ඉතියෝපියානු ජාතික වීරයන්ගේ ලැයිස්තුවට එකතු වූ “අබේබේ බිකිලා”

273

පළමු වරට පාවහන් නොමැතිව (barefoot) ඔලිම්පික් මැරතන් තරගයට සහභාගී වූ ක්‍රීඩකයා වන්නේ ඉතියෝපියානු ජාතික අබේබේ බිකිලා (Abebe Bikila) යි. ඔහු පිට පිට දෙවතාවක්ම (1960, 1964) ඔලිම්පික් මැරතන් ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කම් 2ක් තම මව් රට වන ඉතියෝපියාවට හිමිකර දීමට සමත් වුනා.

2011 ලෝක කුසලානයේ හොඳම “Couple” එක

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ……

අබේබේ බිකිලා වර්ෂ 1932 අගෝස්තු 07 වන දින ඉතියෝපියාවේ ෂෙවා (Shewa) හි ඩෙබ්රේ බ’හන් (Debre Berhan) දිස්ත්‍රික්කයේ කොටසක් වන ජැටෝ (Jato) නම් කුඩා ප්‍රාන්තයේදී උපත ලබනවා. ඔහු උපත ලද දිනයේම 1932 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ මැරතන් තරගයද පැවැත්වුනා. එයත් ඔහුගේ මලල ක්‍රීඩා ජීවිතයට විශේෂ සිදුවීමක් වුනා. ඔහු පිට පිටම 1960 රෝම ඔලිම්පික් උළෙලේදී හා 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනා ගනිමින් සමස්ත අප්‍රිකානු කළු ජාතිකයන්ට ආඩම්බරයක් හා ගෞරවයක් ලබා දීමට සමත් වෙනවා.

අබේබේ බිකිලා හට 1960 වසරේ ඔලිම්පික් උළෙලට සහභාගී වීමට වරම් හිමි වන්නේ ඔහු නොසිතූ ආකාරයකටයි. 1960 ග්‍රීස්ම ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුනේ ඉතාලියේ රෝමයේදියි. ඒ සඳහා සහභාගී වන ඉතියෝපියානු ක්‍රීඩක කණ්ඩායම ඉතාලියට පැමිණෙන අතරතුර මැරතන් ධාවන ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටි වමි බිරාටු (Wami Biratu) නම් ධාවකයා හදිසියේ ආබාධයකට ලක්වුනා. එම නිසා ඉතියෝපියාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙල තුළ තරග කිරීමට සිදුවන දුෂ්කරම ඉසව්ව වන මැරතන් ධාවන ඉසව්ව සඳහා අබේබේ බිකිලා හට සහභාගී වීමට අවස්ථාව හිමිවුනා.

රෝම ඔලිම්පික් උළෙලට ඔහුට තරග වැදීමට අවස්තාව හිමි වුවත් ඔහු මිලදී ගත් ධාවන පාවහන් (running shoes) ඔහුට හරිහැටි නොගැලපීම නිසාම පාවහන් නොමැතිව තරග බිමට පිවිසීමට අබේබේ තීරණය කරනවා. එවකට එළිමහනේ පැවති, සැතපුම් 26කට වඩා දුරින් යුත් මැරතන් ඉසව්ව අබේබේ විසින් නිමා කරන්නේ දහස් ගණනක ප්‍රේක්ෂකයන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයේ යි. තරගය නිමා කිරීමේ දී නව ඔලිම්පික් වාර්තාවක් මෙන්ම නව ලෝක වාර්තාවක් (කාලය 2:15:16.2) පිහිටුවීමට ද ඔහු සමත් වුනා.

මින්ටොනෙට් හා බැඳුණු වොලිබෝල් කතාන්දරය

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව මොකක්ද කියලා කවුරු …….

කළු ජාතිකයන් තුළ ඇති දුර දිවීමේ හැකියාව අබේබේ බිකිලාගේ මෙම ජයග්‍රහණයත් සමඟ ලෝකය පුරා ජනප්‍රිය වුනා. ඉන්පසුව මේ දක්වා ඔලිම්පික් උළෙලේ මැරතන් තරග ඉසව්වල මුල් ස්ථාන දිනාගැනීමට ඉතියෝපියානු ජාතිකයන්ට හැකියාව ලැබීම මුළු මහත් ඉතියෝපියානුවන්ටම ආඩම්බරයක්.

ඉතියෝපියාවට දිනා දුන් ගෞරවය හේතුවෙන් අබේබේ බිකිලාට එරටින් ඉතා ඉහළ අන්දමේ සත්කාර හා සම්මාන හිමිවුන අතර ඉතියෝපියානු අධිරාජයා විසින් අබේබේ බිකිලාගේ දරිද්‍රතාවයෙන් යුත් පෞද්ගලික ජීවිතය නගා සිටුවීමට කටයුතු කළා.

ඔහු තුළ තිබූ දැඩි කැපවීම හා උනන්දුව මත පුහුණුවීම් තවදුරටත් සිදුකරගෙන ගිය අබේබේ 1964 වසරේ ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන්නේ දහස් සංඛ්‍යාත ඉතියෝපියානුවන්ගේ බලාපොරොත්තුව බවට පත්වෙමින්. එම ටෝකියෝ ඔලිම්පික් උළෙලට දින 40කට පෙර අනුබද්ධ ප්‍රදාහය ශල්‍යකර්මයකට මුහුණදීමට ඔහුට සිදුවෙනවා. මේ හේතුවෙන් එවර ඔලිම්පික් උළෙල මගහැරී යාමට ඉඩ තිබුණු නමුත් දැඩි ආත්ම විශ්වාසයකින් යුතු අබේබේ බිකිලා, ඒ සඳහා අනිවාර්යෙන්ම තමන් සහභාගී වන බව ප්‍රකාශ කරනු ලබනවා.

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වන ඔහු 75,000කට අධික ප්‍රේක්ෂක පිරිසකගේ උණුසුම් පිළිගැනීමට ලක්වුනා. ඒ සමඟම ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්වක, පිට පිට දෙවතාවක් රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වූ ප්‍රථමයා ලෙස අබේබේ බිකිලා වාර්තා පොත් අතරට එක්වුනා. මෙම ජයග්‍රහණය මුළු මහත් ඉතියෝපියාවටම ඉමහත් ගෞරවයක් ගෙන දුන් අතර ඉතියෝපියානු රජු විසින් මෙතෙක් කලක් ආරක්ෂක භටයෙක් ලෙස ඉතියෝපියානු අධිරාජයා යටතේ සේවය කළ අබේබේ බිකිලාව කපිතාන්වරයෙකු දක්වා උසස් කරනු ලැබුවා.

හර්කියුලිස් හා බැඳුණු ඔලිම්පික් ඉතිහාසය

“ඔලිම්පික්” කියපු ගමන් ලංකාවේ අපිට නම් එක …..

1969 වසරේ මාර්තු මාසයේ එක් රාත්‍රියක තම මෝටර් රථයේ ගමන් කරමින් සිටි මෙම ලෝක පූජිත ධාවකයාට දරුණු රිය අනතුරකට මුහුණ දීමට සිදුවුනා. ඉතා අසාධ්‍යව සිටි ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා එංගලන්තය බලා යැවීමට තීරණය කෙරුණු අතර එංගලන්තයේ රෝහලක මාස අටකට අධික කාලයක් ගත කිරීමට ඔහුට සිදුවුනා. මෙම කාලසීමාව තුළ ඔහුට සුවය පතා දහස් ගණන් පැතුම්පත් ලැබුනු අතර දෙවන එලිසබෙත් රැජින පවා ඔහුගේ සුවදුක් බැලීමට රෝහල වෙත පැමිණියා. රිය අනතුර හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිවුවත් ලෝක වාර්තා අලුත් කළ මෙම ධාවකයාගේ ජීවිතය ඉන්පසුව රෝද පුටුවකට සීමා වුනා.

රිය අනතුරකට ලක්වූ අබේබේ බිකිලා 1973 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා ජීවිතයෙන් සමුගත් අතර ඉතියෝපියාව වැනි රටක දුප්පත් පවුලක ඉපදී ඔලිම්පික් රන් පදක්කම් දෙකක් තම රටට ගෙන දුන් මෙම කළු කෙසඟ මිනිසා මුළු මහත් ලෝකයේම ගෞරවය දිනා ගනිමින් පූර්ණ රාජ්‍ය ගෞරවය මැද අවසන් ගමන් ගියා.

මෙසේ අබේබේ බිකිලා යන නාමය ඉතියෝපියානු ජාතික වීරයන්ගේ ලැයිස්තුවට එකතු වුනා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<