FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති අවසන් තරග දෙකෙන් ගුවන් හමුදා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කළ කොළඹ FC කණ්ඩායමත්, රිනවුන් SC කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජය කළ ජාවා ලේන් SC කණ්ඩායමත් තරගාවලියේ අර්ධ අවසන් වටය තුළ තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – කොළඹ පාපන්දු සමාජය

අවසන් 16 දෙනාගේ වටයේ දී ගුවන් හමුදා කණ්ඩායම ගෝල 3-0ක් ලෙස මාතර සිටි කණ්ඩායම පරාජය කළ අතර කොළඹ FC කණ්ඩායම ගෝල 5-0ක් ලෙස පෙලිකන්ස් SC කණ්ඩායම පරාජය කරන ලදි.

කණ්ඩායම් දෙකේ වැදගත්ම ක්‍රීඩකයින් වන ගුවන් හමුදා කණ්ඩයමේ කවිඳු ඉෂාන් එම තරගයේ දී ගෝල ත්‍රිත්වයක් රැස්කරද්දී කොළඹ FC කණ්ඩායමේ සර්වාන් ජොහාර් ගෝල ද්විත්වයක් රැස්කර ගන්නට සමත් විය.

pic 1තරගයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී පන්දුව හොඳින් හුවමාරු කර ගනිමින් ගුවන් හමුදා ක්‍රීඩකයින් කොළඹ FC ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කරන්නට සමත් විය. තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කරන්නට කවිඳු ඉෂාන්ට ඉතා හොඳ අවස්ථාවක් ලැබුණත් ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉතා ආසන්නයෙන් ඉවතට ඇදී යාම නිසා එම අවස්ථාව අහිමි වී ගියේය.

තරගයේ පළමු මිනිත්තු 20ක ප්‍රමාණය වැය වූයේ කණ්ඩායම් දෙකට තම සුපුරුදු රිද්මයට පැමිණීම සඳහාය. කොළඹ FC ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ ගුවන් හමුදා ක්‍රීඩකයින් ඔවුන්ට සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට ළඟා වීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත.

මිනිත්තු කිහිපයකින් පසුව කොළඹ FC කණ්ඩායමේ නාගුර් මීරා ඉතා හොඳින් පන්දුව හසුරුවමින් ගෝලයක් රැස්කර ගැනීම සඳහා පන්දුව ඩිලාන් කෞශල්‍ය වෙත යොමු කළත් ඔහු එල්ල කළ පහර ගෝල රාමුවේ වැදී ඉවතට ඇදී ගියේය.

තරගයේ 31’ වෙනි මිනිත්තුවේ දී කොළඹ FC කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉක්මන් අවස්ථාවක් ලබා ගන්නට සමත් වූ අතර ධනුෂ්ක මදුසංක බාර කළ පන්දුව ඩිලාන් කෞශල්‍ය සාර්ථකව අහමඩ් ශස්නි වෙත යොමු කිරීමට සමත් වූ අතර ශස්නි ඉතා පහසුවෙන් පන්දුව ගෝල රාමුව වෙතට යොමු කරන්නට සමත් වූයේ තම කණ්ඩායමට තරගයේ පළමු ගෝලය හිමි කර දෙමිනි.

කොළඹ FC ක්‍රීඩකයින් මෙම ගෝලය ලබා ගැනීමෙන් පසුව වුවද ඉතා හොඳින් ක්‍රීඩා කරන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වූ අතර නුවන් වෙල්ගම ගෝලයක් රැස්කර ගැනීමට උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ කර දමන්නට කොළඹ FC කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් සමත් විය.

තවත් මිනිත්තු කිහිපයකින් අනතුරුව ගෝලයක් රැස්කර ගන්නට කවිඳු ඉෂාන්ට ඉතා පහසු අවස්ථාවක් හිමිවුවත් කොළඹ FC කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයාගේ විශිෂ්ට ගෝල රැකීම නිසා එම අවස්ථාව ද ඔවුන්ට අහිමිව ගියේය.

