කෝලිගේ උත්සාහය අපතේ යවමින් ජයග්‍රහණය එංගලන්තයට

265
(Photo by Steve Feeney/Action Plus via Getty Images)

එංගලන්තයට ක්‍රිකට් වසන්තය උදා කරමින් බර්මින්හැම් හි එඩ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දී නිමා වූ එංගලන්ත – ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 31ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වුනා. ඒ අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් සේ ඉදිරියට පැමිණියා.

කොදෙව්වෝ හමුවේ බංග්ලාදේශයට තියුණු ජයක්

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදයේ දී බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය…

ඉන්දීය නායක විරාත් කෝලි තරගයේ ඉනිම් දෙකේ දී ම ලකුණු අතරට පිවිසෙමින් ජයග්‍රහණය තම කණ්ඩායම වෙත ලබා ගැනීමට උපරිම උත්සාහයන් දැරූව ද අනෙකුත් ක්‍රීඩකයන්ගේ අඩු සම්මාදම මේ පරාජයට හේතු වුනා. කෝලි පළමු ඉනිමේ දී ශතකයක් ද දෙවැනි ඉනිමේ දී අර්ධ ශතකයක් ද ලබා ගත්තා. තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 287ක් ලබා ගත්තා. ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක ජෝ රූට්. ඔහු පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා.

රූට්, කේටන් ජෙනින්ග්ස් සමඟින් දෙවැනි කඩුල්ලට එක්කළ ලකුණු සංඛ්‍යාව 72ක්. ජෙනින්ග්ස් පන්දු 98ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබා ගනිමින් රූට්ට අනගි සහයෝගයක් ලබා දුන්නා. ඊට අමතරව රූට් කඩුලු රකින ක්‍රීඩක ජොනි බෙයාස්ටොච් එක් ව එක්වෙමින් සිව්වැනි කඩුල්ලට 104ක සබඳතාවක් ද එක් කළා.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4ක් ද, මොහොමඩ් සමී කඩුලු 3ක් ද දවා ගත්තා.

ශ්‍රී ලංකා පොඩ්ඩන් පසුපසින් ගොස් ඉන්දියාව බියගන්වයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට්..

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ නායක විරාට් කෝලිගේ ශතකයත් සමඟින් ලකුණු 274ක් ලබා ගත්තා. කෝලි මේ රැස් කළේ තමන්ගේ 22 වැනි ටෙස්ට් ශතකයයි. ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් කෝලි දැවී යන විට පන්දු 225කට මුහුණ දී හතරේ පහර 22ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 149ක් ලබා සිටියා. පන්දු යැවීමේ දී සෑම් කරන් ලකුණු 71කට කඩුලු 4ක් දවා ගත්තා.

ලකුණු 13ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ සත්කාරක ක්‍රීඩකයෝ එවර ලබා ගත්තේ ලකුණු 180ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුනේ සෑම් කරන්. ඔහු ලකුණු 63ක් ලබා ගත්තා. පන්දු 65කින් සමන්විත වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුනා.

එංගලන්ත ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී ඉෂාන්ට් ෂර්මා ලකුණු 51කට කඩුලු 5ක් දවා ගත්තා. එංගලන්ත ඉනිම වරෙක කඩුලු 7ක් දැවී ලකුණු 87ක රැඳී සිටියා.

ජයග්‍රහණය සඳහා ලකුණු 194ක ඉලක්කයක් පසුපස ගිය ඉන්දීය ක්‍රීඩකයෝ තමන්ගේ ඉනිම ලකුණු 162කට සීමා කර ගත්තා. එම ඉනිමේ දී ද වැඩිම ලකුණුලාභියා වුනේ නායක විරාට් කෝලි. ඔහු පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා. ඔහුට අමතරව හර්ඩික් පාන්ඩ්යා ලකුණු 31ක් ලබා ගත්තා.

ඉන්දීය ඉනිම විනාශ කිරීමේ දී පළමු කඩුලු 5 ලකුණු 78කටත්, අනතුරුව අනෙක් කඩුලු 5 ලකුණු 84කටත් දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වුනා. එහි දී බෙන් ස්ටොක් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 40කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

එංගලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 287 (89.4) කේටන් ජෙනින්ග්ස් 42, ජෝ රූට් 80,ජොනි බෙයාස්ටොව් 70, බෙන් ස්ටොක්ස් 21, සෑම් කරන් 24, රවිචන්ද්‍රන් අශ්වින් 4/62, මොහොමඩ් සමි 3/64

ඉන්දියාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (76.0) මුරලි විජේ 20, ෂිකර් ධවාන් 26, විරාට් කෝලි 149, හර්ඩික් පාන්ඩ්යා 22, ජේම්ස් ඇන්ඩර්සන් 3/41, සෑම් කරන් 4/71, අඩිල්රෂිඩ් 2/31, බෙන් ස්ටොක්ස් 2/73

එංගලන්තය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 180 (53.0) ඩේවිඩ් මලාන් 20, ජොනි බෙයාස්ටොව් 28, සෑම් කරන් 63, ඉෂාන්ට් ෂර්මා 5/51, උමේෂ් යාදව් 2/20

ඉන්දියාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 162 (54.2) විරාට් කෝලි 51, දිනේෂ් කාර්තික් 20, හර්ඩික් පාන්ඩ්යා 31, ජේම්ස් ඇන්ඩර්සන් 2/50, ස්ටුවට් බ්‍රෝඩ් 2/43, බෙන් ස්ටොක්ස් 4/40

දස දෙස පැතිරි තරග තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<