ඊවා කුසලාන දැල්පන්දු තරගාවලියට සියල්ල සූදානම්

419

ඊවා කුසලාන දැල්පන්දු තරගාවලිය එළඹෙන ජූලි 01 සහ 02 යන දිනයන්වල දී කොළඹ – 2 ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය විසින් සංවිධානය කෙරෙන මෙම තරගාවලිය සඳහා ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් සමාගම අනුග්‍රහය දක්වන්නේ 12 වැනි වරටයි. විවෘත තරගාවලියක් වශයෙන් මෙය පවත්වන පළමු වතාව ද මෙයයි. ක්‍රීඩා සමාජ, රාජ්‍ය ආයතන, බැංකු, විශ්ව විද්‍යාල සහ පාසල් නියෝජනය කරමින් කණ්ඩායම් රාශියක් මෙවර තරගාවලියට සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වේ.

තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වේ. A කාණ්ඩය, B කාණ්ඩය, පාසල් කාණ්ඩය සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩය වශයෙන් එම කාණ්ඩ නම් කොට ඇත. විවෘත අංශයෙන් තරග කරන පිරිමි සහ කාන්තා කණ්ඩායම් යන දෙවර්ගයම A කාණ්ඩයෙන් තරග වදින අතර B කාණ්ඩයෙන් තරග වදින්නේ විවෘත කාන්තා කණ්ඩායම් පමණි.

පාසල් කාණ්ඩයේ තරග වයස් කාණ්ඩ 3ක් යටතේ පැවැත්වේ. 15න් පහළ (2003 ජනවාරි 1ට පසු උපන්), 17න් පහළ (2001 ජනවාරි 1ට පසු උපන්), 19න් පහළ (1999 ජනවාරි 1ට පසු උපන්) එම කාණ්ඩ වේ. ජ්‍යෙෂ්ඨ තරග පැවැත්වෙන්නේ වයස අවුරුදු 40න් ඉහළ (1977 ජනවාරි 1ට පසු උපන්) වයස් කාණ්ඩය යටතේයි.

2016 තරගාවලියේ දී යුධ හමුදා කණ්ඩායමට A කාණ්ඩයේ ශූරතාවයත් ස්පීඩ් බර්ඩ්ස් කණ්ඩායමට B කාණ්ඩයේ ශූරතාවයත් පාසල් කාණ්ඩයේ 15න් පහළ ශූරතාවය සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයටත් 17න් පහළ ශූරතාවය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයටත් 19න් පහළ ශූරතාවය කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයටත් හිමි විය.

ලියාපදිංචිය

කණ්ඩායමකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකු ඇතුලත් විය යුතුය. 2017 ජුනි 23 වනදායින් ලියාපදිංචි කටයුතු අවසන් වේ. ඉල්ලුම් පත් තරගාවලි ලේකම් ශර්වොන් පෙරේරා මෙනෙවියට ලැබීමට සැලැස්විය යුතුය. ලිපිනය ; 14/A, විද්‍යාල මාවත, පිටත ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස.

එසේත්  නැත්නම්, රියෝ රාම්ලාන් මෙනෙවිය, 38/9A, ශ්‍රී සුමංගල පාර, රත්මලාන යන ලිපිනයට තැපැල් කරන්න.

කුසපත් ඇදීම ජුනි 27 වැනිදා ක්‍රීඩා පාසල, නිදහස් මාවත, කොළඹ – 07 ලිපිනයේ දී සිදු කෙරේ.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට