් රැස්කර ගැනීමට සමත් වූයේ මිනිත්තු දෙකක් ඇතුළත තවත් ගෝල දෙකක් තම නම ඉදිරියේ සටහන් කර ගැනීමත් සමඟයි. සුපර් සන් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින්ට යුද හමුදා කණ්ඩායමේ ගෝල වර්ෂාව නවත්වන්නට කිසිවක් කරගත හැකිවූයේ නැත.

මෙයින් නොනැවතුණු යුද හමුදා ක්‍රීඩකයින් තවත් ගෝල දෙකක් තරගයේ ඉදිරි මිනිත්තු කිහිපයේදීත් රැස්කර ගන්නට සමත් විය. ඒ ගෝල වලට හිමිකම් කියන්නට සමත් වූයේ මදුෂාන් ද සිල්වා සහ චන්ද්‍රසේකර යි.

කෙසේ වුවත් තරගයේ 90’ වන මිනිත්තුවේ දී තම කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය රැස්කරන්නට සුපර් සන් කණ්ඩායමේ සෆ්රාස් කායිස් සමත් විය.

දෙවන අර්ධය : යුද හමුදා කණ්ඩායම 12 – 1 සුපර් සන් SC

ThePapare.com තරගයේ වීරයා – චන්ද්‍රසේකර (යුද හමුදා කණ්ඩායම)

ThePapare.com සමඟ අදහස් දැක්වූ යුද හමුදා කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් ෆව්මි පවසා සිටියේ;

“අද තරගයේ දී අපි සාර්ථකයි. අපි අපේ ශක්තීන් හඳුනා ගනිමින් ක්‍රීඩා කළ නිසා අද තරගය ජය ගත්තා. අපේ බලාපොරොත්තුව ඉදිරි තරගවල දීත් මේ ආකාරයට ක්‍රීඩා කිරීමයි. පළමු අර්ධයේ ගෝල කිහිපයක්ම වාර්තා කර ගන්නට අපි සමත් වුණ නිසා අපිට පුළුවන් වුණා ක්‍රීඩකයින් මාරු කරමින් ඔවුන්ට අවස්ථාවක් දෙන්න. ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මම හිතනවා හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කරලා ඉදිරි තරගවල දීත් අපේ ක්‍රීඩකයෝ මේ රිද්මයෙන්ම ක්‍රීඩා කරයි කියලා.”

තරගය පිළිබඳ අසතුටට පත් සුපර් සන් කණ්ඩායමේ පුහුණුකරු නූර්දීන් ප්‍රකාශ කර සිටියේ;

“තරග දිනනවා, පරදිනවා. ඒත් ගෝල 12කින් පරාජය වීම කණගාටුදායකයි. අපි අද තරගය හොඳින් ක්‍රීඩා කළේ නෑ. එහි වගකීම ක්‍රීඩකයින් බාර ගත යුතුයි. අපේ ක්‍රීඩකයෝ තරගය පහසුවට ගත්ත නිසා අපි තරගය පරාජය වුනා. වැඩිය කියන්න දෙයක් නෑ. අපිට කරන්න තියෙන්නේ අද තරගයේ අඩුපාඩු වලින් යමක් ඉගෙන ගෙන ඉදිරියේ දී ඒවා නොවෙන්න වග බලා ගන්න එක”

ගෝල ලාභීන්

  • යුද හමුදා කණ්ඩායම – මොහොමඩ් ඉසදීන් 3, සජිත් කුමාර, මොහොමඩ් රිම්සාන් 2, චන්ද්‍රසේකර 5, මදුෂාන් ද සිල්වා
  • සුපර් සන් SC – ෂෆ්රාස් කායිස්

කහ කාඩ්පත්

  • යුද හමුදා කණ්ඩායම සජිත් කුමාර
  • සුපර් සන් SC – සිල්මි හසන්, මොහොමඩ් රිෆ්කාන්, ෂෆ්රාස් කායිස්

සෝන්ඩර්ස් SC – බ්ලූ ස්ටාර් SC

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කරන්නට බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් සමත් විය. සෝන්ඩර්ස් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් අභිබවා යමින් තරගයේ ආරම්භක ගෝලය වාර්තා කරන්නට බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් අවස්ථා දෙකක් නිර්මාණය කර ගත්තත් ඒවා සාර්ථක කර ගන්නට බ්ලූ ස්ටාර් කණ්ඩායමේ ක්‍රීඩක චන්න සමත් වූයේ නැත. කෙසේ වුවත් මිනිත්තු කිහිපයක් ඇතුළත තමන්ගේ සුපුරුදු ක්‍රීඩා රිද්මයට පැමිණෙන්නට සෝන්ඩර්ස් ක්‍රීඩකයින් සමත් වූයේ ඉන්දීවර උදාර සහ මොහොමඩ් ෂහීල් තම ස්ථාන හුවමාරු කර ගැනීමත් සමඟයි.

උදාර හොඳින් ක්‍රීඩා කරමින් බ්ලූ ස්ටාර් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින්ට තර්ජනයක් වන්නට විය. කෙසේ වුවත් සෝන්ඩර්ස් ගෝල රකින ක්‍රීඩක අසංක විරාජ් අතින් සිදු වූ අතපසුවීම අවස්ථාවක් කර ගත් බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනිමින් තරගයේ වාසිය තමන් දෙසට යොමු කර ගන්නට සමත් විය. එම ගෝලය රැස්කරගනු ලැබුවේ චන්න විසිනි.

