මේ තරගාවලිය අපිට ලේසියට ගන්න බැහැ – දිනේෂ් චන්දිමාල්

816

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 10 වැනිදා රංගිරි දඹුලු ක්‍රිකට් පිටියේ දී ආරම්භ වන අතර මේ තරගාවලියට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග පහක්, එක් විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් හා ටෙස්ට් තරග තුනක් ඇතුලත් වේ.

සංචිතයේ වෙනස්කම් කිහිපයක් සමඟින් මැතිව්ස්ට එක් දොරක් වැසේ

ලබන 10 වැනිදා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – …

JAT හෝල්ඩින්ග්ස් ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලැබෙන මේ ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 10 වැනිදා සිට නොවැම්බර් මස 27 වැනිදා දක්වා පැවැත්වේ. මින් පෙර එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 4කට පමණ පසුව වන අතර අවසන් වරට මෙරට දී ශ්‍රී ලංකා එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2014 වර්ෂයේ දීයි. එම එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5-2ක් ලෙස පහසුවෙන්ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ එංගලන්ත කණ්ඩායම උක්ත කාලය තුල දී සංක්‍රාන්ති සමයක සිටි නිසාවෙනි.

“2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ තරගාවලිය දෙපිලටම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා, ශ්‍රී ලංකාව අපේ කණ්ඩායම හොඳට පිළිගත්තා, මෙහේ පහසුකම් ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳ තරගාවලියක් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මෝර්ගන් පැවසීය.

ආසියානු කුසලානයේ දී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වී තරගාවලියෙන් ඉවත් වූ නිසා ඇන්ජෙලෝ මැතිව්ස්ට කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා තේරීම් කමිටුව විසින් දන්වා සිටි අතර ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් නව එක්දින නායකයා ලෙස පත් කිරීමට ඔවුන් තීරණය කළේය.

“මම එංගලන්ත කණ්ඩායම සාධරයෙන් පිළිගන්න කැමතියි. එංගලන්ත කණ්ඩායම කියන්නේ අද ලෝකයේ අංක එකේ එක්දින ක්‍රිකට් කණ්ඩායම, ඒක නිසා අපිට මේ තරගාවලිය ලේසියට ගන්න බෑ. අපේ ක්‍රීඩකයින් මේ දිනවල ඉතාමත් හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කරනවා. එංගලන්ත කණ්ඩායමට හොඳ අභියෝගයක් දෙන්න අපේ කණ්ඩායමට පුළුවන් වෙයි.” යැයි ශ්‍රී ලංකා නව එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

Video – එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග සැලසුම් මොනවාද? හතුරුසිංහ හෙළි කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් …

එංගලන්ත කණ්ඩායම අවසන් වරට ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 4-1ක් ලෙස සාර්ථකව නිමා කරමින් ශ්‍රී ලංකා තරග සංචාරයට පිවිසෙන අතර එබැවින් ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව ඉතාමත් හොඳ මානසිකත්වයකින් පසුවන බවට කිසිම සැකයක් නොමැත.

“අපි පසුගිය මාස කිහිපය පුරාවට පැවති ක්‍රිකට් තරගවල ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා, මේ තරගාවලියත් ඒ වගේම ඉතාමත් හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙක් වන වර්තමාන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ට්‍රේව බෙයිලිස් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ දී පවත්වා ඇති තරගාවලිවල දී එංගලන්ත කණ්ඩායම එතරම් දස්කම් දක්වන්නට සමත් වී නොමැති අතර ඒ අනුව මෙම තරගාවලියේ දී ඔවුන් ඉහළ දස්කම් දැක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව නොඅනුමානයි.

ශ්‍රී ලංකාවේ දී ඔවුන් ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 5ක් ඔවුන් පරාජයට පත්වෙද්දී, ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ තරග 4ක් පමණි. ඉතිරි තරග 4 ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. කෙසේ නමුත් 2012 වසරේ පැවති ටෙස්ට් තරගාවලියේ දී ඔවුන් ඉහළ දස්කම් දක්වමින් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නට සමත් විය.

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රංගන හේරත් මෙම තරග සංචාරයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත නිසාවෙන් පුද්ගලිකව ඔහුට මේ තරග සංචාරය ඉතාමත් වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් පෙරේරා, උපුල් තරංග, තිසර පෙරේරා, සධීර සමරවික්‍රම, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අකිල ධනංජය,  අමිල අපොන්සු, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්.

අතිරේක ක්‍රීඩකයින් – දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ෂෙහාන් මදුසංක, ජෙෆ්රි වැන්ඩසේ , කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කෞශාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත් , දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ලහිරු කුමාර (ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය වෙත ඉදිරිපත් කර ඇත), කසුන් රාජිත, මලින්ද පුෂ්පකුමාර.

අතිරේක ක්‍රීඩකයින් – දුෂ්මන්ත චමීර, ලහිරු තිරිමාන්න, නිශාන් පීරිස්, ජෙෆ්රි වැන්ඩසේ, කුසල් පෙරේරා.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එංගලන්ත එක්දින ක්‍රිකට් සංචිතය – ඉයන් මෝර්ගන් (නායකයා), මොයින් අලී,  ජෝ රූට්, ජොනී බෙයාර්ස්ටෝව්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලියාම් ඩෙව්සන්, ඇලෙක්ස් හේල්ස්, ලියම් පලන්කට් (අවසන් තරග දෙක සඳහා පමණි), ඔලී ස්ටෝන්, අඩිල් රෂිඩ්, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්, ජේසන් රෝයි.

එංගලන්ත ටෙස්‌ට් ක්‍රිකට් සංචිතය – ජෝ රූට් (නායක), මොයින් අලී, ජිමී ඇන්ඩර්සන්, ජොනී බෙයාර්ස්ටෝව්, රෝරි බර්න්ස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, කීටන් ජෙනින්ග්ස්, ජැක් ලීච්, ඔලී පෝප්, අඩිල් රෂිඩ්, බෙන් ස්ටෝක්ස්, ඔලී ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්.

තරග කාලසටහන

  • 2018 ඔක්තෝබර් 10 – පළමු එක්දින තරගය – (දිවා/රාත්‍රි) – දඹුල්ල
  • 2018 ඔක්තෝබර් 13 – දෙවන එක්දින තරගය – (දිවා/රාත්‍රි) –  දඹුල්ල
  • 2018 ඔක්තෝබර් 17 – තෙවන එක්දින තරගය – (දිවා/රාත්‍රි) – පල්ලෙකැලේ  
  • 2018 ඔක්තෝබර් 20 – සිව්වැනි එක්දින තරගය – (දිවා) – පල්ලෙකැලේ
  • 2018 ඔක්තෝබර් 23 – පස්වැනි එක්දින තරගය – (දිවා/රාත්‍රි) – ආර්. ප්‍රේමදාස
  • 2018 ඔක්තෝබර් 27 – එකම විස්සයි විස්ස තරගය (දිවා/රාත්‍රී) – ආර්. ප්‍රේමදාස
  • 2018 නොවැම්බර් 6-10 – පළමු ටෙස්ට් තරගය – ගාල්ල
  • 2018 නොවැම්බර් 14-18 – දෙවන ටෙස්ට් තරගය – පල්ලෙකැලේ  
  • 2018 නොවැම්බර් 23-27 – තෙවැනි ටෙස්ට් තරගය –  එස්. එස්. සී.

මෙම තරගාවලියේ නවතම තොරතුරු, එසැණ පුවත්, වීඩියෝ, ඡායාරූප හා තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<