එංගලන්ත මැදපෙළ පවුර ශ්‍රී ලංකා බලාපොරොත්තු දුරස් කරයි

554
SL A vs ENG LIONS - 2nd Match - Day 1

සංචාරක එංගලන්ත ලයන්ස් පිළට එරෙහි නිල නොලත් සිව්දින ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද (24) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගාවලියේ ප්‍රථම තරගය ලකුණු 195කින් ලයන්ස් කණ්ඩායම ජය ගැනීම නිසා තරගාවලිය ගෞරවාන්විත ලෙස නිමා කිරීමට නම් ශ්‍රී ලංකා A කණ්ඩායම මෙම තරගයෙන් අනිවාර්යයෙන්ම ජයගත යුතු වූ නමුත් පළමු දිනය නිමා වෙද්දී පවතින්නේ ශ්‍රී ලංකාවට එතරම් සුබදායක තත්වයක් නොවේ.

සහෝදරයින්ගේ සටනේ දී දෙපිළේම ක්‍රීඩකයින් උද්වේගකර සටනක

අද උදෑසන කාසියේ වාසිය ජය ගත් එංගලන්ත නායක කීතන් ජෙනින්ග්ස් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතුකර ගත්තේ ප්‍රථම තරගයේ දී ජයග්‍රහණය වෙනුවෙන් මඟ පෑදූ ආරම්භක සාධකය එය වූ බැවිනි. ඒ අනුව ඉනිම ආරම්භක කළ කීතන් ජෙනින්ග්ස් සහ හසීබ් හමීඩ් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක් රැස් කරමින් සෙසු පිතිකරුවන්ට පීඩනයකින් තොරව ලකුණු රැස් කිරීම සඳහා අඩිතාලම දමා දුන්හ. ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන ජෙනින්ග්ස් හතරේ පහර 7ක් අන්තර්ගත කරමින් රැස්ක ල ලකුණු 44 මෙහි දී වැඩි වැදගත්කමක් ඉසිලීය.

එංගලන්ත ලයන්ස් ඉනිම ලකුණු 77ට කඩුලු 3ක් ලෙස සටහන් වූ මොහොතේ පටන් පිටියේ එක්වුනු ලියාම් ලිවින්ග්ස්ටන් සහ ටොම් වෙස්ට්ලි එංගලන්තයට අවශ්‍යම කරන අවස්ථාවේ විශිෂ්ට පිතිකරණයක යෙදෙමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් (110) පැවැත්වීමට සමත් වූහ. ලයන්ස් පිළේ මැදපෙළ පවුර ලෙසින් ක්‍රීඩා කරන මොවුන් දෙදෙනා තම කණ්ඩායමට අවශ්‍ය අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර මෙම තරගාවලියේදීම පුහුණු තරගයේදී සහ ප්‍රථම ටෙස්ට් තරගයේදී මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම දිනයේදීම ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වා ගැනීමට අවස්ථාව ලබා නොදුන් දකුණත් පිතිකරු ලියාම් ලිවින්ග්ස්ටන් හතරේ පහර 11ක් සමගින් ලකුණු 105ක් රැස්කල අතර ටොම් වෙස්ට්ලි ද ලකුණු 68ක් රැස්කළේ දර්ශනීය හතරේ පහර 11කින් තම ඉනිම රස ගන්වමිනි. මොවුන් දෙදෙනා අතර ගොඩනැගෙමින් තිබූ දැවැන්ත සබඳතාවයට නැවතීමේ තිත තබමින් අද සවස් භාගයේදී ක්‍රියාත්මක වුනු මලින්ද පුෂ්පකුමාර ඔවුන් දෙදෙනාවම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

තම සහෝදර පන්දු යවන්නන්ගෙන් එතරම් සහයක් නොලැබුණත් තම වමත් පිට දඟ පන්දුව ශ්‍රී ලංකා පිළේ ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් අවියක් ලෙස භාවිතා කල මලින්ද ලකුණු 114කට කඩුලු 7ක් බිඳ හෙලීය. මීට අමතරව අද එක් කඩුල්ලක් හෝ බිඳ හෙලීමට සමත් වූයේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පමණි.

ලයන්ස් පිළේ අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි බෙන් ෆෝක්ස් ලකුණු 30ක් රැස්කල අතර මේ වනවිට නොදැවී පන්දුවට පහර දෙන ඔලී රේනර් සහ මැතිව් ලීච් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක නොබිඳුණු සබඳතාවයක් පිහිටුවා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අමතර හිසරදයක් බවට පත්වෙමිනි. ප්‍රථම දිනයේදී පන්දුවාර 91කට මුහුණ දුන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම එහිදී කඩුලු 9කට ලකුණු 339ක් රැස්කර තිබීම නිසා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි දිනයේදී වගකීම් සහගතව ක්‍රීඩා නොකල හොත් ප්‍රථම තරගයේදී අත්වූ ඉරණම දෙවැනි තරගයේදී ද අත්වීම වළක්වාලිය නොහැකි වනු ඇත.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 339 (පන්දුවාර 91): ලියාම් ලිවින්ග්ස්ටන් 105, ටොම් වෙස්ට්ලි 68, කීතන් ජෙනින්ග්ස් 44, බෙන් ෆෝක්ස් 30, මැතිව් ලීච් 17*, හසීබ් හමීඩ් 15, මලින්ද පුෂ්පකුමාර 7/114, අසිත ප්‍රනාන්දු 1/41, ධනංජය ද සිල්වා 1/43.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව