එංගලන්තය 4-1කින් ඉන්දියාව පරාජය කරයි

210

ලෝකේෂ් රාහුල් සහ නවක ක්‍රීඩක රිෂාබ් පාන්ට් එක්ව ඉන්දීය ඉනිම ගොඩ නගමින් ජයග්‍රහණය කරා රැගෙන ඒමට කළ උත්සාහය වැළැක්වූ එංගලන්ත ක්‍රීඩකයෝ දෙරට අතර පැවති අවසාන ටෙස්ට් තරගය ලකුණු 118කින් ජය ගැනීමට ඊයේ (11) සමත් වූහ.

කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ලත් ජයග්‍රහණයත් සමඟින් තරග 5කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 4-1ක් සේ ජයග්‍රහණයක කිරීමට  ද එංගලන්තය සමත් විය.

ශ්‍රී ලංකාව එක්ක තරග කරනවා කියන්නේ පුහුණු තරගයක් වගේ – ගවස්කාර්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන..

ඉන්දීය හඹා යන ඉනිමේ කඩුලු 5ක් දැවී ලකුණු 121ක් ලෙසින් අමාරුවේ වැටි සිටිය දී ගොඩ ගැනීමට විශාල දායකත්වයක් දැක්වීමට ලොකේෂ් රාහුල් සහ රිෂාබ් පාන්ට් සමත් වූහ. ඔවුන් දෙදෙනා එංගලන්ත ජයග්‍රහණය පමා කරමින් 6 වැනි කඩුල්ලට ලබාගත් ලකුණු සංඛ්‍යාව 204කි. එහෙත් ඔවුන් දෙදෙනාගේ දැවී යෑමත් සමඟින් ක්‍රියාත්මක වූ එංගලන්ත පන්දු යවන්නෝ ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 20ක් තුළ දවා ගැනීමට සමත් වූහ. ඉන්දීය ඉනිමේ කිසිදු ලකුණක් ලබා නොගත් පිතිකරුවෝ 5 දෙනෙකි.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් දෙවැනි ඉනිමේ දී ලකුණු 464ක ඉලක්කයක් පසුපස ගිය ඉන්දීය ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 345ක් පමණි.

එම ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්ව ලකුණු 2ක් වෙද්දී හරවා යැවීමට ප්‍රතිවාදීන් සමත් වූහ. අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලෝකේෂ් රාහුල් සහ අජින්ක්යා රහනේ (37) එක්ව වාර්තා කළ ලකුණු සබඳතාව 118කි.

එම කඩුල්ලේ දැවී යෑමත් සමඟින් එක්වූ රාහුල් සහ පාන්ට් ඉන්දීය ඉනිම ගොඩනැගීමට දැක්වූ දායකත්වය ඉන්දියාව වෙනුවෙන් වන ඕනෑම කඩුල්ලක් සඳහා වන දෙවැනි තැන ගත් ඉනිම ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. 1979 වසරේ ද ඕවල් පිටියේ දී සුනිල් ගවස්කාර් සහ චේතන් චෞහාන් එක්ව රැස් කරන ලද ලකුණු 213 එම වාර්තාවේ ඉහළින්ම රැඳී තිබේ.  

ලොකේෂ් රාහුල් රැස්කළේ තම ටෙස්ට් තරග දිවියේ 5 වැනි ශතකයයි. ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි රාහුල් පන්දු 224කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 149ක් වාර්තා කළේය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතීතය

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය…

තම තෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වූ 20 හැවිරිදි කඩුලු රැකි ක්‍රීඩක රිෂාබ් පාන්ට් තම මංගල ටෙස්ට් ශතකය තමන් මුහුණ දුන් 117 වැනි පන්දුවේ දී වාර්තා කිරීමට සමත් විය.  පාන්ට් තම ඉනිම අවසන් වන විට පන්දු 146කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 114ක් ලබා ගත්තේ ය. පාන්ට් විසින් රැස් කරන ලද ශතකය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි ඉනිමක දී කඩුලු රකින්නෙක් විසින් රැස් කරන ලද පළමු ශතකය ලෙසින් ද ඉතිහාසයට එක්විය.

කඩුලු ලබා ගැනීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 45කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය. ඉන්දිය ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් මොහොමඩ් ෂාමිගේ කඩුල්ල දවා ගන්නා ඇන්ඩර්සන්, එතෙක් ග්ලේන් මැක්ග්‍රාත් විසින් නතු කරගෙන සිටි වේගපන්දු යවන්නෙක් සතුව තිබූ ඉහළම කඩුලු වාර්තාව (563) අභිබවා යෑමට සමත් විය.  

කාසියේ වාසිය දිනමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 332ක් ලබා ගත්තේ ඇලස්ටයාර් කුක්, මොයින් අලි සහ  ජොස් බට්ලර් විසින් රැස් කරන ලද අර්ධ ශතකත් සමඟිනි. ඉන්දිය පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 292කට සීමා විය. එම ඉනිමට රවින්ද්‍ර ජඩේජාගෙන් එක් වූ අර්ධ ශතකයක් විය.

ලකුණු 40ක් ද සමඟින් දෙවැනි ඉනිමට පිටියට පිවිස එංගලන්ත ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 423ක් වාර්තා කළහ. එම ඉනිමේ දී තම අවසාන ටෙස්ට් තරගයට සහභාගී වූ ඇලස්ටයාර් කුක් ශතකයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනි. ඔහුට අමතරව ජෝ රූට් ද එංගලන්තය වෙනුවෙන් ශතකයක් වාර්තා කළේ ය.

තරගයේ අවසන් දිනය එළඹෙද්දී ඉන්දීය ක්‍රීඩකයන්ට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 308ක් අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් ඔවුන් සතුව තිබුණේ කඩුලු 7ක් පමණි.

එංගලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 332 (122.0): ඇලස්ටයාර් කුක් 71, කේටන් ජෙනින්ග්ස් 23, මොයීන් අලි 50, ජොස් බට්ලර් 89, ස්ටුවට් බ්‍රොඩ් 38, ජස්ප්‍රීට් බුම්රා 3/83, ඉෂාන්ට් ෂර්මා 3/62, රවින්ද්‍ර ජඩේජා 4/79

ඉන්දියාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 292 (95.0): ලෝකේෂ් රාහුල් 37, චෙටේෂ්වර් පුජාරා 37, විරාට් කෝලි 49, හනුමා විහාරි 56, රවින්ද්‍ර ජඩේජා86, ජේම්ස් ඇන්ඩර්සන් 2/54, බෙන් ස්ටොක්ස් 2/56, මොයීන් අලි 2/50

එංගලන්තය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 423 (112.3): ඇලස්ටයාර් කුක් 147, මොයීන් අලි 20, ජෝ රූට් 125, බෙන් ස්ටොක්ස් 37,සෑම් කරන් 21, අඩීල් රෂීඩ් නොදැවී 20, මොහොමඩ් ෂමි 2/110, රවින්ද්‍ර ජඩේජා 3/179, හනුමා විහාරි 3/37

ඉන්දියාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 345 (94.3): ලෝකේෂ් රාහුල් 149, අජින්ක්යා රහනේ 37, රිෂාබ් පාන්ට් 114, ජේම්ස් ඇන්ඩර්සන් 3/45, සෑම් කරන් 2/23, අඩීල් රෂීඩ් 2/63

  • තරගයේ වීරයා: ඇලස්ටයාර් කුක්
  • තරගාවලියේ වීරයා: සෑම් කරන් සහ විරාට් කෝලි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<