Ballon d’Or වංශයේ ශ්‍රේෂ්ඨ නාමාවලිය

214
Barca Blaugranes

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී විසින් හයවැනි වතාවටත් Ballon d’Or සම්මානය දිනාගැනීමෙන් පසුව අපේ මේ උත්සාහය ඉතිහාසයේ සියලුම Ballon d’Or ජයග්‍රාහක පාපන්දු විරුවන් ගැන ඔබට කීමටයි.

මොකක්ද මේ Ballon d’Or?

ප්‍රංශ පාපන්දු සංගමය විසින් වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමනු ලබන Ballon d’Or (බැලන් දියෝර්) සම්මානය 1956 වසරේ සිට පිරිනමන්නකි. 2010 වසරේ දී මෙය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පුදකෙරෙන “වසරේ පාපන්දු ක්‍රීඩකයා” යන සම්මානය ලෙසම සැලකීමට ගිවිසුමක් ඇතිවූ නමුත් 2015 වසරේ දී නැවතත් සම්මාන දෙක වෙන වෙනම ලබා දීමට තීරණය කෙරිණි.

Barca Blaugranes – වැඩිම වරක් මේ සම්මානය දිනා ඇත්තේ ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී විසිනි.

ලොව පුරා ජනප්‍රිය ලීගයන් අතුරින් ස්පාඤ්ඤ ලීගය (La Liga) නියෝජනය කරන ක්‍රීඩකයන් විසින් Ballon d’Or සම්මානය වැඩිම වරක් දිනාගෙන ඇත. වැඩිම වරක් මේ සම්මානය දිනා ඇත්තේ ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී (06 වතාවක්) විසිනි. පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පස් වතාවක් මෙම සම්මානය දිනාගෙන තිබේ.

මෙතෙක් වසර 63ක ඉතිහාසය පුරාවට වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස Ballon d’Or සම්මානය දිනා ගත් ක්‍රීඩකයින් ගැන කෙටියෙන් දැනුවත් වෙමු.

1956 – ස්ටැන්ලි මැතිව්ස්

Stanley Mathews – thenorthernecho.co.uk

එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ මැතිව්ස්, ක්‍රීඩා කරන අතරතුර දී ම බ්‍රිතාන්‍ය මහ රැජිණගේ නයිට්නාමය හිමිකරගත් එකම පාපන්දු ක්‍රීඩකයා වේ. එමෙන්ම “වසරේ යුරෝපියානු පාපන්දු ක්‍රීඩකයා” සහ “වසරේ පාපන්දු ක්‍රීඩකයා” යන සම්මාන දෙකම එකවර හිමිකරගත් පළමු ක්‍රීඩකයා ද ඔහු ය. 

එංගලන්ත ප්‍රීමියර් ලීගයේ දී ස්ටෝක් සිටි කණ්ඩායම නියෝජනය කළ ඔහු, වයස අවුරුදු 50 පමණ වන තෙක් පාපන්දු ක්‍රීඩා කිරීමට තරම් ශක්තියක් තිබූ දකුණු ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි.

1957 – ඇල්ෆ්‍රඩෝ ඩි ස්ටෙෆානෝ 

Alfredo De Stefano – The New York Times

ආජන්ටිනියානු ඉදිරිපෙළ පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු පසුව කොලොම්බියානු සහ ස්පාඤ්ඤ කණ්ඩායම් ද නියෝජනය කළේය. ස්පාඤ්ඤ ලීගයේ දී රියාල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කළ ඔහු එහි දී ගෝල 282ක් වාර්තා කොට ඇත. බොහෝ පාපන්දු විචාරකයන් ඔහුව නම් කරන්නේ විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙකු ලෙසය.

1958 – රේමන්ඩ් කෝපා

Raymond Kopa – Getty Images

ප්‍රංශ ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු වූ කෝපා කණ්ඩායම හසුරුවන (Playmaker) ක්‍රීඩකයෙකි. රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සමඟින් යුරෝපියානු ශූරතා තුනක් දිනා ගැනීමට ඔහු සමත් විය. ප්‍රංශයේ ඉහළම සිවිල් සම්මානය වන ලීජන් ඔෆ් ඕනර් සම්මානයට පාත්‍ර වූ පළමු පාපන්දු ක්‍රීඩකයා ඔහු ය.

 

 

1959 – ඇල්ෆ්‍රඩෝ ඩි ස්ටෙෆානෝ

1960 – ලුයිස් සුවාරෙස් 

Luis Suarez – Pinterest.com

එක්වරම ඔබේ මතකයට නැගෙන්නට ඇත්තේ උරුගුවේ කණ්ඩායමේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයා ය. එහෙත් මේ සුවාරෙස් ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩකයෙකි. මැදපෙළ ක්‍රීඩකයෙකු වූ ඔහුට විචාරකයන් ඇමතුවේ “නිර්මාණකරුවා” ලෙසයි. ස්පාඤ්ඤයේ ඉපිද Ballon d’Or සම්මානයට පාත්‍ර වූ එකම ක්‍රීඩකයා ඔහු ය. ඔබ දන්නා සුවාරෙස් මෙන්ම මේ සුවාරෙස් ද බාසිලෝනා කණ්ඩායම නියෝජනය කළේය.


1961 – ඔමාර් සිවෝරි 

Omar Sivori – King Of Ballon d’Or

ආජන්ටිනියානු සහ ඉතාලියානු පාපන්දු ක්‍රීඩකයෙකි. 1957 දකුණු ඇමරිකානු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ඔහු සතු විය. 1961 යුරෝපියානු පාපන්දු ක්‍රීඩකයා යන සම්මානය ද හිමිවුණේ ඔහුටයි. ඉතාලියානු Serie A තරගාවලියේ දී යුවෙන්ටස් කණ්ඩායම නියෝජනය කළ ඔහු ද ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි.

 

1962 – ජෝසෙෆ් මසොපූස්ත් 

Josef Masopust – Sportstar The Hindu

චෙකොස්ලෝවැකියානු මැදපෙළ ක්‍රීඩකයෙකු වූ ජෝසෙෆ් 1962 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා තම කණ්ඩායම රැගෙන යාමට විශාල දායකත්වයක් සැපයූ ක්‍රීඩකයෙකි. 1962 යුරෝපියානු පාපන්දු ක්‍රීඩකයා වූ ඔහු දුක්ලා ප්‍රාග් නම් කණ්ඩායම වෙනුවෙන් දේශීය වශයෙන් ක්‍රීඩා කළේය.

 

 

1963 – ලෙව් යෂින් 

Lev Yashin – Pinterest.com

මෙම සම්මානය දිනා ගත් පළමු සහ එකම ගෝල රකින්නා ඔහු ය. රුසියාවේ (එවකට සෝවියට් රුසියාව) ගෝල රකින්නා වූ ඔහු ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම ගෝල රකින්නා ලෙසයි සැලකෙන්නේ. 

ඔහු විසින් වෘත්තීය පාපන්දු තරගවල දී 150කට වැඩි දඬුවම් පහර ප්‍රමාණයක් නැවැත්වූ බව ප්‍රකටය. ඩයිනමෝ මොස්කව් කණ්ඩායම සමඟින් දේශීය පාපන්දු ක්‍රීඩා කළ ඔහු තරග 270ක දී ප්‍රතිවාදීන්ට ගෝල ලබා නොදී තරග අවසන් කොට ඇත.

1964 – ඩෙනිස් ලෝ 

Dennis Law – sporting-heroes.net

ස්කොට්ලන්ත පාපන්දු ක්‍රීඩකයෙකු වන ලෝ, මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ද නියෝජනය කළේය. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් ගෝල 237ක් වාර්තා කොට ඇති ඔහු ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. ඔහු විසින් තරග 55ක දී ස්කොට්ලන්තය වෙනුවෙන් ගෝල 30ක් ද වාර්තා කොට ඇත.

 

 

1965 – යුසෙබියෝ ද සිල්වා

Eusebio – IMDb

පෘතුගාල ජාතික පාපන්දු තරුවක් වන ඔහු වෘත්තීය තරග 745ක දී ගෝල 733ක් වාර්තා කොට ඇති විශිෂ්ට ඉදිරිපෙළ ප්‍රහාරකයෙකි. 1966 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වූයේ ද ඔහුයි. දේශීය වශයෙන් ඔහු පෘතුගාලයේ බෙන්ෆිකා ක්‍රීඩා සමාජය නියෝජනය කළේය. ඔහුව සැලකෙන්නේ ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසයි.

1966 – බොබී චාල්ටන් 

Bobby Charlton – The Mirror

මැදපෙළ ක්‍රීඩකයෙකු මෙන්ම ඉදිරිපෙළ ප්‍රහාරකයෙකු ද වූ ශ්‍රීමත් බොබී චාල්ටන් එංගලන්ත ජාතිකයෙකි. මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීම නිසා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ක්‍රීඩකයෙකු ලෙස ඔහුව සැලකේ. 

එමෙන්ම ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත් ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකට වූ ඔහු අවවාද ලබා ඇත්තේ තරග දෙකක දී පමණ ය. මේ ඉදිරිපෙළ විශිෂ්ටයා එංගලන්තය වෙනුවෙන් ගෝල 49කුත්, මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් ගෝල 199කුත් වාර්තා කළේය.


1967 – ෆ්ලොරියන් ඇල්බට් 

Florian Albert – worldfootball.net

හංගේරියානු පාපන්දු සලකුණක් වන ඔහු “අධිරාජයා” ලෙස විරුදාවලිය ලැබූවෙකි. ඔහු 1962 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සම-වැඩිම ගෝල ලාභියෙකු වේ. ෆෙරෙන්ක්වාරෝස් කණ්ඩායම සමඟින් ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස දේශීය වශයෙන් ක්‍රීඩා කළ ඔහු ක්‍රීඩා කළ සමය හංගේරියානු පාපන්දු ඉතිහාසයේ රන් යුගයක් ලෙසයි සැලකෙන්නේ.

1968 – ජෝජ් බෙස්ට් 

George Best – Belfast Telegraph

අයර්ලන්ත (එවකට උතුරු අයර්ලන්තය) ක්‍රීඩකයෙකු වූ බෙස්ට් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු ක්‍රීඩා කළේ ඉදිරිපෙළ අන්ත දෙකෙහි ක්‍රීඩකයෙකු වශයෙන්. ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩා කළ නොහැකි වූ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතර ඔහුගේ නම කියැවේ.


1969 – ජියානි රිවේරා 

Gianni Rivera – Pinterest.com

මැදපෙළ ක්‍රීඩකයෙකු වූ ඉතාලියානු ජාතික රිවේරා AC මිලාන් කණ්ඩායමේ ද ප්‍රබල සාමාජිකයෙකි. ඔහු ක්‍රීඩා කළේ ද කණ්ඩායමට අවස්ථා නිර්මාණය කර දෙන ක්‍රීඩකයෙකු (Playmaker) වශයෙන්. 1979 දී ඔහු ඉතාලියානු උප ජනාධිපති පදවියටත් පත්විය.

1970 – ගර්ඩ් මුලර් 

Gerd Muller – Pinterest.com

ජර්මානු ජාතික (එවකට බටහිර ජර්මනිය) පාපන්දු පුරාවෘත්තයක්  ලෙස ඔහුව සැලකිය හැකිය. ඉදිරිපෙළ ප්‍රහාරකයෙකු වූ ඔහුගේ විශේෂත්වය වුනේ හොඳින් අවසන් කිරීමේ හැකියාවයි. එනම් පන්දුව තමන්ට ලැබුණු පසු ගෝල ලබා ගැනීමේ හැකියාවයි. 

ජර්මනිය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 62ක දී ඔහු විසින් ලබාගෙන ඇති ගෝල සංඛ්‍යාව 68කි. බයර්න් මියුනික් කණ්ඩායම නියෝජනය කළ ඔහු ඔවුන් වෙනුවෙන් ගෝල 398ක් ලබාගෙන ඇත.

1971 – ජොහාන් කෘයිෆ් 

Johan Cruyff – The 18

නෙදර්ලන්ත පාපන්දු ප්‍රහාරකයෙකු වූ කෘයිෆ් පාපන්දු ඉතිහාසයේ පහල වූ අති විශිෂ්ට දක්ෂයෙකි. නෙදර්ලන්ත පාපන්දු ක්‍රීඩාව බලවත් වීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය ඉහළ ය. 1974 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව ඔහුට හිමි විය. 

අංක 14 ජර්සිය මත පැලඳ, 1 සිට 11 දක්වා පමණක් යොදා ගන්නා ක්‍රමය වෙනස් කළේ ද ඔහුයි. නෙදර්ලන්තය වෙනුවෙන් තරග 48ක දී ගෝල 33ක් වාර්තා කළ ඔහු අයැක්‍ස් කණ්ඩායමට සහ බාසිලෝනා කණ්ඩායමට වෘත්තීය පාපන්දු ක්‍රීඩා කළේය.

1972 – ෆ්‍රාන්ස් බෙකන්බවර් 

Franz Beckenbauer – Pinterest.com

ජර්මානු ජාතිකයෙකු (එවකට බටහිර ජර්මනිය) වූ ඔහුගේ ද සුරතල් නාමය වූයේ “අධිරාජයා” යන්නයි. මැදපෙළ මෙන්ම ආරක්ෂක පෙළ තුළ පවා ක්‍රීඩා කළ හැකි වූ ඔහු එක් තැනක සිට ක්‍රීඩා නොකළේය. 

ඔහු, ක්‍රීඩකයෙකු සහ කළමනාකාරවරයෙකු ලෙස ලෝක කුසලාන ජයගත් ඓතිහාසික ක්‍රීඩකයින් තිදෙනාගෙන් කෙනෙකි. 1974 දී බටහිර ජර්මනිය පාපන්දු ලෝක ශූරයන් වන විට ඔහු නායකයා විය. 1990 ලෝක ශූර ජර්මානු කණ්ඩායමේ කළමනාකරු වූයේ ද ඔහුයි. බයර්න් මියුනික් කණ්ඩායමේ ද ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස ඔහු ක්‍රීඩා කළේය.

1973 – ජොහාන් කෘයිෆ්

1974 – ජොහාන් කෘයිෆ්

1975 – ඔලෙග් බ්ලොඛින් 

Oleg Blokhin – softfern.com

යුක්රේනියානු (එවකට සෝවියට් රුසියාව) පාපන්දු ක්‍රීඩකයෙකි. ඩයිනමෝ කීව් කණ්ඩායම සමඟින් දේශීයව ක්‍රීඩා කළ ඔහු ඔවුන් වෙනුවනේ ගෝල 266ක් ද, සෝවියට් රුසියාව වෙනුවෙන් ගෝල 42ක් ද වාර්තා කළේය. 

ඔහු ද ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. “සෝවියට් රුසියානු පාපන්දු ක්‍රීඩකයා” යන සම්මානය තෙවතාවකුත්, “යුක්රේනියානු පාපන්දු ක්‍රීඩකයා” යන සම්මානය නව වතාවකුත් දිනා වාර්තා පිහිටුවා ඇත.

1976 – ෆ්‍රාන්ස් බෙකන්බවර්

1977 – ඇලන් සයිමන්සන්

Allan Simonson – Pinterest.com

ඩෙන්මාර්ක් ජාතිකයෙකු වූ ඔහු ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. බොරුෂියා මොන්කෙන්ග්ලාඩ්බැක් කණ්ඩායම සමඟින් ජර්මානු බුන්ඩස්ලීගා තරගාවලියේ ක්‍රීඩා කළේය. යුරෝපියානු කුසලාන, ශූරන්ගේ කුසලාන සහ කුසලාන දිනූවන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගවල දී ගෝල රැස්කර ඇති ලොව එකම ක්‍රීඩකයා ඔහුයි.


1978 – කෙවින් කීගන් 

Kevin Keegan – Daily Mail

එංගලන්ත පාපන්දු ක්‍රීඩකයෙකි. ලිවර්පූල් කණ්ඩායම ද නියෝජනය කළ ඔහු ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස දස්කම් පෑවේය. එංගලන්තය වෙනුවෙන් තරග 62ක දී ගෝල 21ක් ද ලිවර්පූල් වෙනුවෙන් තරග 230කදී ගෝල 68ක් ද වාර්තා කළේය.

1979 – කෙවින් කීගන්

1980 – කාල්-හයින්ස් රුමනිග‘ 

Karl Heinz Rumenigge – Pinterest.com

ජර්මානු (එවකට බටහිර ජර්මනිය) ජාතිකයෙකි. ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වූ ඔහු ඉහළ පන්දු පාලනයක් තිබූ ක්‍රීඩකයෙකි. බයර්න් මියුනික් කණ්ඩායමට ද ක්‍රීඩා කොට ඇත. ලෝක අනුශූරතා දෙකක් හිමි ඔහු ජර්මානු කණ්ඩායම වෙනුවෙන් තරග 95ක දී ගෝල 45ක් වාර්තා කොට ඇත.

1981 – කාල්-හයින්ස් රුමනිග

1982 – පවොලෝ රොසී 

Paolo Rossi – Getty Images

ඉතාලි ජාතික ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. ඉතාලි කණ්ඩායම 1982 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ඔහුගේ නායකත්වය යටතේයි. එම වසරේ රන් පන්දුව, රන් සපත්තුව සහ ලෝක කුසලානය දිනා ගනිමින් එවැන්නක් කළ ඉතිහාසයේ තෙවැන්නා බවට පත්විය. ඔහු යුවෙන්ටස් කණ්ඩායමේ ද ප්‍රබල සාමාජිකයෙකු විය.

1983 – මිෂෙල් ප්ලැටිනි

Maichel Platini – Getty Images

 ඉතිහාසයේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයින් අතර කෙනෙකි. ශතවර්ෂයේ ක්‍රීඩකයා යනුවෙන් පැවැත්වූ ඡන්දයක දී සයවැනි තැනට පත්විය. මැදපෙළ ආක්‍රමණශීලී ක්‍රීඩකයෙකු වූ ඔහු ප්‍රංශය වෙනුවෙන් තරග 72ක දී ගෝල 41ක් වාර්තා කළේය. විශ්‍රාම ගන්නට ආසන්න යුගයේ ඔහු කුවේටය වෙනුවෙන් ද එක් තරගයක් ක්‍රීඩා කළේය. යුවෙන්ටස් කණ්ඩායමේ ද ප්‍රබල ක්‍රීඩකයෙකි.

1984 – මිෂෙල් ප්ලැටිනි 

1985 – මිෂෙල් ප්ලැටිනි

1986 – ඉගොර් බෙලනොව් 

Igor Belanov – Getty Images

යුක්රේනියානු (එවකට සෝවියට් රුසියාව) ජාතිකයෙකි. ආක්‍රමණශීලී මැදපෙළ ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රහාරකයෙකු ලෙස ද ඔහු ක්‍රීඩා කොට ඇත. ඩයිනමෝ කීව් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉහළ දස්කම් පෑ ඔහු ද ටයිම්ස්සඟරාව විසින් නම් කළ ලෝක කුසලාන තරගාවලි වල විශිෂ්ටතම ක්‍රීඩකයින් 100 දෙනා අතරට ද ඇතුළත් විය.


1987 – රූඩ් හුලිට් 

Ruud Gullit – Getty Images

මැදපෙළ සහ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වූ ඔහු නෙදර්ලන්ත ජාතිකයෙකි. ඔහු ක්‍රීඩා කරන සමයේ දී වඩාත් ජනප්‍රිය වුනේ ඔහුගේ කැරලි ගැසුණු කොණ්ඩා මෝස්තරය නිසයි. AC මිලාන් කණ්ඩායම සමඟින් ද දස්කම් පෑ හුලිට්, 1987 සහ 1989 වසරවල දී වසරේ ලෝක පාපන්දු ක්‍රීඩකයා ලෙස ද තේරී පත්විය.

1988 – මාකෝ වැන් බාෂ්ටන් 

Marco Van Basten – eBay

නෙදර්ලන්ත ජාතිකයෙකි. ප්‍රහාරකයෙකු ලෙස ක්‍රීඩා කළේය. ඔහු හිසින් එල්ල කළ පහරවල් සහ සෙමින් ඉහළින් එල්ල කළ පහරවල් වලට විශේෂ විය. අයැක්ස් සහ AC මිලාන් කණ්ඩායම්වලට ද ක්‍රීඩා කළ ඔහු ඒ යුගයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකි.

1989 – මාකෝ වැන් බාෂ්ටන්

1990 – ලෝතර් මතායෙස් 

Lothar Matthaus – FIFA.com

ජර්මානු (එවකට බටහිර ජර්මනිය) පාපන්දු ක්‍රීඩකයෙකු මෙන්ම දක්ෂ නායකයෙකි. 1990 ලෝක ශූර ජර්මානු පාපන්දු කණ්ඩායමේ නායකයාය. ලෝක පාපන්දු සම්මේලනය විසින් පුද කළ පළමු “වසරේ පාපන්දු ක්‍රීඩකයා” යන සම්මානයේ හිමිකරු ඔහු වනවා මෙන්ම, එම සම්මානය දිනා ගත් එකම ජර්මානුවා ද ඔහුය. බොරුෂියා මොන්කෙන්ග්ලාඩ්බක් සහ බයර්න් මියුනික් යන කණ්ඩායම් දෙක වෙනුවෙන් ඉහළ දස්කම් පෑ මැදපෙළ ක්‍රීඩකයෙකි.

1991 – ජාන් පියෙර් පාපින් 

Jean Pierre Papin – Listal

ප්‍රංශ ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු වූ ඔහු ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. 1991 වසරේ වැඩිම ගෝල ලාභී පාපන්දු ක්‍රීඩකයා ද ඔහුය. ප්‍රංශය වෙනුවෙන් තරග 54ක දී ගෝල 30ක් වාර්තා කිරීමට ඔහු සමත් විය. ප්‍රංශයේ මාසෙල් කණ්ඩායම සමඟින් වැඩි කලක් දේශීය පාපන්දු ක්‍රීඩා කළේය.

 

 

1992 – මාකෝ වැන් බාෂ්ටන්

1993 – රොබර්ටෝ බැජියෝ 

Roberto Baggio – Pinterest

ප්‍රබල ඉතාලියානු පාපන්දු ප්‍රහාරකයෙකි. නිදහස් පහරවල් කෙළින්ම ගෝලය තුළට නැවීමේ දක්ෂයෙකි. 1993 වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු නම් විය. 1994 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ඉතාලිය රැගෙන ඒම සඳහා ගෝල 5කින් සේවය කළ ඔහුට අවසන් මහා තරගයේ දී තීරණාත්මක දඬුවම් පහරක් මඟ හැරිණි. යුවෙන්ටස් කණ්ඩායම වෙනුවෙන් ද දස්කම් පෑ බැජියෝ විශිෂ්ට ප්‍රහාරකයෙකු ලෙස නම් දරයි.

1994 – හ්රිෂ්ටෝ ස්ටොයිච්කොව් 

Hristo Stoichkov – Alchetron

බල්ගේරියානු පාපන්දු ක්‍රීඩකයෙකි. බාසිලෝනා කණ්ඩායමේ ද ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු විය. බල්ගේරියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේ ඔහුයි. 1994 ලෝක කුසලාන රන් සපත්තුව දිනාගත්තේ ගෝල 6ක් වාර්තා කළ ඔහු විසින්.

1995 – ජෝජ් වියා 

Getty Images

පාපන්දු ක්‍රීඩාවෙන් බිහිවූ ජනාධිපතිවරයෙකි. වත්මන් ලයිබීරියානු ජනාධිපතිවරයා වන ඔහු වසර 18ක් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කළ ප්‍රහාරකයෙකි. 1994/95 ශූරයින්ගේ ලීගයේ වැඩිම ගෝල ලාභියා වුනේ ද ඔහුයි. අප්‍රිකානු මහාද්වීපයේ සිට පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම වෙත පැමිණීමට වාසනාවන්ත වූ ක්‍රීඩකයෙකි.

 

 

1996 – මතායෙස් සාමර් 

Sportskeeda

ජර්මානු ජාතිකයෙකි. මැදපෙළ ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළේය. 1996 යුරෝ කුසලාන ශූරයන් වූ ජර්මානු කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය. බයර්න් මියුනික් කණ්ඩායම ඔහුගේ වෘත්තීය කණ්ඩායමයි.

1997 – රොනාල්ඩෝ නසරියෝ 

Getty Images

ඉතිහාසගත පාපන්දු සලකුණකි. බැලන් දියෝර් සම්මානය දිනා ගත් පළමු බ්‍රසීල ජාතිකයා ඔහුය. “ආශ්චර්යය” නමැති සුරතල් නමින් හැඳින්වෙන ඔහු සිතූ ලෙස ගෝල වාර්තා කිරීමේ හැකියාවක් තිබූ අතිදක්ෂ ප්‍රහාරකයෙකි. ලොව පුරා ජනප්‍රිය පාපන්දු කණ්ඩායම් සියල්ලේම පාහේ ක්‍රීඩා කොට ඇති ඔහු ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමිවන සම්මාන සියල්ලම පාහේ ජයග්‍රහණය කොට ඇත.

 

 

1998 – සිනෙඩින් සිඩාන් 

Getty Images

ප්‍රංශ පාපන්දු සලකුණකි. තම කණ්ඩායමම තනිව ඉහළට එසවිය හැකි නිර්මාණකරුවෙකි (Playmaker). ආක්‍රමණශීලී මැදපෙළ ක්‍රීඩකයෙකු වූ සිඩාන් “වසරේ පාපන්දු ක්‍රීඩකයා” යන සම්මානය වසර තුනකදී තම නමට ලියා ගත්තේය. යුවෙන්ටස් සහ රියාල් මැඩ්රිඩ් කණ්ඩායම් සමඟින් වැඩි කලක් ක්‍රීඩා කළේය.

1999 – රිවාල්ඩෝ බාබෝසා 

Pinterest.com

බ්‍රසීල කණ්ඩායමේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. ඉදිරිපෙළ අන්ත දෙකෙන් ඕනෑම අන්තයක ක්‍රීඩා කළ හැකි දක්ෂතාවයක් ඔහු සතු විය. 1999 දී “වසරේ පාපන්දු ක්‍රීඩකයා” යන සම්මානය ද ඔහුට හිමි විය. බාසිලෝනා කණ්ඩායම සමඟින් වසර 5ක් ක්‍රීඩා කළේය.

 

 

2000 – ලුයිස් ෆීගෝ 

Picpanzee

පෘතුගාල ජාතික සුපිරි ක්‍රීඩකයෙකි. මැදපෙළ ක්‍රීඩා කළේය. ලා ලීගා තරගාවලියේ ගෝල සඳහා අත්වැල් සැපයීම්වලින් ඔහු දෙවැනි වන්නේ ලියොනාල් මෙසී හට පමණි. 2001 වසරේ ලෝක පාපන්දු සම්මේලනයේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ ද ඔහුයි. ඔහු බාසිලෝනා සහ රියාල් මැඩ්රිඩ් යන කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩා කළේය.

2001 – මයිකල් ඔවන් 

FIFA.com

මෑත කාලීනව එංගලන්තයෙන් බිහිවූ සුවිශේෂී ප්‍රහාරකයෙකි. ලිවර්පූල් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු විය. 1998 දී ඔහු එංගලන්තය නියෝජනය කළේ එවකට ළාබාලතම ක්‍රීඩකයා ලෙසයි. ප්‍රධාන තරගාවලි හතරක දී එංගලන්තය වෙනුවෙන් ගෝල රැස්කර ඇති එකම ක්‍රීඩකයා ඔහුය. තරග 89ක දී ඔහු ගෝල 40ක් රැස් කළේය.

 

 

 

2002 – රොනාල්ඩෝ නසරියෝ

2003 – පවෙල් නෙඩ්වෙඩ් 

wikimedia

චෙක් ජනරජයෙන් බිහි වූ අතිදක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු ක්‍රීඩා කරන සමයේ චෙක් ජනරජ පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් වල පළමු කණ්ඩායම් තුන අතර රැඳුනි. “පොඩි වලසා” ලෙස සුරතල් නමකින් ඇමතෙන ඔහු යුවෙන්ටස් කණ්ඩායම වෙනුවෙන් ද දක්ෂ ලෙස ක්‍රීඩා කළේය.

2004 – ඇන්ඩ්‍රි ෂෙව්චෙන්කෝ 

Getty Images

යුක්‍රේන කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා කළ ඔහු ප්‍රහාරකයෙකි. යුක්‍රේන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා ඔහුයි. එය ගණනින් 48ක්. AC මිලාන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල වාර්තා කළවුන් අතර දෙවැන්නා ඔහුයි.

 

 

2005 – රොනාල්ඩීනියෝ ගවුචෝ 

Pinterest.com

බ්‍රසීලියානු පාපන්දු ක්‍රීඩක රොනාල්ඩීනියෝ ඔහුගේ පන්දුව හැසිරවීමේ දස්කම් නිසා ලොව පුරා ප්‍රකට වූයෙකි. ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ ඔහු “වසරේ පාපන්දු ක්‍රීඩකයා” සම්මාන දෙකක් ද දිනා ඇත. බාසිලෝනා සහ AC මිලාන් කණ්ඩායම්වල ද ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස ඔහු ඉතිහාසගත වේ.

 

 

 

2006 – ෆැබියෝ කැනවාරෝ 

sporting-heroes.net

2006 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී ඉතාලි කණ්ඩායමේ නායකත්වය දරමින් ශූරතා ජයග්‍රහණය දක්වා සිය කණ්ඩායම රැගෙන ගියේ ඔහුය. ආරක්ෂක ක්‍රීඩකයෙකු වූ ඔහුට ප්‍රේක්ෂකයන් ඇමතුවේ “බර්ලින් තාප්පය” ලෙසයි. ඔහු පසුකොට පන්දුව රැගෙන යාම ප්‍රතිවාදීන්ට එතරම් අපහසු වුනා. යුවෙන්ටස් සහ රියාල් මැඩ්රිඩ් වැනි කණ්ඩායම් වල ඔහු ක්‍රීඩා කළා.

2007 – රිකාඩෝ කාකා 

ආක්‍රමණශීලී මැදපෙළ ක්‍රීඩකයෙකු වූ බ්‍රසීල ජාතික කාකා ඓතිහාසික දක්ෂයෙකි. පාපන්දු ලෝක කුසලානයක්, ශූරයින්ගේ කුසලානයක් සහ බැලන් දියොර් සම්මානයක් යන තුනම ජය ගත් ලොව ක්‍රීඩකයින් 8 දෙනාගෙන් ඔහු එක් අයෙකි. AC මිලාන් සහ රියාල් මැඩ්රිඩ් ඔහු ක්‍රීඩා කළ සුවිශේෂී වෘත්තීය කණ්ඩායම් දෙකයි.

2008 – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

Daily Express

හඳුන්වා දීමට උපමා අනවශ්‍ය ක්‍රීඩකයෙකු වන ඔහු මේ වන විට ලොව සිටින දක්ෂතම සහ ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකි. ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන පෘතුගාල ජාතික රොනාල්ඩෝ මේ වන විට දක්ෂතම පාපන්දු ක්‍රීඩකයින්ට හිමිවන සම්මාන රැසක් දිනා අවසන් ය. මැන්චෙස්ටර් යුනයිටඩ්, රියාල් මැඩ්රිඩ්, යුවෙන්ටස් ආදී ලොව පුරා ජනප්‍රිය කණ්ඩායම් බොහොමයක ක්‍රීඩා කොට ඔහු ඔහුගේ දස්කම් තහවුරු කොට ඇත.

2009 – ලියොනාල් මෙසී 

Pinterest.com

ආජන්ටිනා ජාතික මෙසී මේ මොහොතේ ලොව සිටින දක්ෂතම සහ අත්දැකීම් බහුලම පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කෙනෙකි. ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන ඔහු බොහෝ විට කණ්ඩායමේ සැලසුම හසුරුවන්නා ය. බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ගෝල 425කට වඩා වාර්තා කොට ඇති ඔහු ඓතිහාසික ක්‍රීඩකයෙකි.

2010 – ලියොනාල් මෙසී 

2011 – ලියොනාල් මෙසී 

2012 – ලියොනාල් මෙසී

2013 – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 

2014 – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

2015 – ලියොනාල් මෙසී

2016 – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

2017 – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

2018 – ලූකා මොඩ්රිච් 

Croatia.org

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලියොනාල් මෙසී අතර දෝලනය වන බැලන් දියොර් සම්මානය එක් වරක් සොරාගන්නට සමත් වූ ඔහු පැමිණෙන්නේ ක්‍රොඒෂියාවෙනි. කුඩා ක්‍රීඩකයෙකු වුවත් මැදපෙළ සිට දක්ෂ ලෙස කණ්ඩායම හසුරුවන්නෙකු වන ඔහු රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ ප්‍රබලයෙකි.

 

 

2019 – ලියොනාල් මෙසී     

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<