පළමු අර්ධය – ගුවන් හමුදාව 0 – 1 කොළඹ FC

තරගයේ දෙවන අර්ධයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම හොඳින් ක්‍රීඩා කරන්නට සමත් වූයේ නැත. මොහොමඩ් ඉම්රාන් හට පැති පහර අවස්ථාවක් හිමිවුවත් එය සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කර ගන්නට පසුපෙළ ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත.

මිනිත්තු කිහිපයකට පසුව නැවතත් ඉක්මන් අවස්ථාවක් ලබා ගත් කොළඹ FC කණ්ඩායමේ සර්වාන් ජොහාර් පන්දුව නාගුර් මීරා වෙත යොමු කළ ද පහර එල්ල කිරීමේ දී ඔහුගේ සමබරතාව ගිලිහී යාම හේතුවෙන් එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය.

කවිඳු ඉෂාන් ඉතා සාර්ථකව පන්දුව රැගෙන යමින් ගෝලයක් රැස්කර ගැනීම සඳහා පහරක් එල්ල කළ ද පන්දුව රවුමි මොහිදීන්ගේ දකුණු අතේ වැදී නැවතුණු අතර එමනිසා ගුවන් හමුදා ක්‍රීඩකයින්ට දඬුවම් පහර අවස්ථාවක් ලබා දෙන ලදි. නමුත් රවුමි මොහිදීන් හට ලබා දුන්නේ කහ කාඩ්පත් අවවාදයක් පමණි.

pic 2එම දඬුවම් පහර අවස්ථාව කවිඳු ඉෂාන් විසින් ලබාගත් අතර එය සාර්ථකව වළක්වා ගන්නට මොහොමඩ් ඉම්රාන් සමත් වූයේ තවත් ගෝලයක් ඉතා විශිෂ්ට අන්දමින් ආරක්ෂා කර ගනිමිනි.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් ගුවන් හමුදා ක්‍රීඩකයින් කෙසේ හෝ ගෝලයක් ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා කළ අතර මිනිත්තු කිහිපයකට පසුව ඩී. කේ. දුමින්ද ගෝල රාමුව තුළට පන්දුව යොමු කරමින් ගෝලයක් රැස්කර ගත්ත ද විනිසුරුවරයා එහි දී ඕෆ් සයිඩ් නීතිය උල්ලංඝනය වූ බව සංඥා කිරීම නිසා එම ගෝලය ද ගුවන් හමුදා ක්‍රීඩකයින්ට අහිමි විය.

කෙසේවුවත් ගුවන් හමුදා ක්‍රීඩකයින්ගේ ගෝලයක් රැස්කර ගැනීමේ අභිප්‍රාය සාර්ථක කර ගැනීමට කාලය හරස් වූ අතර එනිසා කොළඹ FC කණ්ඩායම තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන්නට සමත් විය.  

දෙවන අර්ධය – ගුවන් හමුදාව 0 – 1 කොළඹ FC

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් ඉම්රාන් (කොළඹ FC)

ගෝල ලාභීන්

  • කොළඹ FC – අහමඩ් ශස්නි 31’

කහ කාඩ්පත්

  • ගුවන් හමුදාව – නුවන් වෙල්ගමගේ 09’, හර්ෂ ප්‍රනාන්දු 47’, ඩී. කේ. දුමින්ද 90+4’
  • කොළඹ FC – සර්වාන් ජොහාර් 35’, රවුමි මොහිදීන් 72’


රිනවුන් SC – ජාවා ලේන් SC

තරගයේ ආරම්භයේ දී කණ්ඩායම් දෙකම හොඳින් තරගයට අවතීර්ණ විය. තරගය ආරම්භ වී සුළු මොහොතකින් රිනවුන් කණ්ඩායමේ රිෆ්නාස් ගෝලයක් රැස්කිරීම සඳහා පන්දුව ෆාසාල් වෙත යොමු කළ ද එය සාර්ථක කර ගන්නට ඔහු සමත් වූයේ නැත.

