ඩර්බන් පිටිය හඬවමින් දකුණු අප්‍රිකාවට ලකුණු 2ක තියුණු පරාජයක්!

108
BBC

එකකට එකක් පරදින්නට අකමැති සුපිරි කණ්ඩායම් දෙකක් අතර පැවැත්වුනු තවත් උණුසුම් T20 තරගයක් අද (15) අළුයම නිමාවට පත්වූයේ ඩර්බන් හි කින්ග්ස්මිඩ් ක්‍රීඩාංගණයේදීයි. ලකුණු 400කට අධිකව වාර්තා වූ මෙම තරගය අවසානයේ සත්කාරක දකුණු අප්‍රිකානු පිළ අභිබවා ලකුණු 2ක තියුණු ජයක් ලබා ගැනීමට එංගලන්තයට හැකිවිය. ඒ තරග 3කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන එමිනි.

එංගලන්ත නිසැක ජය අහිමි කළ අවසන් පන්දුවාරයේ විජ්ජාව!

ඉතාමත් කලාතුරකින් දැකිය හැකි ආකාරයේ තියුණු මුහුණුවරක් ගත් තරගයක් ඊයේ (12) එංගලන්තය සහ දකුණු අප්‍රිකාව……

සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවටත් වාසනාව ගෙනදුන් ක්‍රීඩාංගණයක් ලෙස ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳී ඇති මෙම පිටියේ දී අද කාසියේ වාසිය දිනා ගත්තේ දකුණු අප්‍රිකානු පිළයි. ඒ අනුව මුලින් පන්දු යැවීමට ඔවුන් තීරණය කළේ පසු කාලීනව ඇතිවිය හැකි පින්න තත්ත්වයක් පිලිබඳව ද අපේක්ෂා කරමිනි. එම අභියෝගය භාරගත් එංගලන්ත පිළ තමන්ගේ පළමු කඩුල්ල ඉක්මනින් දැවී ගියද එතැන් සිට වේගවත්ව පිත්ත හසුරුවමින් ලකුණු රැස් කිරීම ආරම්භ කළහ. 

එහිදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ජේසන් රෝයි පන්දු 29කදී ලකුණු 40ක් රැස් කරද්දී ජොනී බෙයාස්ටෝ ලකුණු 35ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 17ක් පමණි. ඊට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. එතරම් ප්‍රවේගකාරී බවක් පෙන්නුම් නොකළද නායක මෝර්ගන් ලබාගත් ලකුණු 27 එංගලන්ත ඉනිම ස්ථාවර කිරීමට හේතුවිය. ඉන් අනතුරුව එංගලන්ත ඉනිමේ අවසන් කොටසේ දී ඔවුන්ට ලකුණු 200 සීමාව ඉක්මවා යාමට ඉඩ ලබා දුන්නේ බෙන් ස්ටෝක්ස් සහ මොයීන් අලි දියත් කළ දැවැන්ත ප්‍රහාරයයි.

ඉනිමේ අවසානය දක්වා නොදැවී සිටි බෙන් ස්ටෝක්ස් පන්දු 30කට පමණක් මුහුණ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 47කි. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. විස්සයි විස්ස පිටියේ පිතිකරුවෙකුගෙන් කලාතුරකින් දැකිය හැකි අන්දමේ කුසලතාවයක් පෙන්නුම් කළ මොයීන් අලි ඔහුට ලැබුණු පන්දු 11 භාවිතා කළේ ලකුණු 39ක් ලබා ගැනීමටයි. එංගලන්ත ඉනිම ලකුණු 204ක් දක්වා ඉදිරියට ගෙන ගිය ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. පන්දු යැවීමේ දී ලුන්ගි න්ගිඩිට කඩුලු 3ක් ද, අන්දිල් පෙලුක්වායෝට කඩුලු 2ක් ද හිමිවිය.

එදා ලාහෝර්වල සිදුවීම මට ගොඩක් දේවල් ඉගැන්වුවා – සංගක්කාර

පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල ඉස්මතු වීම සෙමෙන් නමුත් ක්‍රමයන් සිදුවෙමින් පවතී. මෑත වසරවල දී, පාකිස්තාන…..

මෙම ඉලක්කය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට අපහසු වෙතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළද එම මතයට එරෙහි පළමු ප්‍රහාරය එල්ල වන්නේ නායක ක්වින්ටන් ඩි කොක්ගෙනි. ස්වකීය තාක්ෂණය ඕනෑම තරග රටාවකට ගැලපෙන ලෙස වෙනස් කර ගැනීමට උපන් හපන්කම් දක්වන ඔහු අද ලකුණු 65ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 22ක් පමණි. ඊට හතරේ පහර 2ක් සහ දැවැන්ත හයේ පහර 8ක් ඇතුළත් විය. ඔහුට සහය වූ ටෙම්බා බවුමා ලකුණු 31ක් ලබා ගත්තේ මුල් කඩුල්ලේ සබඳතාවය 92 දක්වා ඉහළ දමමිනි.

ඒ සමඟම දකුණු අප්‍රිකානු පිළේ ජයග්‍රහණ බලාපොරොත්තු දැල්වුණු අතර තරගයේ 3/4ක් ගත වන තුරුම ඔවුන් එංගලන්ත පිළ ගිය අඩිපාරේ සාර්ථකව ගමන් කළහ. ඩේවිඩ් මිලර් ලකුණු 21ක් ලබා ගනිමින් ඊට තවදුරටත් හූමිටි තැබීය. ඒ අනුව සත්කාරකයින්ට අවසන් පන්දුවාර 5 සඳහා අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 60කි. එහිදී දිගින් දිගටම යෝකර් පන්දු යවමින් කඩුලු බිඳ දැමීමට උත්සාහ කළ එංගලන්ත වේග පන්දු යවන්නන්ට එරෙහිව වැන් ඩර් ඩසේන් දකුණු අප්‍රිකානු පිළ වෙනුවෙන් බර දරා සිටියේය.

වරෙක පන්දුව ක්‍රීඩාංගණයෙන් එලියටම පිටත් කර හැරි වැන් ඩර් ඩසේන්ගේ ලකුණු 43ක ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. ඒ වෙනුවෙන් වැය වුනේ පන්දු 26ක් පමණි. කෙසේවෙතත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 15ක් අවශ්‍ය වූ අවසන් පන්දුවාරය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වූ අතර මුල් පන්දු 4ට ලකුණු 12ක් ලබාසිටි ඔවුන්ට අවසන් පන්දු දෙකේදීම කඩුලු බිඳ ගැනීමට සිදුවිය. ඒ අනුව දකුණු අප්‍රිකාවට විඳ ගැනීමට සිදු වූයේ ලකුණු 2ක තියුණු තරග පරාජයකි. 

T20 තරග රටාවට ඉක්මනින්ම සමුදෙනවා – ඩේවිඩ් වෝනර්

ඕස්ට්‍රේලියා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් විස්සයි විස්ස ක්‍රිකට් දිවියට සමුදීම පිළිබඳව සැලසුම් කරන…..

පන්දු යැවීමේ දී ටොම් කරන්, ක්‍රිස් ජෝඩර්න් සහ මාර්ක් වුඩ් කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර වඩාත්ම වැදගත් පන්දු යැවීම ලෙස ප්‍රහාරයට අර අඳිමින් සිටි ප්‍රතිවාදීන්ව හොඳින් පාලනය කර ගනිමින් පන්දු යැවූ ක්‍රිස් ජෝර්ඩන්ගෙන් ප්‍රදර්ශනය විය. කෙසේවෙතත් තරගයේ වීරයා සම්මානය එංගලන්ත ඉනිමේ අවසන් කොටසේ දී ලකුණු වේගය වැඩි කර දුන් මොයීන් අලිට හිමිවිය. මේ අනුව එංගලන්ත පිළේ දීර්ඝ දකුණු අප්‍රිකානු සංචාරය අවසන් කරමින් හෙට (16) සෙන්චූරියන් හිදී ඇරඹෙන තෙවැනි T20 තරගය තවත් ආකර්ෂණීය සටනක් වන බව සක්සුදක් සේ පැහැදිලිය.

එංගලන්තය – කඩුලු 7ක් දැවී ලකුණු 204 (පන්දුවාර 20) බෙන් ස්ටෝක්ස් 47*, ජේසන් රෝයි 40, මොයීන් අලි 39, ජොනී බෙයාස්ටෝ 35, ඔයින් මෝගන් 27, ක්‍රිස් ජෝඩන් 7, ලුන්ගි න්ගිඩි 3/48, අන්දිල් පෙලුක්වායෝ 2/47.

දකුණු අප්‍රිකාව – කඩුලු 7ක් දැවී ලකුණු 202 (පන්දුවාර 20) ක්වින්ටන් ඩි කොක් 65, වැන් ඩර් ඩසේන් 43*, ටෙම්බා බවුමා 31, ඩ්වේන් ප්‍රිටෝරියස් 25, ඩේවිඩ් මිලර් 21, ජේ.ජේ. ස්මට්ස් 13, ක්‍රිස් ජෝර්ඩන් 2/31, මාර්ක් වුඩ් 2/39, ටොම් කරන් 2/45.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<