එංගලන්තයේ දරුණු ප්‍රහාරය අප්‍රිකානු කුසලාන සිහිනය බොඳ කරයි!

74

වර්තමානයේ ක්‍රිකට් පිටිය තුල වඩාත්ම ආක්‍රමණශීලී කණ්ඩායම කුමක්දැයි ඔබෙන් විමසුවහොත් ඔබට විවිධ පිලිතුරු තිබිය හැක. නමුත් ඒ අතරින් ඔබේ පිලිතුර එංගලන්තය නම් ඔබට කිසිවෙකුත් සිනා නොවනු ඇත. ඒ මෑත අතීතය තුල ඔවුන් කිහිප විටක්ම එවැනි ආශ්චර්යයන් සිදුකර ඇති බැවිනි. 

එහි නවතම නිදසුන ඊයේ (16) සෙන්චූරියන් හිදී දැකබලා ගැනීමට හැකිවූයේ සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිවයි. තරගාවලියේ තෙවැනි T20 තරගය වූ එහිදී ලකුණු 223ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දු 5ක් ඉතිරිව තිබියදීම “පහසුවෙන්” තරගය ජය ගත්තේ තරගාවලි ජයග්‍රහණය ද තහවුරු කර ගනිමිනි.

ඩර්බන් පිටිය හඬවමින් දකුණු අප්‍රිකාවට ලකුණු 2ක තියුණු පරාජයක්!

එකකට එකක් පරදින්නට අකමැති සුපිරි කණ්ඩායම් දෙකක් අතර පැවැත්වුනු …….

ලොව ඇති පිතිකරුවන්ට සහය දක්වන ක්‍රීඩාංගණ අතර ඉදිරියෙන්ම නම කියවෙන සෙන්චූරියන් පිටියේ දී පැවැත්වුනු මෙම තරගයේ දී ඉහළ ලකුණු සංඛ්‍යාවක් බොහෝ දෙනා බලාපොරොත්තු වුවද එහි එකතුව ලකුණු 450කට ආසන්න වනු ඇතැයි කිසිවෙකු සිතන්නට නැත. එබැවින් ක්‍රිකට් පන්දුව අවසන් දශමයට කල් මැනිය හැකි “ප්‍රහාරක කණ්ඩායම්” දෙකක් අතර පැවති මෙම තරගය සජීවීව නැරඹූ දහස් ගණනක ප්‍රේක්ෂකයින් සැබෑ වාසනාවන්තයින් ලෙස සැලකිය හැකිය. 

තරගය ඇරඹෙන්නේ දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක්ට කාසියේ වාසිය හිමිකර දෙමිනි. එවැනි අවස්ථාවක තමන් සිටගෙන සිටින තණතිල්ල දෙසත්, අඩුදුර හතරේ සීමාව දෙසත් බලන ඕනෑම නායකයෙකු සිදු කරන පරිද්දෙන් මුලින් පිත්ත අතට ගන්නට ඔහු දෙවරක් සිතුවේ නැත. ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ “ලකුණු 200කට වැඩි” ලකුණු පුවරුවක පීඩනය මතින් මෙම අවසන් තරගයත්, තරගාවලියත් ජය ගැනීමයි. ඊට අවශ්‍ය ආරම්භය ඔහුම ලබා දෙන්නේ හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් සමඟින් වේගවත් ලකුණු 35ක් එක් කරමිනි. 

ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ලෝකය හඳුනා ගත්තද දැන් දැන් T20 පිටියේද තම කෙරුම් ප්‍රදර්ශනය කරන ටෙම්බා බවුමා ලකුණු 49ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 24ක් පමණි. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. දකුණු අප්‍රිකාවට ලකුණු 200 සීමාව පසු කිරීමට අවශ්‍ය කළ “තීරණාත්මක ඉනිම” ක්‍රීඩා කළ හෙන්රික් ක්ලාසන් පන්දු 33කට පමණක් මුහුණ දෙමින් එමෙන් දෙගුණයක ලකුණු තම කණ්ඩායමට රැස්කර දුන්නේය. දුටුවන් ඇස් පිනවන මෙම චමත්කාරජනක ඉනිමට හතරේ පහර සහ හයේ පහර 4 බැගින් ඇතුළත් විය.

“Munchee වෙළඳසේවා ක්‍රිකට් ශූරතාවය” මැලිබන් දිනා ගනියි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන Munchee ……….

මීට ඩේවිඩ් මිලර් පන්දු 20කදී නොදැවී රැස්කළ ලකුණු 35ද එකතු වූ විට දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 222ක් දක්වා ඉහළ නැගුනේ සෙන්චූරියන් පිටියට පැමිණ සිටි බහුතරයක් ප්‍රේක්ෂකයින්ගේ දැඩි ප්‍රීති ඝෝෂා මැදයි. පන්දු යැවීමේ දී තවමත් 24 වැනි වියේ පසුවන ටොම් කරන්ට කඩුලු 2කුත්, සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට කඩුලු 2කුත් හිමිවිය.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාම “කරන්නට බැරි වැඩක්” බව බොහෝදෙනා විශ්වාස කළද දකුණු අප්‍රිකාව අතීතයේ සිටම පිතිකරණයෙන් සාර්ථක වූ අවස්ථා වලදී පන්දු යැවීම අසාර්ථක කරගෙන තිබෙන නිසා බලාපොරොත්තු කඩකර නොගත් ප්‍රේක්ෂකයින් ද සිටින්නට ඇත. ලුන්ගි න්ගිඩිව හයේ පහරක් සමඟින් පිළිගත් ජේසන් රෝයි ඊලඟ පන්දුවේ දී කඩුල්ල පූජා කළද අනෙක් පිතිකරුවන් තම වගකීම ඉටු කිරීම නිසා අවසානයේ සිදුවූයේ ද එයමය. ඒ අතර කැපී පෙනෙන ඉනිම 3ක් තිබූ අතර ජෝස් බට්ලර් ආරම්භක පිතිකරුවෙකු ලෙස පන්දු 29කදී ලබාගත් ලකුණු 57 එංගලන්ත පිළට ශක්තිමත් පදනමක් ලබා දුන්නේය.

ඉන්පසු ජොනී බෙයාස්ටෝ සහ ඔයින් මෝර්ගන් “වෙන ඕනෙ දෙයක් වෙච්චාවේ” කියා එල්ල කළ ප්‍රහාරය ද සාර්ථක වූයේ දකුණු අප්‍රිකාව මෙතෙක් වේලා හිසමත දරා සිටි ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ වට්ටමිනි. බෙයාස්ටෝ පන්දු 34කදී ලබාගත් ලකුණු 64 “විශිෂ්ට ඉනිමක්” වුවද එංගලන්ත නායක ඔයින් මෝගන් තම පැරණි වාර්තාවක්ම නැවත සම කරමින් එංගලන්තය වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය (21) වාර්තා කිරීම ඊටත් වඩා සුවිශේෂී විය. පන්දු 22කදී  ලකුණු 57ක් ලබා ගැනීමට නිවැරදිව කල් මැනි හයේ පහර 7ක් ඔහුට ප්‍රමාණවත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් මාර්තු 29 සිට

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු මස 29 වනදා ආරම්භ ………..

ඉන්පසු පන්දු 12කදී ලකුණු 22ක් ලබමින් එංගලන්තය වෙනුවෙන් “තරගය සමාලෝචනය” කිරීමට බෙන් ස්ටෝක්ස්ගේ දස්කම් ප්‍රමාණවත් විය. මේ අනුව ක්‍රිකට් ඉතිහාසයට තවත් උණුසුම් T20 තරග 3ක් තිලිණ කළ මෙම තරගාවලිය අවසන් වූයේ එංගලන්ත පිළට තරග 2-1ක ජයක් ගෙන දෙමිනි. තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද එංගලන්තයට පිත්තෙන් විශාල ලකුණු ප්‍රමාණයක් මෙන්ම විශිෂ්ට නායකත්වයක් ලබාදුන් ඔයින් මෝගන්ට හිමිවිය.

දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී ලකුණු 222 (පන්දුවාර 20)

හෙන්රික් ක්ලාසන් 66, ටෙම්බා බවුමා 49, ක්වින්ටන් ඩි කොක් 35, ඩේවිඩ් මිලර් 35*, වැන් ඩර් ඩසේන් 11, ඩ්වේන් ප්‍රිටෝරියස් 11, ටොම් කරන් 2/33, බෙන් ස්ටෝක්ස් 2/35.

එංගලන්තය – කඩුලු 5ක් දැවී ලකුණු 226 (පන්දුවාර 19.1)

ජොනී බෙයාස්ටෝ 64, ඔයින් මෝගන් 57*, ජෝස් බට්ලර් 57, බෙන් ස්ටෝක්ස් 22, ඩේවිඩ් මාලන් 11, ලුන්ගි න්ගිඩි 2/55, අන්දිල් පෙලුක්වායෝ 1/34, ඩ්වේන් ප්‍රිටෝරියස් 1/40, තබ්‍රයිස් ශම්සි 1/40.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<