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළදීම කණ්ඩායම් දෙකේම ගෝල රකින ක්‍රීඩකයන් දෙදෙනාම ඉතා විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කරමින් ගෝල දෙකක් නවතා ගන්නට සමත් විය.

pic 3ජාවා ලේන් කණ්ඩායමට නිදහස් පහර අවස්ථාවක් හිමි වූ අතර ඉන් උපරිම ඵල නෙළාගත් ජනක චමින්ද තම කණ්ඩායමට තරගයේ පළමු ගෝලය හිමි කර දෙන්නට සමත් විය. මෙම ගෝලය රැස්කර ගැනීමෙන් අනතුරුව ජාවා ලේන් ක්‍රීඩකයින් වඩාත් හොඳින් තරගයට අවතීර්ණ වූ අතර ඉන් පසුව ජූඩ්, අලීම් සහ අබ්දුල්ලා ඉතා හොඳින් ක්‍රීඩා කරමින් රිනවුන් ක්‍රීඩකයින්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් විය.

රිනවුන් කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයින්ට තම සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවට යොමු වන්නට ජාවා ලේන් ක්‍රීඩකයින් ඉඩ හසර ලබා දුන්නේ නැත. මිනිත්තු කිහිපයකින් අනතුරුව ඉක්මන් අවස්ථාවක් ලබා ගත් ජාවා ලේන් කණ්ඩායමේ මොහොමඩ් අබ්දුල්ලා පන්දුව නවීන් ජූඩ් හට බාර කළ අතර ඔහු පන්දුව ගෝල රාමුව තුළට සාර්ථකව යොමු කරමින් තම කණ්ඩායමට තරගයේ දෙවන ගෝලය හිමි කර දෙන්නට සමත් විය.

රිනවුන් කණ්ඩායමට ගෝලයක් රැස්කර ගන්නට පහසු නිදහස් පහර අවස්ථාවක් හිමිවුවත් එය සාර්ථක කර ගන්නට ෆසාල් සමත් වූයේ නැත. පළමු අර්ධය නිමා වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී රිස්කාන් ෆයිසර් ගෝලයක් ලබා ගැනීමට පහරක් එල්ල කළ ද එය සාර්ථකව නවතා ගන්නට රිනවුන් ගෝල රකින ක්‍රීඩක උස්මාන් සමත් විය.

පළමු අර්ධය – රිනවුන් SC 0 – 2 ජාවා ලේන් SC

දෙවන අර්ධයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ පන්දුව හොඳින් මෙහෙයවමින් කණ්ඩායම් දෙකම ගෝලයක් රැස්කර ගන්නට උත්සාහ දැරුවත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැත. ජාවා ලේන් ක්‍රීඩකයින් තම සුපුරුදු ක්‍රීඩා රටාව තවදුරටත් ක්‍රියාත්මක කළ අතර රිනවුන් ක්‍රීඩකයින් පන්දුව හුවමාරු කර ගැනීමේ දී එතරම් සාර්ථක වූයේ නැත.

pic 4ජාවා ලේන් ක්‍රීඩකයින් තරගයේ තුන්වන ගෝලය ද වාර්තා කර ගත්තේ ඉක්මන් අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමිනි. එම ගෝලයට හිමිකම් කීවේ ද නවීන් ජූඩ් ය. තරගයේ 75’ වන මිනිත්තුවේ දී ජාවා ලේන් කණ්ඩායමේ ශක්තිමත් පසුපෙළ බිඳ දැමීමට සමත් වූ රිනවුන් කණ්ඩායමේ මොහොමඩ් අසාත් තම කණ්ඩායමට තරගයේ පළමු ගෝලය හිමි කර දෙන්නට සමත් විය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ දී ද ජාවා ලේන් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර ඔවුන් රිනවුන් කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයින් හට ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරන්නට නිදහස ලබා දුන්නේ නැත. තරමක් දුර සිට පහර එල්ල කරමින් ගෝල රැස්කර ගැනීමට රිනවුන් ක්‍රීඩකයින් දැරූ උත්සාහයන් ද ව්‍යර්ථ කර දමන්නට ඔවුන් සමත් විය. මිනිත්තු කිහිපයකට පසුව නවීන් ජූඩ් හට තරගයේ තම තුන්වෙනි ගෝලය රැස්කර ගැනීමට අවස්ථාවක් ලැබුණත් ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී ගියේය.

ජාවා ලේන් ක්‍රීඩකයින්ට තවත් ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථා කිහිපයක්ම උදා වුවත් ගෝල රාමුව ඉදිරිපිට දී ඔවුන් ගත් වැරදි තීරණ හේතුවෙන් එම අවස්ථාවන් ඔවුන්ට අහිමි විය. කෙසේවුවත් තරගයේ මුල සිට ඉතා හොඳින් ක්‍රීඩා කළ ඔවුන් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගන්නට සමත් විය.

දෙවන අර්ධය – රිනවුන් SC 1 – 3 ජාවා ලේන් SC

Thepapare.com තරගයේ වීරයා – නවීන් ජූඩ් (ජාවා ලේන් SC)

Thepapare.com සමඟ අදහස් දැක්වූ ජාවා ලේන් කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් නසාර් පවසා සිටියේ;

“අද ක්‍රීඩකයින් ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව මම ආඩම්බර වෙනවා. තරගයේ දී අපේ මූලික අරමුණ වුණේ ප්‍රතිවාදීන්ව අවහිර කරමින් ඔවුන්ට පන්දුව ඉදිරියට ගෙන ඒමට අවස්ථාවක් නොදීම. ඉතා හොඳින් කැපවෙලා ක්‍රීඩා කළ නිසා අපි අද තරගය ජය ගත්තා. ඉදිරියේ දී අපට ඉතා විශාල අභියෝගයක් තිබෙනවා. අපි ඒ තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන ආකාරයට අපේ උපක්‍රම වෙනස් කරනවා.”

රිනවුන් කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් අමනුල්ලා ප්‍රකාශ කර සිටියේ;

“අපි තරගයේ පළමු අර්ධය හොඳින් ක්‍රීඩා කළේ නෑ. පළමු අර්ධය තුළ අපිට අවස්ථාවක් ලබා ගන්න බැරිවීම තරගයේ පරාජයට ගොඩක් දුරට බලපෑවා. එහි වගකීම අපි බාර ගන්නවා. අපි සාමාන්‍යයෙන් ක්‍රීඩකයින් හැකි තරම් ප්‍රමාණයක් ඉදිරියට රැගෙන යනවා. ඒ නිසා එහි දී අපි අතින් සුළු වරදක් සිදු වුනත් ඔවුන්ට ඉක්මන් අවස්ථාවක් ලබාගන්න ඉඩකඩ හිමි වෙනවා. ජාවා ලේන් ක්‍රීඩකයින් එයින් උපරිම ප්‍රයෝජනය ගත්තා. අපිට දැන් ඉදිරි කාලය ඉතිරි වෙලා තිබෙනවා. එම කාලය තුළ කණ්ඩායම ගැන අවධානය යොමු කරලා අවශ්‍ය වෙනස්කම් සිදු කළොත් මම හිතනවා අපිට නැවතත් අපේ උපරිමයට ළඟා වෙන්න හැකිවෙයි කියලා.”

ගෝල ලාභීන්

  • ජාවා ලේන් SC – ජනක චමින්ද 25’, නවීන් ජූඩ් 37’ සහ 64’
  • රිනවුන් SC – මොහොමඩ් අසාත් 75’

කහ කාඩ්පත්

  • ජාවා ලේන් SC – එම්. අලීම් 44’, සී. ද සිල්වා 50’
  • රිනවුන් SC – එස්. අහමඩ් 24’, එම්. රිෆ්නාස් 79’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට