වින්ස්ගේ පිත්ත ඉදිරියේ කිවියන් දණ නමයි

91

සංචාරක එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත සංචාරය ආරම්භ කරමින් ක්‍රසිස්චච්හිදී පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම අද (1) සමත් විය.

මෙම තරගයේ දී එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සෑම් කරන්, ලෙවිස් ග්‍රෙහරි හා පැට් බ්‍රවුන් තිදෙනා සමත් විය. 

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කිරීමට එංගලන්ත නායක ඔයින් මෝර්ගන් තීරණය කළේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් බවට පත්වූයේ මාටින් ගප්ටිල් සහ කොලින් මනිරෝ යුගලයයි.

සංගා නැවතත් ගාල්ලේ වැඩ පෙන්වන්න සැරසේ

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ඉතිහාසය 1970 ……

නමුත් තම මංගල විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ සෑම් කරන්ගේ ගොදුරක් බවට පත්වෙමින් ආ විගසම ක්‍රීඩාගාරය වෙත හැරී යාමට මාටින් ගප්ටිල්ට සිදු වූයේ යන්තම් ලකුණු 2ක් පමණක් ලබා සිටිය දී ය.

අනතුරුව පිටියට පිවිසි කඩුලු රකින ක්‍රීඩක ටිම් සෙයිෆාර්ට් හා කොලින් මන්රෝ අතර ලකුණු 33ක සබඳතාවයක් පැවැත්වූ අතර දෙවන කඩුල්ල වශයෙන් මන්රෝ ක්‍රිස් ජෝර්ඩන්ගේ පන්දුවක් ඉදිරියේ ලකුණු 20කට දැවී යන විට නවසීලන්ත ලකුණු පුවරුව 39/2ක් වශයෙන් සටහන් විය.

පසුව ‍සෙයිෆාර්ට් සමඟ පිටියේ එක්වූයේ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ය. ඔවුන් දෙදෙනාත් එක්ව ලකුණු 33ක සබඳතාවයක් පැවැත්වූ අතර ඒ අතරින් ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු ග්‍රෑන්ඩ්හෝම් පන්දු 14කින් ලකුණු 19ක කෙටි ඉනිමක් ක්‍රීඩා කළේය. නවසීලන්ත ලකුණු පුවරුව 72/3ක් වශයෙන් සටහන් කරමින් ඔහු ද දැවී ගියේ දෙවන වරටත් ක්‍රියාත්මක වූ ක්‍රිස් ජෝර්ඩන්ගේ පන්දුවක් හමුවේ ය.

නැවත වතාවක් පිටියේ එක් අන්තයක හුදෙකලා වූ සෙයිෆාර්ට්ගේ මීළඟ සහයකයා බවට පත්වූයේ අත්දැකීම් බහුල පිතිකරු රොස් ටේලර් ය. 

නමුත් වැඩි වේලාවක් යාමට මත්තෙන් සෙයිෆාර්ට්ගේ ඉනිම ද හමාර කිරීමට සිදු වූයේ නවසීලන්තයට තවත් පීඩනය වැඩි කරමිනි. කෙසේ වෙතත් සාර්ථක ඉනිමක නිරත වූ සෙයිෆාර්ට් පන්දු 26ක දී ලකුණු 32ක් රැස්කළේ නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වෙමිනි. ඒ වන විට නවසීලන්තය පන්දුවාර 13.1ක දී කඩුලු 4ක් දැවී ලකුණු 93ක් පමණක් ලබා සිටියේ තරමක් මන්දගාමී පිතිකරණයක නියැළෙමිනි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මානසික ගැටලු

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ……….

එහෙත් නවසීලන්ත ඉනිමට නව ජීවයක් එක් වූයේ රොස් ටේලර් හා අංක 6 පිතිකරු ඩැරල් මිචෙල් අතර පැවැත්වූ ප්‍රවේගකාරී සබඳතාවය හේතුවෙනි. ඔවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 38ක් තුළ ලකුණු 56ක සාර්ථක සම්බන්ධතාවයක් පැවැත්වීය. 

ඊට වැඩි දායකතවයක් ලබා දුන් රොස් ටේලර් පන්දු 35ක දී ලකුණු 44ක් ලබා ගත්තේ හතරේ පහරවල් තුනක් හා එක් හයේ පහරක් තම ඉනිමට අන්තර්ගත කරගනිමිනි. නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ටේලර් පස්වැනි කඩුල්ල වශයෙන් විසිවැනි පන්දු වාරයේ දී දැවී ගියේ තම මංගල තරගයට ක්‍රීඩා කළ පැට් බ්‍රවුන්ගේ පළමු ගොදුර බවට පත්වෙමිනි. ටේලර්ට අනගි සහයක් ලබා දුන් ඩැරල් මිචෙල් ආක්‍රමණශීලී ලකුණු 30ක් රැස්කළේ යන්තම් පන්දු 17ක් තුළ දී ය. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර දෙකක් සහ එක් හතරේ පහරක් අන්තර්ගත විය. 

ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තේය.

ලකුණු 154ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ ජොනී බෙයාර්ස්ටෝ සහ ඩේවිඩ් මලාන් යුගලයයි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක සබඳතාවයක් පැවැත්වූ අතර ඊට වැඩි දායකත්වයක් ලබා දුන්නේ ජොනී බෙයාර්ස්ටෝ විසිනි. ඉනිමේ පළමු කඩුල්ල වශයෙන් ලකුණු 11ක් ලබා සිටි මලාන් දැවී ගියේ මිචෙල් සැන්ට්නර්ගේ පන්දුවක් හමුවේ ය. 

අනතුරුව පිටියට පිවිසියේ දකුණත් පිතිකරු ජේම්ස් වින්ස් ය. පසුව බෙයාර්ස්ටෝ-වින්ස් එක්ව ලකුණු 31ක සබඳතාවයක් පැවැත්වූයේ පන්දුවාර 9.5ක දී එංගලන්ත ලකුණු පුවරුව 68ක් දක්වා ඔසවා තබමිනි. ඒ සමඟින් යළිත් ක්‍රියාත්මක වූ සැන්ට්නර් තම දෙවන කඩුල්ල වශයෙන් බෙයාර්ස්ටෝගේ කඩුල්ල දවා ගත්තේ ඔහු ලකුණු 35ක් ලබා සිටිය දී යි.

ඒ සමඟින් පිටියට පිවිසි නායක ඔයින් මෝගන්, වින්ස් සමඟ එක්ව එංගලන්තයට ජයග්‍රහණයේ මාවත විවර කළේ නවසීලන්ත පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමිනි. 

මේ අතරින් කැපී පෙනෙන ඉනිමක් දියත් කළ ජේම්ස් වින්ස් පන්දු 38ක දී ආක්‍රමණශීලී ලකුණු 59ක් ලබා ගත්තේ නවසීලන්තයේ ජයග්‍රහණ සිහිනය බොඳ කර දමමිනි.  එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් හා දැවැන්ත හයේ පහර දෙකක් අන්තර්ගත විය. 

නවසීලන්තය වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා බවට පත්වූ මිචෙල් සැන්ට්නර්ගේ තෙවැනි ගොදුර බවට පත්වෙමින් වින්ස් දැවී ගියේ එංගලන්ත ලකුණු පුවරුව 122/3ක් බවට සටහන් කරමිනි.

ශකීබ්ට සාධාරණය ඉල්ලා ක්‍රිකට්ලෝලීන් කුපිත වෙයි!

ශකිබ් අල් හසන් හට පනවා තිබෙන තරග තහනමින්…….

ඉන් අනතුරුව මෝගන් සමඟ පිටියේ එක්වූ සෑම් බිලින්ග්ස් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර නායකත්වයේ ඉනිමක නියැලුණු මෝගන් පන්දු 21ක දී නොදැවී ලකුණු 21ක් ලබාගත්තේ ය. ඉනිම අවසන් වන විට ඔහු සමඟ නොදැවී පිටියේ රැඳී සිටි බිලින්ග්ස් පන්දු 11ක දී ලකුණු 14ක් ලබා ගත්තේය. ඒ සමඟින් එංගලන්තය තම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 18.3ක් තුළ දී ය.

මෙම තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට එංගලන්තය ජයග්‍රාහී මාවත කරා රැගෙන ගිය ජේම්ස් වින්ස් සමත් විය.

ඒ අනුව තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ලබා ගැනීමට සමත් විය. දෙරට අතර පැවැත්වෙන දෙවන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය එළඹෙන ඉරිදා(03) වෙලින්ටන්හීදී පැවැත්වීමට නියමිතව ඇත.

නවසීලන්තය – 153/5 (පන්දුවාර 20): රොස් ටේලර් 44(35), ටිම් සෙයිෆාර්ට් 32 (26), ඩැරල් මිචෙල් 30(17), ක්‍රිස් ජෝර්ඩන් 28/2 (4)

එංගලන්තය – 154/3 (පන්දුවාර 18.3): ජේම්ස් වින්ස් 59(38), ජොනී බෙයාර්ස්ටෝ 35(28), ඔයින් මෝර්ගන් 34*(21), මිචෙල් සැන්ට්නර් 23/3 (4)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<