නවෝද් – කමිල් ශතක සබඳතාවය පරාජයකින් කෙලවර වෙයි!

69

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙන යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වුනු අවසන් දිනය ලෙස සටහන් වූයේ ඊයේ (19) දිනයයි. එහිදී මෙතෙක් තරගාවලිය තුල ජයග්‍රහණ 3 බැගින් වාර්තා කරගෙන සිටි එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකා පිළ එකිනෙකා සමඟ තරග වැදීම සිදුවිය. 

ඇන්ටිගුවා හිදී ක්‍රියාත්මක වූ මෙම තරගය ලකුණු 44කින් ජය ගත් එංගලන්ත පිළ ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය. නමුත් සංක්‍රාන්ති සමයක සිටින යොවුන් ශ්‍රී ලංකා පිළද මෙම තරගාවලිය තුල සත්කාරක කොදෙව් පිළට වඩා දක්ෂතා දක්වා තිබූ නිසා ඔවුන්ටද අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවකාශය උදාවී ඇත.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 6.30ට පමණ මෙම තරගය ආරම්භ වූයේ ශ්‍රී ලංකා පිළට කාසියේ වාසිය දිනා දෙමිනි. කෙසේවෙතත් තණතිල්ලේ එතරම් බියකරු ස්වභාවයක් නොතිබුනද මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔවුන් මගහැර ගැනීම තරමක් විමතියට කරුණක් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිළෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වරම් ලද එංගලන්ත ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 4කට ලකුණු 292ක් ලබා ගනිමිනි.

එහිදී සියලුම පිතිකරුවන් පාහේ එංගලන්තය වෙනුවෙන් තම වගකීම් කොටස ඉටු කළ නිසා ශ්‍රී ලංකාවට තරගයට අවතීර්ණ වීමට ඒ හැටි අවස්ථාවක් ලැබුනේ නැත. ඒ අතරින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ 19 හැවිරිදි ජෝර්ඩන් කොක්ස් ඉනිම අවසානය දක්වාම නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 105ක් ලබා ගත්තේය. පන්දු 127ක් වැයවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. 

මීට අමතරව ඉනිමේ අවසන් කොටසේ දී දකුණත් පිතිකරු ජොයේ එවිසන් එල්ල කළ ප්‍රහාරය ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණ බලාපොරොත්තු තවදුරටත් ඈත් කිරීමට හේතුවිය. පන්දුවාර 40ක් ගතවන විට මුළු ලකුණු 250ක සීමාවට ලඟාවනු ඇතැයි සිතා සිටි එංගලන්ත පිළට ලකුණු 300ට ආසන්න වන්නට උපකාරී වූයේ එවිසන්ගේ මෙම ප්‍රවේගකාරී ඉනිමයි. එහිදී ඔහු පන්දු 18කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ දැවැන්ත හයේ පහර 6ක් සමඟයි.

මීට අමතරව ජැක් හේන්ස් සහ සෑම් යං පිළිවෙලින් ලකුණු 39 සහ 33 බැගින් රැස් කරමින් එංගලන්ත ලකුණු පුවරුව තවදුරටත් ඉහළ දැමූහ. පන්දු යැවීමේ දී ජාත්‍යන්තර පිටියට තවමත් ආගන්තුක පන්දු යවන්නන් රැසක් ඇතුළත් ශ්‍රී ලංකා පිළට කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට හැකිවූයේ නැත. එහිදී එංගලන්ත පිළේ දැවී ගිය කඩුලු 4 ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් සිව් දෙනෙකු සමසේ බෙදා ගත්හ.

ලකුණු 293ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුල් කඩුල්ල වෙනුවෙන්ම ශතක සබඳතාවයක් ගොඩ නැගූවද එහි වාසිය ලබා ගැනීමට මැදපෙළ පිතිකරුවන්ට හැකිවූයේ නැත. කෙසේවෙතත් ශ්‍රී ලංකාවට මෙම දැවැන්ත අභියෝගය ඉදිරියේ සටනක් ලබා දෙන්නට නවෝද් පරණවිතාන පන්දු 75කදී ලබාගත් ලකුණු 73 මහත් සේ උපකාරී විය. ඔහුගේ ඉනිම හැඩවුනේ හතරේ පහර 9කින් සහ එක් හයේ පහරකිනි.

තවමත් 18 හැවිරිදි වියේ පසු වුවද කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වන කමිල් මිශාර නවෝද්ගේ සහය ආරම්භක පිතිකරුවා ලෙස ඊයේ ලකුණු 40ක් ලබා ගත්තේය. මීට අමතරව රවිඳු රසන්ත සහ සොනාල් දිනූෂ අර්ධ ශතක වාර්තා කර ගත්තද සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 300කට ආසන්න ඉලක්කයක් හඹා යාමට ප්‍රමාණවත් දායකත්වයක් නොදැක්වූ නිසා අවසානයේ උරුම වූයේ පරාජයයි.

ඒ අනුව පන්දුවාර 50ක් අවසානයේ තම කුරුමානම වැරදුනු ශ්‍රී ලංකා පිළ ලකුණු 248ක සීමාවේ නතර විය. ඒ වනවිට බිඳ වැටී තිබුණු මුළු කඩුලු ගණන 9කි. තරගයේ වීරයා ලෙස ශතකලාභී ජෝර්ඩන් කොක්ස් සම්මාන දිනා ගත්තේය. ඒ අනුව මූලික වටයේ තරග අවසන් වනවිට එංගලන්තය, ශ්‍රී ලංකාව සහ කොදෙව් දේශය පිළිවෙලින් ජයග්‍රහණ 4,3,2 බැගින් ලබාගෙන තිබේ. 

මේ නිසා තරගාවලි ජයග්‍රහණය තීරණය කෙරෙන අවසන් මහා තරගය එංගලන්ත යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර හෙට (21) ඇන්ටිගුවා හිදීම පැවැත්වීමට සැලසුම් කර ඇත. 

එංගලන්ත යොවුන් පිළ – කඩුලු 4ක් දැවී ලකුණු 292 (පන්දුවාර 50)

ජෝර්ඩන් කොක්ස් 105*, ජොයේ එවිසන් 50*, ජැක් හේන්ස් 39, සෑම් යං 33, ලූක් හෝල්මන් 24, ටොම් ක්ලාක් 22, නවීන් ප්‍රනාන්දු 1/32, සොනාල් දිනූෂ 1/41, චමිඳු වික්‍රමසිංහ 1/51, ලක්ෂාන් ගමගේ 1/71.

ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 248 (පන්දුවාර 50)

රවිඳු රසන්ත 52, නවෝද් පරණවිතාන 73, සොනාල් දිනූෂ 51, කමිල් මිශාර 40, ලක්ෂාන් ගමගේ 12, ලෙවිස් ගෝල්ඩ්ස්වර්ති 2/37, ලූක් හෝල්මන් 2/50, බ්ලේක් කූලෙන් 1/28, ජොයේ එවිසන් 1/29.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<