පාසල් පැසිපන්දු පිටියේ විශිෂ්ටයන් සොයන “ThePapare පැසිපන්දු ශූරතාවලිය (TPBC)”, නොකඩවා දෙවන වරටත් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. එහි දී දිවයිනේ විශිෂ්ටතම දක්ෂයන් අයත්වන පාසල් 28ක්, පාසා පැසිපන්දු පිටියේ ඉහළම ගෞරවය සොයා සටන් වදිනු ඇති.මෙරට අති දක්ෂ පැසිපන්දු තරු රැසක තිඹිරිගෙය වන වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මෙවර තරගාවලියේ දී, සිය විශිෂ්ටත්වය පෙන්වීමට සැදී පැහැදී සිටින කණ්ඩායමකි. වත්තල ලයිසියම් ක්‍රීඩිකාවන්ගේ මේ වසරේ දස්කම් ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඔවුන් අන්තර් ජාත්‍යන්තර පාසල් තරගාවලියේ වයස අවුරුදු 17න් සහ 19න් පහළ ශූරතා දෙකම හිමි කර ගැනීමත් සමඟ එම ක්‍රීඩා විලාශය මෙම තරගාවලිය තුලත් පවත්වා ගැනීමේ අරමුණින් පසු වෙයි.

2016 ThePapare පැසිපන්දු ශූරතාවලියේ දස්කම්

2016 වසරේ මෙම තරගාවලියේ ශූරියන් වූ යහපත් එඩේරාගේ කන්‍යාරාමය සමඟ A කාණ්ඩයෙන් තරග වැදුණු වත්තල ලයිසියම් ක්‍රීඩිකාවන්ට පසුගිය වසරේ දී අවාසනාවන්ත ලෙස පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුනේ එම වටයේ තියුණු තරග දෙකකින් පරාජය වීමත් සමඟයි. ඔවුන් ලකුණු 40 – 42ක් ලෙස යහපත් එඬේරාගේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වූ අතර නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය හමුවේ පරාජය වුනේ ලකුණු 33 – 38ක් ලෙසිනුයි. වත්තල ලයිසියම් ක්‍රීඩිකාවන්ගේ එකම ජයග්‍රහණය සාන්ත ලෝරන්ස් කන්‍යාරාමයට එරෙහිව වාර්තා වූ අතර එහි ලකුණු තත්ත්වය 54 – 45ක් ලෙස සටහන් විය.

ප්‍රධාන ක්‍රීඩිකාවන්
හසීනා අබ්දුල්

Key Player Hazeena

2017 නායිකාව වන හසීනා මේ වසර මුලදී මැලේසියාවේ පැවති ආසියානු 3×3 තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ කණ්ඩායමේ ද සාමාජිකාවකි. පිටියේ පසුපස මධ්‍ය ස්ථානයේ (Point Guard) ක්‍රීඩා කරන ඇය සිය දක්ෂ පන්දු යොමු කිරීම් තුලින් අනෙකුත් ක්‍රීඩිකාවන් ආක්‍රමණශීලී තරග රටාවක යෙදවීමට සමත්කම් දක්වයි. ඇගේ ප්‍රධානතම දක්ෂතාව වන්නේ ප්‍රතිවාදී ආරක්ෂාව අතුරින් රිංගා යමින් ප්‍රතිවාදීන්ව නීති විරෝධී ක්‍රීඩා විලාශයකට යොමු කරවීම තුලින්  ලකුණු ලබා ගැනීමයි.

ලුබ්නා මෝසෙත්

Key Player Lubna

නායිකා හසීනා සමඟ මෙම කණ්ඩායමට ඇතුළත් වන අත්දැකීම් බහුලතම ක්‍රීඩිකාව වන ලුබ්නා ජාතික කණ්ඩායම් සමඟ තරග සංචාර දෙකකට එක්වී තිබේ. 2016 ආසියානු ශූරතා වයස අවුරුදු 18න් පහළ තරගාවලිය සඳහා මෙන්ම පසුගියදා ඉන්දියාවේ බැංගලෝර් නුවර අවසන් වූ ආසියානු ශූරතා කාන්තා පැසි පන්දු තරගාවලියට ද ඇය සහභාගී විය. සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන ලුබ්නාගේ අත්දැකීම් බහුලත්වය, ලකුණු නොලබා නැවත පැමිණෙන පන්දු ලබා ගැනීම සහ එමගින් ලකුණු ලබා ගැනීම සඳහා මෙන්ම ප්‍රතිවාදීන් ලකුණු ලබා ගැනීම වැළැක්වීම සඳහා ද බෙහෙවින් උපකාරී වනු ඇත.

