ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට කාර්යබහුල වසරක් ඉදිරියේ

280

ශ්‍රී ලංකාවේ ජවන හා පිටිය කනිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන 2018 වසරේ දී කලාපීය හා ජාත්‍යන්තර ඉසව් කිහිපයකටම සහභාගී වීමට නියමිතව ඇති බැවින් 2018 වසර ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට කාර්යබහුල වසරක් වනු ඇත.

“අව්වට තියා අලින්ටවත් නැවතිය නොහැකි අධිෂ්ඨානයක්”

කොළඹින් කිලෝ මීටර් 337ක් එහා තියෙන අම්පාරෙත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් ඉන්නවා…

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය එළඹෙන වසර සඳහා වන තරග දින දර්ශනය නිකුත් කරනු ලැබූ අතර එයට අනුව එම කාර්යබහුල වසරේ ආරම්භය සනිටුහන් වන්නේ 2018 වසරේ දී ම ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් තේරීමේ තරග සමඟයි. පෙබරවාරි මස 02 වන දින ආරම්භ වන එම අවසන් තේරීමේ තරග ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ලැබෙන අවසන් අවස්ථාව වනු ඇත.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජවන හා පිටිය ඉසව් සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් (7ක් පිරිමි, 6ක් කාන්තා) පමණක් සමන්විත වන කෝටාවක් ඉදිරිපත් කිරීම නිසා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට තේරී පත්වීම සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඉතා උණුසුම් තරගයක් දැක බලා ගැනීමට හැකි වනු ඇත. එමෙන්ම එළඹෙන වසරේ අගෝස්තු මාසයේ ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන ආසියානු තරගාවලිය කෙරෙහි ද ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වනු ඇත.

විශිෂ්ටයින්ගේ ශූරතාවය MAS කණ්ඩායමට

වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය (MAF) විසින් 34 වැනි වරටත් සංවිධානය කරන ලද “2017 වෙළඳසේවා මලල ක්‍රීඩා ශූරතාවලිය”, ඔක්තෝබර් 20 සිට 22 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර, MAS Holdings ආයතනය සමස්ත තරගාවලියේ ශූරයින් බවට පත් කරමින් ඊයේ (22) එහි නිමාව සනිටුහන් විය. වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලිය පළමු වරට 1982 වසරේ දී වෙළඳසේවා මලල ක්‍රීඩා…

ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ජාත්‍යන්තර තරග කිහිපයකටම සහභාගී වීමට නියමිතව ඇති බැවින් ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන්ට ද එළඹෙන වසර කාර්යබහුල වසරක් වේ. මේ වන විට අක්‍රියව පවතින සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය, ‘A’ ගණයේ ධාවන පථයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු එළඹෙන පෙබරවාරි මාසය ආරම්භයේ දී අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව එම ක්‍රීඩාංගණය තුළ එළඹෙන මැයි මාසයේ දී කනිෂ්ඨ ‘SAF’ තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අපේක්‍ෂාවෙන් සිටී. ඒ අනුව මෙම තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට එළඹෙන ජුනි මාසයේ දී ජපානයේ ජිෆූ නුවර දී පැවැත්වීමට නියමිතව ඇති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට පෙර ඔවුන්ගේ දක්‍ෂතා උරගා බැලීම උදෙසා අතිශය වැදගත් වනු ඇත.

කෙසේ නමුත් සියලුම කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකම අරමුණ 2018 වසරේ ඔක්තෝබර් මස 06 වන දින සිට 18 වන දින දක්වා ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර දී පැවැත්වෙන ගිම්හාන යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වනු ඇති බව නොඅනුමානයි.

ඒ අනුව එළඹෙන වසරේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතිශය වැදගත් තරගාවලි රාශියකට සහභාගී වීමට නියමිතව ඇති බැවින්, සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථයේ ප්‍රතිසංස්කරණ කටයුතු නියමිත දිනට අවසන් කරන්නට හැකි වනු ඇතැයි ThePapare.com අපගේ අපේක්‍ෂාවයි. ඒ හරහා ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට හොඳින් පුහුණු වීමට අවස්ථාවක් ලැබී, එම අදාළ තරගාවලිවලට හොඳින් සූදානම් වීමට අවස්ථාව සැලසෙන අතර ඒ හරහා ඔවුන්ට ඒවා ජයග්‍රහණය කිරීමට අවශ්‍ය අඩිතාලම ද සැකසේ.

යෝජිත 2018 වසර සඳහා වන මලල ක්‍රීඩා දින දර්ශනය – 2017 ඔක්තෝබර් 3 වන දිනට නියමිත පරිදි

දිනය තරගාවලිය ස්ථානය
ජනවාරි    
21 ‘Standard Charted’ හොං කොං මැරතන් තරගාවලිය හොං කොං
     
පෙබරවාරි    
02 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් තේරීමේ තරග  
11 යුද හමුදා මාර්ග ධාවන තරගාවලිය  
     
මාර්තු    
3 යුද හමුදා තුන්ප්‍රයාම තරගාවලිය  
     
27 – 30 කණිෂ්ට ජාතික ශූරතාවලිය  
     
31 ‘Defense Road ace’ තරගය  
     
අප්‍රේල්    
4 – 15 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග ගෝල්ඩ් කෝස්ට්
     
මැයි    
5 & 6 SAF කනිෂ්ඨ ශූරතාවලිය   කොළඹ, ශ්‍රී ලංකාව
     
ජුනි    
9 ආරක්‍ෂක තුන්ප්‍රයාම තරගාවලිය  
     
7 – 10 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය   ජිෆූ, ජපානය
     
ජූලි    
6 – 8 96 වෙනි ජාතික ශූරතාවලිය  
     
10 – 15 ලෝක කනිෂ්ඨ ශූරතාවලිය ටැම්පෙරේ, ෆින්ලන්තය
     
අගෝස්තු    
18 – 2 සැප්තැම්බර් ආසියානු තරග ජකර්තා, ඉන්දුනීසියාව
     
21 – 23 ආරක්‍ෂක මලල ක්‍රීඩා ශූරතාවලිය  
     
සැප්තැම්බර්    
8 -9 30 වෙනි මහවැලි ක්‍රීඩා උළෙල වලව, ඇඹිලිපිටිය
     
ඔක්තෝබර්    
2 ශ්‍රී ලංකා යුද හමුදා සහය දිවීමේ සැණකෙළිය  
     
6 -18 3 වෙනි ගිම්හාන යොවුන් ඔලිම්පික් තරගාවලිය බුවනෝස් අයර්ස්, ආජන්ටිනාව
     
16 – 18 ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය  

 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<