සති 11ක කාලයක් පුරා පැවති පාසල් රග්බි ලීග් තරගාවලිය නිමාවට පත්වූයේ කොළඹ රාජකීය විද්‍යාලය වසර 2 කට පසුව තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියමිනි. තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් ජයග්‍රහණය කරන්නට රාජකීය ක්‍රීඩකයින් සමත් විය.

ශූරතාවය රාජකීයයන්ට; අනුශූරතාවය ඉසිපතනයට

2017 අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තීරණාත්මක තරග 3ක් ඊයේ (20) පැවති අතර එහි දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කළ…

ඉතා තරගකාරී ස්වරූපයක් ගත් 2017 පාසල් රග්බි ලීග් තරගාවලිය පසුගිය සෙනසුරාදා (20) පැවති අවසන් තරග 4ත් සමඟ නිමාවට පත්විය.

තරගාවලියේ දෙවන වටයේ පළමු සතිය අවසානයේ ශූරතාවය සඳහා කණ්ඩායම් 04ක් අතර තරගයක් පැවතුණත්, තරගාවලියේ අවසාන සතිය වන විට එය කණ්ඩායම් දෙකක් දක්වා පහත වැටුණි.

73 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර සඳහා කොළඹ රාජකීය විද්‍යාලයත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් අතර පැවති තරගය සිංගර් රග්බි ලීග් තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කෙරෙන තීරණාත්මක තරගය ද විය. එහි දී ඉතා උණුසුම් තරගයකින් අනතුරුව රාජකීය විද්‍යාලයීය කණ්ඩායම විසින් ලකුණු 22-17 ක් ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරන්නට සමත් විය. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ රාජකීය විද්‍යාලයට මෙවර පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය හිමි විය.

තරගාවලියේ අවසන් දිනය වූ සෙනසුරාදා තවත් තරග 03ක් පැවති අතර එහි දී ඉසිපතන විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වූ අතර බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම ප්‍රතිවාදී වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමට එක් ලකුණක් හෝ වාර්තා කර ගන්නට අවස්ථාවක් ලබා නොදුන් අතර අවසානයේ ඉසිපතන කණ්ඩායමට ලකුණු 28-00 ක පහසු ජයග්‍රහණයක් අත්විය. මරදානේ පිහිටි පාසල් ද්විත්වයක් වන ශාන්ත ජෝසප් විද්‍යාලය හා සහිරා විද්‍යාලය අතර තරගය නිමාවට පත්වූයේ ලකුණු 38-14 ක ජයග්‍රහණයක් සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමට අත් වෙමිනි.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 25-25ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ඒ අනුව සති 11ක තරගාවලිය අවසානයේ සිංගර් රග්බි ලීග් තරගාවලියේ අවසාන ලකුණු සටහන දැක්වුණේ මෙසේය.

s1සති 10ක කාලයකින් පසුව ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු සටහනේ පළමු ස්ථානය අහිමි වේ; දෙවන ස්ථානය ඉසිපතන විද්‍යාලයට

පසුගිය සති 09 පුරාවටම ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූයේ ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමයි. ඔවුන් සාන්ත පීතර විද්‍යාලය සමඟ පැවති තරගය පරාජයට පත්වුවත් ඔවුන්ගේ ලකුණු සාමාන්‍ය හේතුවෙන් ඔවුන්ට පළමු ස්ථානය රැක ගැනීමට හැකි විය.

සැලකිය යුතු කාලයක් සඳහා පෙරමුණේ පසු වුවද තරගාවලිය අවසානයේ ඔවුන්ට හිමිවූයේ තුන්වෙනි ස්ථානයයි. ඔවුන්ගේ ලකුණු සාමාන්‍ය 4.56ක් ලෙස දැක්වුණු අතර දෙවන ස්ථානය දිනා ගත් ඉසිපතන විද්‍යාලයේ ලකුණු සාමාන්‍ය 4.6ක් ලෙස සටහන් විය.

2015 වසරේ දී බානුක ගමගේ ගේ නායකත්වයෙන් පාසල් රග්බි ලීග් ශූරතාව දිනා ගත් රාජකීය විද්‍යාලයීය කණ්ඩායම මෙම වසරේ දී ද ශූරතාවය තම පාසලට රැගෙන යාමට සමත් වූයේ ඔවින් ඇස්කිගේ නායකත්වය යටතේය.

කෙසේ වුවත් තරගයක් පරාජය වීමෙන් අනතුරුව කණ්ඩායමක් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත්වූයේ වසර 04 කට පසුවයි. 2013 වසර සිට 2016 වසර දක්වා ශූරතාවය දිනා ගත් සියලුම කණ්ඩායම් ශූරතාවයට හිමිකම් කීවේ අපරාජිතවයි.

League Standings in 2015. Coincidentally, the top three finishes this year look similar to that of 2015 when Royal won the league last time.
League Standings in 2015. Coincidentally, the top three finishes this year look similar to that of 2015 when Royal won the league last time.

වෙස්ලි සහ සාන්ත ජෝසප් විද්‍යාලීය කාණ්ඩයම් සාර්ථකව තරගාවලිය අවසන් කරයි.

වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මෙවර තරගාවලියේ ප්‍රතිඵලය පිළිබඳ සතුටට පත්විය හැක. ඔවුන් සමස්ත ලකුණු සටහනේ 04 වැනි ස්ථානය දිනා ගත් අතර ඔවුන් පරාජය වූයේ ත්‍රිත්ව, රාජකීය සහ ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම් සමඟ පැවති තරග පමණි.

පසුගිය වසරේ සමස්ත ලකුණු සටහනේ 08 වැනි ස්ථානයට පත්වූ ඔවුන් මෙවර තරගාවලිය තුළ කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කිරීම නිසා ඔවුන්ට 04 වැනි ස්ථානය දිනා ගැනීමට හැකිවිය.

Wesley's has been able to climb a considerable distance this season
Wesley’s has been able to climb a considerable distance this season

සාන්ත ජෝසප් කණ්ඩායමට තරගාවලියේ 04 වැනි ස්ථානය අහිමි වූයේ ලකුණු සාමාන්‍ය 0.05 ක සුළු පරතරයකිනි. 04 වැනි ස්ථානය දිනා ගත් වෙස්ලි විද්‍යාලයේ ලකුණු සාමාන්‍ය 4ක් ලෙස සටහන් වූ අතර 05 වැනි ස්ථානයට පත්වූ සාන්ත ජෝසප් විද්‍යාලයේ ලකුණු සාමාන්‍ය සටහන් වූයේ ලකුණු 3.95ක් ලෙසයි. කෙසේ වුවත් මෙවර තරගාවලියේ හොඳින් ක්‍රීඩා කිරීමට ඔවුන් සමත් වූ අතර ඉදිරි වසරවල දී අනෙක් කණ්ඩායම් වලට ඔවුන් ප්‍රබල අභියෝගයක් වනු නොඅනුමානය.

තරගාවලියේ තරගකාරීත්වය ඉහළ නැංවීමේ වැඩි ගෞරවය හිමි විය යුත්තේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමටයි. ඔවුන් තරගාවලියේ පළමු වටයේ දී ප්‍රබල ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරන්නට සමත් වූ අතර ඉන් පසුව ප්‍රබල ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම ද පරාජයට පත්කරන්නට සමත් විය. ප්‍රබල කණ්ඩායම් දෙකක් පරාජය කිරීමට හැකිවුවත් ඔවුන්ට දිනා ගැනීමට හැකි වූයේ 06 වැනි ස්ථානයයි. නමුත් තරගාවලියේ සමස්ත ලකුණු සටහනේ ඉහළ ස්ථානයක රැඳෙමින් තරගාවලිය අවසන් කරන්නට ඔවුන්ට නිසැකවම හැකියාව තිබුණි.

සාන්ත තෝමස් හා සහිරා විද්‍යාලීය කණ්ඩායම් වලට සතුටට පත්විය නොහැකි තරගාවලියක්.

පසුගිය වසරේ තරගාවලියේ සමස්ත ලකුණු සටහනේ දෙවන ස්ථානය දිනා ගත් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම මෙවර තරගාවලියේ එතරම් සාර්ථක වූයේ නැත. නවීන් හේනකන්කානම්ගේ ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ඔවුන් සහභාගී වූ තරග 09න් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ තරග 03ක් පමණි.

සහිරා විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ දී හොඳින් ක්‍රීඩා කරන්නට සමත් වුවත් ඔවුන් ද දෙවන වටයේ දී අසාර්ථක විය. දෙවන වටයේ දී සහභාගී වූ තරග 04ම ඔවුන් පරාජයට පත්විය. දෙවන වටයේ දී අසාර්ථක වුවද පළමු වටයේ දී හොඳින් ක්‍රීඩා කොට ශූරතා කුසලානය සඳහා තරග වැදීමට තේරී පත්වීම පිළිබඳව ඔවුන් සතුටට පත්වෙනු ඇත.

අවසාන වශයෙන් 2017 අන්තර් පාසල් සිංගර් රග්බි ලීග් තරගාවලිය දෙස බැලූ කළ එය ඉතා තරගකාරී මුහුණුවරක් ගත් බව ප්‍රකාශ කළ හැක. පාසල් රග්බිලෝලීන්ට ඉතා උණුසුම් තරග කිහිපයක අත්දැකීම විඳ ගන්නට මෙම තරග වාරයේ දී අවස්ථාව සැලසිණ.

මෙම රග්බි තරගාවලියේ දී තරගාවලිය සමඟ රැඳී සිටි රග්බිලෝලීන් ඇතුළු සියලු දෙනාට ThePapare.com ස්තූතිය පළකර සිටින අතර තරගාවලිය ආවරණය කිරීමේ දී අපි ඔබට සාධාරණයක් ඉෂ්ට කළා යැයි අපේක්ෂා කරමු.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට

Hear what league title winning captain Ovin Askey & coach Sanath Martis had to say