සදීර සමරවික්‍රම තම ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කරයි

3402

සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට සමත් වූ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ප්‍රබල සටනක් ලබා දීමට අද (25) ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. ඒ දිනය නිමා වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 333ක් වාර්තා කරමිනි. ශ්‍රී ලංකා A පිළ වෙනුවෙන් පිත්තෙන් සුපිරි දක්ෂතා ප්‍රකට කිරීමට සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න සමත් වූ අතර පන්දුවෙන් තම කණ්ඩායමට උපරිම සේවයක් ඉටු කිරීමට මලින්ද පුෂ්පකුමාර සමත් විය.

Phoඑංගලන්ත මැදපෙළ පවුර ශ්‍රී ලංකා බලාපොරොත්තු දුරස් කරයි

සංචාරක එංගලන්ත ලයන්ස් පිළට එරෙහි නිල නොලත් සිව්දින ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද (24) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්…

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 9කට ලකුණු 339ක් රැස් කරගෙන සිටි එංගලන්ත ලයන්ස් පිළේ ප්‍රථම ඉනිම අද ලකුණු 353දී නිමාව දුටුවේය. ඒ මලින්ද පුෂ්පකුමාර තම වමත් පිට දඟ පන්දුවෙන් ලකුණු 19ක් ලබාසිටි ඔලී රේනර් දවා ගැනීමත් සමඟයි. ප්‍රිමියර් ලීග් දේශීය ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ වැඩිම කඩුලු ලාභියා ලෙස කිරුළු පැළඳි මලින්ද තේරීම් කමිටුව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින්ම සුරකිමින් ලකුණු 127ට කඩුලු 8ක් බිඳ හෙලීය. පසුගිය වසර කිහිපය මුළුල්ලේම දේශීය තරගාවලි වලදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කල ඔහු රංගන හේරත්ගෙන් පසු වමත් දඟ පන්දුවේ වගකීම භාර ගැනීමට සිටින ක්‍රීඩකයින් අතර ඉහළින්ම නම කියැවෙන ක්‍රීඩකයෙකි.

කෙසේ වෙතත් ලයන්ස් කණ්ඩායම ප්‍රථම ඉනිමට රැස්කල ලකුණු සංඛ්‍යාව හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළේ ආරම්භය එතරම් යහපත් නොවීය. ඒ තෙවැනි පන්දු වාරය ක්‍රියාත්මක කල ටොම් කුරාන් යැවූ පන්දුවක් යන්තමින් පිත්තේ ගැටී කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් අතට ඇදී යාම නිසා උදාර ජයසුන්දරට වේලාසනින්ම පිටිය හැර යන්නට සිදු වූ බැවිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි රොන් චන්ද්‍රගුප්ත ද රෝලන්ඩ් ජෝන්ස්ගේ වේග පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දී දැවී යන විට ලබා සිටියේ එක් ලකුණක් පමණි.

පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමි කරගෙන තම ක්‍රීඩා දිවියේ සුබ ගමනකට මුලපුරා සිටින සඳුන් වීරක්කොඩි අද ලකුණු 14ක් ලබා සිටිය දී ඔලී රේනර්ගේ දඟ පන්දුවක් හමුවේ දැවී ගියේ කඩුල්ල මුවා කල බවට ලැබුණු විනිසුරු තීරණය හමුවේයි. ඒ වන විට ශ්‍රී ලංකා A කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 30ක් ලෙස සටහන් වූ අතර එංගලන්තය ලයන්ස් පිළ දෙවැනි ටෙස්ට් තරගයේදීත් තම ආධිපත්‍යය පතුරවන බව දැක ගන්නට ලැබුණි.

නමුත් ශ්‍රී ලංකාව ඇද වැටී තිබූ මෙම බැරෑරුම් අවස්ථාවෙන් තම කණ්ඩායම ගලවා ගත් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න සිව්වැනි කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට සබඳතාවයකට මුල පුරන්නේ එතැන් සිටයි. නිමා වූ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව පසු කල එකම පිතිකරු බවට පත්වූවත් ලයන්ස් පිළ සමඟ ප්‍රථම ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට වරම් නොලද සදීරට ශ්‍රී ලංකා A කණ්ඩායමට හදිසි කැඳවීමක් ලැබෙන්නේ ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකාවට හිමි වුනු දරුණු පරාජයත් සමඟයි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කලත් අද දිනයේ අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි 21 හැවිරිදි මෙම යොවුන් පිතිකරුවා ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගන්නේ එංගලන්තයට සියලු ගෞරව හිමිව තිබූ වටපිටාවක් තුලයි. පිටිය සිසාරා එල්ල වුනු හතරේ පහර 25ක් සමගින් ඔහු නොදැවී ලකුණු 177ක් රැස් කළේ තරග ජයග්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටි ලයන්ස් ක්‍රීඩකයින්ගේ නළලත රැළි ගන්වමිනි. ඔහු අද වාර්තා කළේ තම පළමු පෙළ තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න අද දිනය නිමා වන තුරුම තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් හතරේ පහර 15ක් සමගින් නොදැවී ලකුණු 140ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා මේ වන විට සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 303ක විශිෂ්ට සබඳතාවයක් පිහිටුවීමට සමත්ව සිටියි. හෙට දිනයේ දී එංගලන්ත ලයන්ස් ප්‍රථම ඉනිම අභිබවා වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ධනංජය සිල්වා සහ රොෂේන් සිල්වා වැනි පිතිකරුවන්ද ශ්‍රී ලංකා කණ්ඩායම සතුවන නිසා මෙම තරගය ජයග්‍රහණයකින් කෙලවර කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දැන් හොඳ අවස්ථාවක් උදා වී ඇත.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 353 (පන්දුවාර 97.5): ලියාම් ලිවින්ග්ස්ටන් 105, ටොම් වෙස්ට්ලි 68, කීතන් ජෙනින්ග්ස් 44, බෙන් ෆෝක්ස් 30, මැතිව් ලීච් 22*, ඔලී රේනර් 19, මලින්ද පුෂ්පකුමාර 8/127, අසිත ප්‍රනාන්දු 1/41, ධනංජය ද සිල්වා 1/44.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 333 (පන්දුවාර 79): සදීර සමරවික්‍රම 177*, දිමුත් කරුණාරත්න 140*, සඳුන් වීරක්කොඩි 14, ටොම් කුරාන් 1/31, රෝලන්ඩ් ජෝන්ස් 1/38.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව