ඉන්දියාව නැවත එංගලන්තය හමුවේ දණ නමයි

543

එංගලන්තය සහ ඉන්දියාව අතර තරග 5කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ දී ලකුණු 60ක ජයග්‍රහණයක් ලබා ගත් සත්කාරක එංගලන්ත ක්‍රීඩකයෝ තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබිය දී තරගාවලිය 3-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඊයේ (02) සමත් වුනා. මෙම ජයග්‍රහණය ඔවුන් විසින් වාර්තා කළේ තරගයේ තවත් දිනයක් සම්පූර්ණයෙන් ම ඉතිරිව තිබිය දී ය.

ඇෆ්ගනිස්තානය තරගාවලිය ජය ගනී

අවසාන තරගයේ අවසාන ඉනිමේ, ආරම්භයේ පෙරනිමිති අවාසනාවන්ත වීම ඇෆ්ගනිස්තාන …

සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ සිව්වැනි දිනයේ පෙරවරුවේ ම ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 245ක ඉලක්කයක් පිටුපස යෑමට ඉන්දීය ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබුණා. ඒ එංගලන්ත ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම දිනයේ 5 වැනි පන්දුවාරයේ දී අවසන් කර ගැනීම හේතුවෙන්.

මේ පහසු ඉලක්කය කරා යෑමේ දී දිනයේ දිවා විවේකය වෙද්දී ඉන්දීය ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 46ක් ලෙසින් කියැවුනා. ඒ අවස්ථාවේ පිටියේ විරාත් කෝලි (10*)  සහ අජින්ක්‍යා රහනේ (13*) නොදැවී රැඳී සිටියා. අසීරු අවස්ථාවක් වූවත් ඉනිම් ගොඩගැනීමේ වීරයන් ලෙසින් පිටියේ සිටි කෝලි සහ රහනේ නිසා තරගයේ වැඩි වාසි රැඳී තිබුණේ ඉන්දීය කණ්ඩායම වෙතයි.

ඒ අනුව යමින් ඔවුන් දිවා විවේකයෙන් පසුව වඩාත් ආක්‍රමණකාරී ඉනිමක් ගොඩ නැගීමට සමත් වුනා. කෝලි සහ රහනේ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සබඳතාවක් ගොඩ නැගුවා. එම සබඳතාව නිමා වූයේ කෝලිගේ දැවී යෑමත් සමඟින්. ඔහු පන්දු 130කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට මොයින් අලි සමත් වුනා.

කෝලිගේ දැවී යෑමත් සමඟින් තරගය සියතට ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වුනා. එතෙක් ආරක්ෂාකාරී තරග රටාවකට අවතීර්ණ වී සිටි රහනේට ද අලි ඉදිරියේ අසරණ වීමට සිදු වුනා. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් රහනේ තම ඉනිම අවසන් කර ගනිද්දී පන්දු 159කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.

ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 184කට සීමා කිරීමට සමත් වූ එංගලන්ත ක්‍රීඩකයෝ තේ විවේකයෙන් පසුව ඉන්දීය ඉනිමේ කඩුලු 6ක් ලකුණු 45ක දී දවා ගැනීමට සමත් වුනා. ඉන්දීය ඉනිම අමාරුවේ දැමූ පන්දු යවන්නා බවට පත් වූයේ මොයින් අලි. ඔහු ලකුණු 71කට කඩුලු 4ක් දවා ගත්තා.

නායකත්වය ද බාර ගනිමින් උපුල් තරංග කොළඹ දිනවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන්ගෙන් වඩාත් පරිණත …

එංගලන්තය වෙනුවෙන් ඉන්දීය පළමු ඉනිමේ දී ද ලකුණු 63කට කඩුලු 5ක් දවා ගත් මොයින් අලි තරගයේ දී ලකුණු 134කට කඩුලු 9ක් දවා ගත්තා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම් අතුරින් දෙවැනි තැන ගත් දක්ෂතාව වූ අතර තරගයේ තුන් ඉරියව්වෙන් පෑ දක්ෂතා හේතුවෙන් අලි තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 246ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ 20 හැවිරිදි වමත් පිතිකරු සෑම් කරන්. ඔහු ලකුණු 78ක් ලබා ගත්තා. පන්දු 136කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඇතුලත් වුනා. එම ඉනිම කරන්ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වුනා.

එංගලන්ත ඉනිමේ කඩුලු 3ක් ලකුණු 46කට දවා ගත් ජස්ප්‍රීට් බුම්රා ඉන්දියාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දිය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 273ක් ලබා ගත්තේ චෙට්ස්වර් පුජාරා නොදැවී ලබා ගත් ශතකයක් ද සමගින්. තම ටෙස්ට් තරග දිවියේ 15 වැනි ශතකය වාර්තා කළ පුජාරා පන්දු 257කට මුහුණ දී හතරේ පහර 16ක් සමඟින් ලකුණු 132ක් ලබා ගත්තා.

දීර්ඝ විරාමයකට පසු ලසිත් මාලිංග නැවතත් කැඳවයි

වසරක විරාමයකට පසු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට …

ඔහුට අමතරව ඉන්දීය ඉනිම ගොඩ නැගීමේ දී විරාත් කෝලි පන්දු 71කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට වූ සබඳතාව ලකුණු 92ක්.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ මොයීන් අලි ලකුණු 63කට කඩුලු 5ක් ලබා ගත්තා. අලි කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් 5 වැනි අවස්ථාවයි මෙම තරගයේ දී වාර්තා කළේ.

ලකුණු 27ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 271ක් ලබා ගත්තා. මෙම ඉනිමේ දී ජොස් බට්ලර් තමන්ගේ ටෙස්ට් තරග දිවියේ 9 වැනි අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිම පන්දු 122ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 69ක්.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යැවූ මොහොමඩ් ෂාමි ලකුණු 57කට කඩුලු 4ක් දවා ගත්තා. ඔහුගේ පන්දු යැවීමේ දී අවස්ථා දෙකක දී ම කඩුලු ත්‍රිත්වයට පැමිණීමට තිබූ අවස්ථාවන් අහිමිව ගියා. එංගලන්ත ඉනිමේ තෙවැනි සහ සිව්වැනි කඩුලු පිට පිට පන්දු දෙකක දී දවා ගන්නා ෂාමි, නැවත වරක් 8 වැනි සහ 9 වැනි කඩුලු පිට පිට පන්දු දෙකක දී දවා ගැනීමට ද ඔහු සමත් වුනා.

දෙරට අතර පැවැත්වෙන පස්වැනි සහ අවසාන ටෙස්ට් තරගය මේ මස 7 වැනිදා ලන්ඩන් නුවර දී ආරම්භ වීමට නියමිතයි.

එංගලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 246 (76.4): බෙන් ස්ටොක්ස් 23, ජොස් බට්ලර් 21, මොයීන් අලි 40, සෑම් කරන් 78, ජස්ප්‍රීට් බුම්රා 3/46, ඉෂාන්ට් ෂර්මා 2/26, මොහොමඩ් ෂාමි 2/51, රවිචන්ද්‍රන් අෂ්වින් 2/40

ඉන්දියාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 273 (84.5): ෂිකර් ධවාන් 23, චෙටෙෂ්වර් පුජාරා නොදැවී 132, විරාට් කෝලි 46, ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/63, මොයින් අලි 5/63

එංගලන්තය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 271 (96.1): කිටන් ජෙනින්ග්ස් 36, ජෝ රූට් 48, බෙන් ස්ටොක්ස් 30, ජොස් බට්ලර් 69, සැම් කරන් 46, ඉෂාන්ට් ෂර්මා 2/36, මොහොමඩ් ෂාමි 4/57

ඉන්දියාව; සියලුම දෙනා දැවී 184 (69.4) විරාට් කෝලි 58, අජින්ක්‍යා රහනේ 51, රවිචන්ද්‍රන් අෂ්වින් 25, ජේම්ස් ඇන්ඩර්සන් 2/33, මොයීන් අලි 4/71, බෙන් ස්ටොක්ස් 2/34

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<