මිනිත්තු කිහිපයකට පසුව රංගන සිල්වා පන්දුව චන්න වෙතට ගෝලයක් රැස්කිරීම සඳහා යොමු කළ නමුත් ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය. තරගයේ පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී සෝන්ඩර්ස් ක්‍රීඩකයින්ට තරමක් පහසු නිදහස් පහර අවස්ථාවක් හිමිවුවත් එය ගෝලයක් බවට පරිවර්තනය කර ගන්නට ඔවුන්ට හැකිවූයේ නැත.

පළමු අර්ධය : සෝන්ඩර්ස් SC 0 – 1 බ්ලූ ස්ටාර් SC

දෙවන අර්ධය ආරම්භයේ සිට ම බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් තරගයේ වාසිය ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව තම පසුපෙළ ශක්තිමත් කරමින් ක්‍රීඩා කළ අතර ඔවුන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට ද සෝන්ඩර්ස් ක්‍රීඩකයින් සමත් වූයේ නැත. බ්ලූ ස්ටාර් කණ්ඩායමේ ෆාහිර් අලි සහ බී. ශිවංක තම කණ්ඩායමේ පසුපෙළ ශක්තිමත් කළ අතර සෝන්ඩර්ස් ක්‍රීඩකයින්ට ගෝලයක් රැස්කර ගන්නට අවස්ථාවක් නොදෙන්නට ද ඔවුන් සමත් විය.

කෙසේ වුවත් මිනිත්තු කිහිපයකින් අනතුරුව සෝන්ඩර්ස් අබේසේකර ගෝලයක් රැස්කර ගැනීමට පහරක් එල්ල කළ නමුත් එය වළක්වා ගන්නට බ්ලූ ස්ටාර් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක මංජුල ප්‍රනාන්දු සමත් විය. කෙසේ වුවත් 76’ වන මිනිත්තුවේ දී ලැබුණු පැති පහර අවස්ථාව ගෝලයක් බවට පරිවර්තනය කර ගත් අබේසේකර කණ්ඩායම් දෙකේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය.

එම ගෝලයෙන් අනතුරුව කණ්ඩායම් දෙකට නැවතත් උද්යෝගීව තරගයට යොමු වූයේ තරගයේ අවසානයට පෙර කෙසේ හෝ ගෝලයක් රැස්කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායමට හිමි කර දීමටයි. මිනිත්තු කිහිපයකට පසුව තම දෙවන ගෝලය රැස්කිරීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්ට අවස්ථාවක් හිමිවුවත් එය සාර්ථක වූයේ නැත.  

තරගය අවසාන වන්නට මිනිත්තු පහකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී ෂහීල් ලබා දුන් පන්දුව ගෝල රාමුව වෙතට යොමු කළ ලක්මාල් ප්‍රනාන්දු සෝන්ඩර්ස් කණ්ඩායමට තරගයේ තීරණාත්මක දෙවන ගෝලය හිමි කර දෙන්නට සමත් විය. තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ද තවත් ගෝලයක් රැස්කර ගන්නට ඔවුන්ට අවස්ථා කිහිපයක්ම හිමිවුවත් ඒවා සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

දෙවන අර්ධය : සෝන්ඩර්ස් SC 2 – 1 බ්ලූ ස්ටාර් SC

ThePapare.com තරගයේ වීරයා – ක්‍රිෂාන්ත අබේසේකර (සෝන්ඩර්ස් SC)

ThePapare.com සමඟ අදහස් දක්වමින් සෝන්ඩර්ස් SC කණ්ඩායමේ පුහුණුකරු සුමිත් වල්පොළ ප්‍රකාශ කර සිටියේ;

“බ්ලූ ස්ටාර් කණ්ඩායම තුළ තරමක් උස, ශක්තිමත් පසුපෙළ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිටියා. ඒ නිසා පළමු අර්ධයේ දී අපිට පන්දුව සාර්ථකව ඉදිරියට රැගෙන යන්න හැකිවුණේ නෑ. ඒත් අපි තරගය අත්හැරියේ නෑ. මීගමුව යූත් කණ්ඩායම සමඟ තරගයේ දී වගේ අපි හොඳින් ක්‍රීඩා කළා. සෝන්ඩර්ස් කියන්නේ මේ වගේ තීරණාත්මක තරගවල දී තිබෙන පීඩනය දරා ගන්න දක්ෂ කණ්ඩායමක්. ඒක අපිට ලොකු වාසියක්. කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් ද තරගය ජය ගන්න විශාල සහයෝගයක් ලබා දුන්නා. ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා.”

අර්ධ අවසන් වටයේ දී රිනවුන් හෝ ජාවා ලේන් කණ්ඩායම මුණගැසීම පිළිබඳ විමසා සිටි විට ඔහු පවසා සිටියේ;

“ඒ කණ්ඩායම් දෙකේම පුහුණුකාරීත්වය දරන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙක්. ඒ වගේම ඒ කණ්ඩායම් දෙකම ඉතා දක්ෂයි. ඒ නිසා තරගය අපිට වගේම ඔවුන්ටත් විවෘතයි. කුමන කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවත් ඉතා හොඳ පාපන්දු තරගයක් දැක බලා ගන්න අවස්ථාව ලැබෙයි.”

ගෝල ලාභීන්

  • සෝන්ඩර්ස් SC – සී. අබේසේකර 76’, ඩබ්. එම්. එල්. ප්‍රනාන්දු 84’
  • බ්ලූ ස්ටාර් SC – ඊ. බී. චන්න 39’

කහ කාඩ්පත් ලාභීන්

  • සෝන්ඩර්ස් SC – එම්. ප්‍රියදර්ශන 72’, එස්. නිරේෂ් 90+1’
  • බ්ලු ස්ටාර් SC – අයි.ප්‍රදීප් 55’, එස්. කේ. ආර්. සිල්වා 61’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට