ලෝකයේ පළවැනියා දක්වා ආ ගමන ගැන කුමාර් ධර්මසේන කියන කතාව

334
2012 වසරේ පැවති අයි. සී. සී. සම්මාන උළෙලේ දක්ෂතම විනිසුරුවරයා ලෙස සම්මාන ලබා ගනිමින්.

කෙටි පියවර කිහිපයක් දිවවිත් කඕෆ් කටර් පන්දු යවන්නකු ලෙසින් අප ඔහුව දුටුවේ 1993 වසරේ දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගාවලියේ දී ය.

තම මංගල තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකි වුවත්, 90 දශකයේ මැද භාගය වන විට ඔහුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට නැතිවම බැරි චරිතයක් බවට පත්විය. ඒ එවකට අතලොස්සක් වූ ජයග්‍රහණයන් ලද ශ්‍රී ලංකා කණ්ඩායමට, ලබාගත නොහැකිව තිබූ ජයග්‍රහණයන්, ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා නිසා ලබා ගැනීමට හැකිවූ නිසාය. එබැවින් ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නැතිවම බැරි චරිතයක් බවට පත්විය. ඒ නිසාම ඔහුව ‘උනන්දුවා’ යන අන්වර්ථ නාමය ද පැටබැඳිනි.

වමත් කසකරුවාගේ ඔබ නොදන්නා ආරම්භය

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම සීමිත පන්දුවාර තරග රටාව සහ එහි හැඩතල වෙනත්ම දිශානතියකට යොමු කළ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස

ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනූ 1996 තරගාවලියේ අංක 1 ක්‍රීඩකයෙකු බවට පත්වූ ඔහු නමින් කුමාර් ධර්මසේනය. වසර 13ක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පණ පෙවූ ඔහු  ජාත්‍යන්තර තරග දිවිය හමාර කළේ ටෙස්ට් තරග 31ක් සහ එක්දින තරග 141ක දී ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි.

පන්දු යැවීමට සමත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ ධර්මසේන තම ක්‍රිකට් දිවියට සමුදීමත් සමඟ තවත් ගමනකට මුල පිරීය. ඒ ක්‍රිකට් විනිසුරුකරණයටය. ක්‍රීඩකයකු ලෙස එදා ශ්‍රී ලංකාව දිග්විජය කරා රැගෙන ගියා මෙන් ඔහු විනිසුරුකරණයෙන් ද ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට දැන් සමත්වී තිබේ. ඒ ලෝකයේ හොඳම ක්‍රිකට් විනිසුරුවරයා වෙමිනි. ඒ දස්කම ඔහු දැක්වූයේ එක් වතාවක් පමණක් නොවේ.

ප්‍රථමයෙන්ම 2012 වසරේ දී ලොව හොඳම ක්‍රිකට් විනිසුරුවරයා ලෙසින් කිරුළු පළන් ඔහු 2018 වසර වෙනුවෙන් පැවති අයි. සී. සී. ක්‍රිකට් සම්මාන උළෙලේ දී ද ලොව හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට හිමි ‘ඩේවිඩ් ෂෙපර්ඩ්’ සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලාංකේය නාමය ලෝකයට රැගෙන ගිය මේ අපූරු චරිතය එහෙමත් නැත්නම් අප කවුරුත් ආදරය කරන කුමාර් ධර්මසේන මහතා සමග කතා කිරීමට, ශ්‍රී ලංකාවේ අංක 1 වෙබ් අඩවිය වන ThePapare.com අවස්ථාව උදාවිය.

ඔහුගේ විනිසුරු දිවියේ ලද ජයග්‍රහණය මෙන්ම ක්‍රීඩකයකු ලෙසින් පටන් ගත් ඔහුගේ ක්‍රිකට් ජීවිතය විනිසුරුවරයකු දක්වා පැමිණි ගමන් මග අප සමඟින් බෙදා ගනු ලැබුවේ මෙලෙසිනි.

ප්‍රශ්නය:- ඔබ යළිත් ලොව අංක 1 ක්‍රිකට් විනිසුරුවරයා බවට පත්වුණා. අපි කතාව එතැනින්ම පටන් ගමු?

ඇත්තටම ගිය වසර ගැන මම කතා කළොත් ගොඩක්ම තෘප්තිමත් වූ වසරක් කියලා කිව්වොත් හරි. ඒ වගේම මේ සම්මානයට මට හිමි වීම දිහා මම බලන්නෙ විශාල ගෞරවයක් සහ වරප්‍රසාදයක් විදියට. මේ සම්මානයට මට ලැබුණේ දෙවැනි වතාවට. මීට කලින් මම වසර 6කට කලින් ඒ සම්මාන දිනා ගත්තා. මේ ජයග්‍රහණය තුළින් මා වැඩියෙන්ම කැමැත්තක් දක්වන විනිසුරු කටයුත්ත තව තවත් හොඳින් කරන්න මට ධෛර්යය දෙනවා කිව්වොත් නිවැරදියි. මම කොහොමත් ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරය කළ කෙනෙක්. ක්‍රීඩකයෙක් වගේම විනිසුරුවරයෙක් වශයෙනුත් මම මගේ උපරිමය ලබා දුන්නා. ඉදිරියේ දී මම මටම අභියෝග කරමින් තව තවත් ඉදිරියට යන්න මගේ උපරිමය ලබා දෙනවා.

ප්‍රශ්නය:- මේ ආපු ගමන ගෙන කෙටියෙන් සඳහනක් කළොත්?

මට මතකයි ක්‍රිකට් විනිසුරුවරයෙක් විදියට ජාත්‍යන්තර තරග වරම් දිනපු පළමු වසරේදිම මං වසරේ හොඳම ක්‍රිකට් විනිසුරුවරයා වුනා. ඊට පස්සේ මම පළමු ස්ථාන කිහිපයේම, ඒ කියන්නේ 2, 3, 4 වගේ ස්ථානවල අවුරුදු 5ක්ම රැඳිලා හිටියා. 2017 වසරට කලින් අවුරුද්දේ ඒ කියන්නේ 2016 දී මම තුන්වැනිය බවට පත්වුනා. 2017 වසරේ දී දෙවැනි ස්ථානයට ආවා. දැන් ආයිත් පළමුවැනියා බවට පත්වුනා.

ප්‍රශ්නය:- ලෝකෙ අංක එකේ ක්‍රිකට් විනිසුරුවරයා දක්වා ආපු ගමනෙදි ඔබටත් බාධකවලට මුහුණ දෙන්න ඇති. එහෙම නේද?

ඔව්. ක්‍රිකට්වලින් අයින් වෙනකොට මට තිබුණ ලොකුම ගැටලුව තමයි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් වුනත් ලිවීමේ හැකියාව අඩුවීම. පස්සේ මම කළේ මාස 9ක් විතර වගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව වූ මගේ දැනුම වර්ධනය කරගත්තු එක. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුනා.

ප්‍රශ්නය:- ඔබගේ දින චර්යාව, එහෙමත් නැත්නම් තරගයකට කලින් වෙන පෙර සූදානම කොහොමද?

ප්‍රෙපරේෂන් එකක ගොඩක් වටිනවා. ඒක තරගයක් තියෙන දවසේ විතරක් නොවෙයි. ඉන්ටර්නැෂනල් මැච් එකක් නම් සාමාන්‍යයෙන් සති දෙකකට කලින් වගේ ඒ වෙනුවෙන් මම ප්‍රිපෙයාර් වෙනවා. ග්‍රවුන්ඩ් එක, ගහන රටවල්, මගේ පාර්ට්නර් ගැන වැඩි අවධානයක් ගන්නවා. ඒ වගේම ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ක්‍රීඩා කරන විදියට, ඔවුන්ගේ විලාසය, කාලගුණය යන දේවල් ගැනත් මම අවධානය යොමු කරනවා. ඒ සඳහා අයි. සී. සී. එකෙනුත් අපිට අවශ්‍ය කරන දත්ත ලබා දෙනවා. එහෙම තමයි අපි තරගයට පෙරහුරුව හදා ගන්නේ. ඇත්තටම මේ ඔක්කොම බේසික්. ඒත් ඒවා හරි වටිනවා. එහෙම වුනේ නැත්නම් අම්පයර් කරන්න ටිකක් අමාරුයි.

ප්‍රශ්නය:- ඔබ වසර 13ක් ක්‍රීඩකයෙක් විදියට ලංකාව නියෝජනය කළා. නමුත් විනිසුරු පදවිය කියන්නේ ඊට එහා ගිය දෙයක්. විශේෂයෙන්ම ඔබ සමඟ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් තරග වදින විට ඔබ විනිසුරු වෘත්තියට ආවා. ඒකට හැඩ ගැසීම කොයි වගේ වුනා ද?

කොච්චර ක්‍රිකට් ක්‍රීඩා කළත් විනිසුරුවරයෙක් විදියට වැඩ කරද්දී ඒ සඳහා දැනුම ප්‍රගුණ කර ගැනීම අනිවාර්යයි. විශේෂයෙන් ක්‍රිකට් නීතිය සහ ප්ලෙයිං කන්ඩිෂන් වගේ දේවල්. ඒ වගේම ක්‍රීඩා පිටියෙදි ක්‍රීඩකයින්ව කළමනාකරණය කරන විදිය. ක්‍රීඩා කරන කාලේ බැට් එකෙන් බෝලෙට ගහනවා වගේ නොවෙයි. ක්‍රීඩකයන් සමඟ අදහස් හුවමාරු කරගත යුතුයි. අන්න ඒ වගේ දේවල් ගැන මට ඉතාමත් අඩු කාලයක දී පුහුණු වෙන්න සිද්ධ වුනා. ඒ හැම වැඩක්ම මම කැපවීමෙන් හා උනන්දුවෙන් කළා. ඉතිං මං හිතනවා ඒක තමයි මම අද මේ ඉන්න තැනට එන්න ඉවහල් වුනේ කියලා.

ප්‍රශ්නය:- ඔබ කාලයක් ක්‍රීඩකයෙක්. දැන් විනිසුරුවරයෙක්. කොයි එකෙද මේකෙන් කරන්න ලේසි?

ක්‍රීඩකයෙක් විදියට කටයුතු කරන එක ගොඩක් ලේසියි.

ප්‍රශ්නය:- අපි බැලුවොත් ගොඩක් ක්‍රීඩකයින් තම ක්‍රීඩා ජීවිතයෙන් සමුගත්තම ගොඩක්ම නැඹුරු වෙන්න පුහුණුකරුවකු වෙන්න. නමුත් ඔබ උඩුගං බලා පීනපු කෙනෙක්?

පුහුණුකරුවකු වීම සම්බන්ධව දෙවැනි පෙළ සහතිකයත් මටත් තියෙනවා. ඒත් මේ තීරණය මං පෞද්ගලිකවම ගත්තු එකක්. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියාම මට තිබුණේ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීමේ හීනයක්. ඒත් මට හිතුණා එහෙම වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි කියලා. ඒ අනුව මම කල්පනා කළේ විනිසුරරුවරයෙක් වුනොත් ලෝකයේ පළමු තැනට එන්න හැකියාව මට වැඩියි කියලා.

අනිත් කරුණ තමයි, පුහුණුකරුවකුගේ රැකියාව රඳා පවතින්නේ ක්‍රීඩකයන් දක්වන දක්ෂතා අනුව. කොච්චර හොඳ පුහුණුකරුවෙක් වුනත්, වැඩක් නැහැ කණ්ඩායම පරදිනවා නම්. මං හිතනවා ඒකත් එක හේතුවක් කියලා, විනිසුරුවරයෙක් වෙන්නම හිතපු එක. ඒ වගේම තව දෙයක් තමයි මං පොඩ්ඩක් ට්‍රැවල් කරන්නත් ආසයි. අනික ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වැඩ කරන්න ලැබීමත් මං හිතනවා ගොඩක්ම ශ්‍රේෂ්ඨ දෙයක් කියලා.

ප්‍රශ්නය:- ඒ සඳහා කවුරුන් හෝ මග පෙන්වීමක් කළා ද?

ඔව්. මට රොෂාන් අයියා (මහානාම) සහ රංජන් අයියා (මඩුගල්ල) ගොඩක් උදව් කළා. අයි. සී. සී. යට එන මාර්ගය පෙන්නුවේ ඔවුන්. ඒත් විනිසුරු වෘත්තිය තෝරා ගැනීම මම තනියම ගත්ත තීරණයක්. ඊට පස්සේ පීටර් මැනුවෙල් මහත්මයා මගේ පස්සෙන්ම හිටියා.

ප්‍රශ්නය:- අපි ඔබගේ පළමු ජාත්‍යන්තර තරග අත්දැකීමේ මතකයට යමු.

මගේ පළමු ජාත්‍යන්තර තරගය වුනේ ඉන්දියාවත් එක්ක දඹුල්ලේ තිබුණ තරගයක්. මට අද වගේ මතකයි ඒ තරගයේ දී මම දුන්න පළමු තීරණයම වැරදි එකක්. ඒක සචින් ටෙන්ඩුල්කාර්ට එරෙහිව ලබා දුන්න තීරණයක්.

පොඩිම තැනින් ලොකුම තැනට ගිය වසීම් අක්‍රම්

ඒක සම්පූර්ණයෙන්ම අහම්බයක්. 1984 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වුණා එක්තරා ක්‍රිකට් පුහුණු කඳවුරක්

ප්‍රශ්නය:- ඒ කියන්නේ පළමු තීරණයම වැරදි එකක්?

ඔව්. ඒ ගැන මම ගොඩක් කනගාටුවට පත්වුනා. මම ගෙදර ගිහින් දුකෙන් ඉන්න කොට මට අද වගේ මතකයි, මගේ තාත්තා කිව්වා, වැරදි තීරණයක් දුන්නා කියලා ඔයා දුක් වෙන්න එපා, තීරණය දුන්නේ සචින් ටෙන්ඩුල්කාර්ට එරෙහිව. ඒ හින්දා ඔයා හයිය තියෙන මිනිහෙක් කියන එක තේරුම් ගන්න කියලා. එදා මගේ තාත්තා කියපු දේ මම  අදටත් විශ්වාස කරනවා. ඇඟිල්ලක් උස්සලා තීරණයක් දෙන්න, විනිශ්චයකරුවකුට හොඳ හයියක් තියෙන්න ඕන. මං හිතනවා මට ඒ ධෛර්යය සහ හයිය තියෙනවා කියලා.

ප්‍රශ්නය:- ඔබ මේ වන විට ටෙස්ට් තරග 50කට අධික සංඛ්‍යාවක ප්‍රධාන විනිසුරුවරයා විදියට කටයුතු කරලා තියෙනවා. ඒ අතරතුර අමතක නොවන සිදුවීම් ගොඩක් ඇති?

හොඳම මතකයේ තියෙන ටෙස්ට් තරගයක් තමයි දකුණු අප්‍රිකාවයි ඕස්ට්‍රේලියාවයි එක්ක 2015 තිබුණ ටෙස්ට් තරගාවලිය. ඒකෙ එක තරගයක දී, තරගය අවසන් වෙන්න එක් පන්දුවාරයක් තියෙද්දී ඕස්ට්‍රේලියාව දිනුවා. ඒක විනිශ්චය කරන්න හරිම අමාරු තරගයක් වුනා. ඒක මගේ ජීවිතයේ අමතක නොවන තරගයක්. ඒ වගේම මතභේදයට තුඩු දුන්න උස්මාන් කවාජාගේ දැවී යෑම. එතන දී විස්තර විචාරකයන්ට සහ නරඹන්නන්ට අල්ට්‍රා එජ් කියන තාක්ෂණික ක්‍රමවේදය නැරඹීමට අවස්ථාව තිබුනත්, විනිසුරුවරුන්ට ලබා දීලා තිබුණු ටූල්ස්වලට ඒක ඇතුළත් වුනේ නෑ. මගේ අතින් සිදුවුණු වැරැද්දක් වුනත්, මම හිතන්නේ එතැන දී මට භාවිතා කරන්න තිබුණ ටූල්ස් එක්ක බැලුවහ මම ගත්ත තීරණයේ කිසිම වැරැද්දක් තිබුණේ නෑ කියලා. කොහොම වුනත්, ඒ වෙච්ච දේ එක්ක හැමෝටම එකම ටූල්ස් පාවිච්චි කරන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවස්ථාව ලබා දුන්නා.

1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින්.

ප්‍රශ්නය:- ඔබ ජාත්‍යන්තර තරග විශාල සංඛ්‍යාවක විනිසුරුවරයකු විදියට කටයුතු කරලා තියෙනවා.  ඒ විදියට කටයුතු කරන කොට කොයි කණ්ඩායම, කොයි ක්‍රීඩකයා ක්‍රීඩා කරන කොට ඒ කාර්යයෙ නියැළෙන්න වැඩිපුර කැමති?

මං ගොඩක්ම කැමති විරාත් කෝලි ක්‍රීඩා කරනවා බලන්න. ඒ වගේම ඉන්දීය කණ්ඩායමත් අද ප්‍රබල තැනක ඉන්නවා. ඉන්දියාව ක්‍රීඩා කරන තරගවල දී කටයුතු කරන්නත් මම වැඩි කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම අයි. සී. සී. යත් වැඩිපුරම ඒ තරගවලට දාන්නේ මාව. ඉන්දියාව තරගවදින කොට ලොකු ක්‍රවුඩ් එකකුත් එන නිසා ඒ තරග ගොඩක් ප්‍රෙෂර්.

ප්‍රශ්නය:- විරාත් කෝලිට කැමැත්තක් දක්වන්න තියෙන හේතුව?

විශේෂයි කියන්නේ ඔහුගේ තියෙන ටැලන්ට් එක. ඒක ක්‍රීඩා කරනකොට සුවිශේෂීයි. ඒ වගේම මනුස්සයෙක් විදියටත් ඔහු ඉතාම හොඳ පුද්ගලයෙක්. මට ඔහුව අවස්ථා කිහිපයක දී ම ඇසුරු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔහු ඉතාම සුහදශීලී පුද්ගලයෙක්. මං හිතනවා කෝලිට තියෙන දේවල් මට ලැබුණා නම් මට විරාත් කෝලි වගේ ඉන්න බැරි වෙයි කියලා. මගේ ඇස් දෙකෙන් මම දැකලා තියෙනවා දුප්පත් මිනිසුන්ට සලකන විදිය. ඔවුන් එක්ක හැසිරෙන විදියට. කොටින්ම ක්‍රීඩා පිටියේ ඉන්න පුද්ගලයා නෙවෙයි එළියට ගියහම.

ප්‍රශ්නය:- ඔබ ඔහුට කැමති ඔබ ඔබවම කෝලි තුළින් දකිනවා කියලා විශ්වාස කරන නිසා ද?

මෙහෙමයි. මම කරන දේට මම පුළුවන් උපරිමයම ලබා දෙනවා. ඒත් කෝලි කරන තරම් නම් කරන්න හැකියාවක් නෑ. මං හිතනවා මං එක්ක සංසන්දනය කළොත් කෝලි ඉදිරියෙන් ඉන්නවා.

සනත් කෑගහන්නේ මොකද? – තෙවැනි ඇසින්

සනත් ජයසූරිය ගැන අප කොතෙකුත් කතා අසා ඇතත්, දැක ඇතත්, මේ දිනවල සමාජ ජාලා ආක්‍රමණය කර තිබෙන්නේ ඔහු

ප්‍රශ්නය:- කෝලි වගේ ක්‍රීඩකයෙක්ගෙන් අපේ රටට ගන්න පුළුවන් ආදර්ශය කොයි වගේ ද?

මාර විදියටම ට්‍රේන් කරන පුද්ගලයෙක්. ඒ වගේ පුහුණුවීම් කරන මනුස්සයෙක් මම දැකලා නෑ. එයා එයාවම විතරයි විශ්වාස කරන්නේ. මම දැකලා තියෙනවා ජිම් එකට ගියත් දුවන එක පවා හරියටම කරනවා. ඒ වගේම කෑම ගැන ඔහු හරි පරිස්සම්. අනිත් දේ තමයි ක්‍රීඩා කරන්න ආවම හිතන්නේ ක්‍රිකට් ගැනම විතරයි. පුහුණුවීම්වලදි බාහිර දේවල් ගැන ඔහු කිසිම අවධානයක් දක්වන්නේ නෑ. එයා ජිම් එකට එනකොට ෆෝන් එකක්වත් අරන් එනවා මම දැකලා නෑ. අපි වුනත් ගොඩක් වෙලාවට ජිම් එකට යන්නේ ෆෝන් එක අරගෙන.

ප්‍රශ්නය:- විනිසුරුවරයෙක් විදියට සාමාන්‍යයෙන් ක්‍රමයෙන් බැහැරව ඔබ වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කරනවද?

නෑ. පන්දු යවන්නා දුවගෙන එන අන්තිම තත්පර 3, 4ට කලින් මම මාව සකසුරුවම් කරගන්නවා. එතන ඉඳන් තමයි හරියටම නිරීක්ෂණය කරන්න පටන් ගන්නේ. ඊට පස්සේ විකට් කීපර් බෝලෙ අතට ගන්නකම්, එහෙමත් නැත්නම් පිතිකරුවාගේ බැට් එක, ඇඟ සහ කඩුල්ල පහුවෙනකම් ගොඩක් වෙලාවට මම පන්දුවෙම තමයි රැඳිලා ඉන්න උත්සාහ කරන්නේ.

ප්‍රශ්නය:- ඔබ විනිසුරුවරයෙකු වෙන්න කලින් ක්‍රීඩකයෙක්. ඒ ගැන මතකය අවධි කළොත්

මගේ ජීවිතයේ ලබපු ජයග්‍රහණ දෙකක් තියෙනවා. එකක් 1996 ලෝක කුසලානය දිනපු කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වීම. මුළු වර්ල්ඩ් කප් එකම මම ක්‍රීඩා කළා. ඒ ගැනත් ගොඩක් ආඩම්බරයි. ඒක තමයි ක්‍රිකට් ජීවිතයේ ලබපු ලොකුම ජයග්‍රහණය. පස්සේ 2002 දී ලංකාවේ තිබුණු ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමශූරයින් වීම. ඒකත් මට ක්‍රීඩා කරන්න ලැබුණා. ඒ අවස්ථා දෙකම මං හිතන්නේ ක්‍රීඩකයකු විදියට ලබපු ලොකු ජයග්‍රහණ විදියට.

ප්‍රශ්නය:- ඔබ බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ කාලෙ පන්දු යැවීමට අමාරුම වුණු පිතිකරුවෙකු හිටිය ද?

ඒ කාලේ සලීම් මලික් සහ මොහොමඩ් අසාරුඩීන්ට මම පන්දු යවන්න ටිකක් මැළි කළා. ඔවුන් දඟපන්දු යවන්නන්ට හොඳට මුහුණ දෙන පිතිකරුවන් නිසා. අනිත් අය හරි නෑ කියලා කියනවා නෙවෙයි. ඒ කාලේ සචින්, ලාරා, ඉන්සමාම්, ස්ටීව් වෝ, මාක් වෝ, පොන්ටින් වගේ අයත් හිටියා. ඒත් මට ඔවුන් දෙදෙනා විශේෂිතයි.

ධර්මසේන මහතා එක්දින ජාත්‍යන්තර තරගයක දී

ප්‍රශ්නය:- එහෙම කිව්වත් 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයෙදි අවශ්‍යම වෙලාවේ අසාරුඩීන්ගේ කඩුල්ල ඔබ ලබා ගත්තා?

ඇත්තටම ඒක මගේ ජීවිතයේ මෙන්ම ලංකාවෙත් ලොකු ජයග්‍රහණයක් කියලා මම විශ්වාස කරනවා. ඔයා මගෙන් ඇහුවත් ජීවිතේ ලබාගත්තු හොඳම කඩුල්ල මොකද්ද කියලා ඒ 1996 වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් එකේදි අසාරුඩීන්ගේ කඩුල්ල දවා ගැනීම. ඒක එදා දවසේ විශේෂිත කඩුල්ලක්. සමහර විට අසාරුඩීන් කඩුල්ලේ රැඳී සිටියා නම් තරගය පොඩ්ඩක් හරි අපිට අවාසි වෙන්න තිබ්බා කියලා මම අදටත් පෞද්ගලිකවම විශ්වාස කරනවා.

ප්‍රශ්නය:- ඒ තරගය අපේ ක්‍රිකට්වල හැරවුම් ලක්ෂය. ඒ තරගයෙදි කාටවත් නොකියපු කතාවත් නැද්ද?

ඔව්, තියෙනවා. ෆයිනල් එකේ අපි පන්දු රැකලා එළියට ආවට පස්සේ අරවින්ද අයියා (ද සිල්වා) බැට් කරන්න ගියේ කන්නෙවත් නැතුව. එයා කෑවේ අයිස්ක්‍රීම් කප් එකක් විතරයි. ඒ වෙලාවෙ ඉඳන් මගේ යටි හිතේ තිබ්බෙ අරවින්ද අයියා එදා යන්නේ මැච් එක ඉවර කරලම එන්න කියලයි. එයා බැට් කරන්න යන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවේ ඒ දේ එයාගේ ඇස් දෙකෙන් එදා මම දැක්කා. ගහන්න තිබුණු 241 එක එයා තනියෙන් ගහයි කියලා මම හිතුවා. හිතපු විදියටම එයා ඒ දේ එදා කළා. මගේ ජීවිතයේ අදටත් දැක්ක සුපිරිම පිතිකරුවා ඔහුයි.

ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබගේ ප්‍රියතම ක්‍රීඩකයා අරවින්ද?

ප්‍රියතම නොවෙයි දක්ෂතම ක්‍රීඩකයා. අරවින්ද අයියා කියන්නේ රෑ 10ට නිදියගෙන ක්‍රීඩා කරපු කෙනෙක් නොවෙයි. එහෙම කරා නම් අරවින්ද අයියව අල්ලන්න කාටවත් බෑ. ඒ තරම් ඔහු දක්ෂයි. ඒත් එයා හැමදාම ක්‍රීඩා කළේ අවශ්‍යතාවයට අනුවයි.

ප්‍රශ්නය:- ඔබ 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒත් ඔබගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ සමුගැනීමට නම් එතරම් සුන්දර වුනේ නෑ?

මම හිතනවා හැම ක්‍රීඩකයෙක්ගෙම සමුගැනීම එතරම් සුන්දර නැහැ කියලා. මම ක්‍රිකට් වලින් අයින් වෙනකොට අවුරුදු 34යි. මගේ බලාපොරොත්තුව වුනේ 2007 ලෝක කුසලානයත් ක්‍රීඩා කරලා අයින් වෙන්න. ඒත් 2005 දී විතර වූ යම් යම් සිදුවීම් හරහා මම හිතුවා ක්‍රීඩාවෙන් අයින් වෙන්න කාලෙ හරි කියලා. ඒ වෙලාවෙ මම තීරණය කළා මං දැන් ඉවතට යා යුතුයි කියලා. එදා ඒ තීරණය ගැනීම සම්බන්ධව මම දුක් වුනාට, ඒ ගත්තු තීරණය දිහා අද බැලුවහම මට පොඩ්ඩක්වත් දුක නෑ. ඒ ගත්ත තීරණය නිසා තමයි මම අද මේ තැන ඉන්නේ කියලයි මම විශ්වාස කරන්නේ.

ප්‍රශ්නය:- හරි අපි මේ කතාව අවසන් කරමු. ඔබගේ ජීවිත කාලය දිහා ආපසු හැරිලා බැලුවොත්?

ඇත්තටම අද ඉන්න තත්ත්වය ගැන මට හරිම ආඩම්බරයි. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ රටක, පොඩි පවුලකින් ඇවිල්ලා ජාත්‍යන්තරයේ අද මම අංක 1 ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. ඉතිං ඒ ගැනත් ගොඩක් ආඩම්බරයක් තියෙනවා. ඒක ලොකු දුර ගමනක්. ගොඩක් මහන්සිවෙලා ආපු ගමනක්.

මගේ අම්මා, තාත්තා

ධර්මසේන මහතා එක්දින ජාත්‍යන්තර තරගයක දී

අද ජීවතුන් අතර නෑ. ඒ දෙන්නට ගොඩක් ඒකෙ ගරුත්වය යන්න ඕන. මේ ගමන එන්න, බිරිඳට මෙන්ම දරුවන්ට මම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මගේ ගුරුවරයා පීටර් මැනුවෙල්. ඒ වගේම අයි. සී. සී. යේ අනෙකුත් උපදේශකවරුන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් මා ස්තූතිවන්ත වෙනවා. ඔවුන් නොසිටින්නට මට මේ තරම් දුරක් එන්න වෙන්නේ නෑ. ඒ වගේම සියලුම ශ්‍රී ලාංකිකයෝ. අපේ රට ක්‍රීඩා නොකළත් මම මැච් එකක අම්පයර් කරනකොට ඔවුන් තුළ හැඟීමක් තියෙනවා, ලංකාවේ කෙනෙක් මැද්දේ ඉන්නවා කියන එක ගැන. ලාංකිකයකු විදියට හිතට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<