කණ්ඩායමේ සංයුතිය

වසර කිහිපයක් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වූ පවනි රණේපුර තවදුරටත් කණ්ඩායමේ නොමැති වුවත් වසර ගණනක සිට එක්ව ක්‍රීඩා කරන මේ ක්‍රීඩිකා පිරිවර එකිනෙකා පිළිබඳ මනා අවබෝධයෙන් සිටින කණ්ඩායමකි.

මෙම කණ්ඩායමේ ශක්තීන් පිළිබඳ සලකා බැලීමේ දී සිය ප්‍රතිවාදීන්ගේ ආරක්ෂක සැලසුම්වලට අනුකූලව සිය ආක්‍රමණ දියත් කිරීම මෙන්ම දුර සිට පන්දුව පාසා තුලට එල්ල කිරීමට ඇති එඩිතර බව පෙන්වා දිය හැක. එමෙන්ම වේගවත් ප්‍රතිආක්‍රමණ මගින් ලකුණු ලබා ගැනීම ද ඔවුන්ගේ උපක්‍රමයකි. සාමාන්‍යයෙන් 2:1:2 සැකැස්මකින් තරග වදින ඔවුන් ප්‍රතිවාදීන් අනුව මෙම ස්ථානගත වීම් වෙනස් කරන අවස්ථාද දක්නට ලැබේ.

පසුගිය වසරේ අන්තර් ජාත්‍යන්තර පාසල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව වත්තල ලයිසියම් ක්‍රීඩිකාවන් සිය පුහුණුවීම් තවත් දැඩි කර තිබෙන්නේ එම ජයග්‍රාහී තරග රටාව ම අනුගමනය කරමින් තවත් ජයග්‍රහණයක් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. ආසියානු සහ ලෝක මට්ටමේ තරග අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් මෙම කණ්ඩායමට අමතර සවියක් එක් කරන අතර එම ශක්තිය උපයෝගී කර ගනිමින් මෙම වසරේ ජයග්‍රහණ එකතුවට තවත් ශූරතාවක් එක් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තුවෙන් පසු වනු ඇත.

අදහස්

නායිකා හසීනා අබ්දුල්, ”අපිට මේ වසර තුල තවත් ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලුම දේ තිබෙනවා. විශිෂ්ට ඝනයේ පුහුණුකරුවෙක්, ඊට නොදෙවෙනි කණ්ඩායමක්. ඒ වගේම අපි පුහුණුවීම් සඳහා අතිශයින් වෙහෙස වෙනවා. මම විශ්වාස කරනවා අවශ්‍ය තරම් මහන්සි වුනොත් කරන්න බැරි දෙයක් නැති බව”

ප්‍රධාන පුහුණුකරු, නෙරියස් ස්ටැන්ලි, ”තරගාවලියේ ජයග්‍රහණය රැඳී පවතින්නේ එදා දිනයේ වාසනාව මතයි. නමුත් මෙම කණ්ඩායමේ දස්කම් සහ ඔවුන් පුහුණුවීම් සඳහා කරන කැපවීම අනුව තවත් ශූරතාවක් දිනා ගැනීම සඳහා අවශ්‍ය සියලු දේ මෙම කණ්ඩායම සතුයි.

සංචිතය

හසීනා අබ්දුල් (නායිකා), අනුමි සමරසිංහ, අවුරෝරා රන්විතාරච්චි, සකුණි විසංපෙරුම, ෂයිනි හෙට්ටිආරච්චි, වොනාරා නිමෙත්මා, , මෙලීසා පෙරේරා, ඉමංගී රොද්‍රිගෝ, ලුබ්නා මෝසෙත්, මිහිංසා ද අල්විස්, ආශා නිස්මා.