ධර්මරාජ හා ඩී. එස්. ක්‍රීඩකයින්ට A කාණ්ඩයේ දොර වැසේ

574

අවාසනාවන්ත ලීග් තරගාවලියකින් අනතුරුව 2013 අපරාජිතව සිංගර් පාසල් ලීග් රග්බි ශූරතාවය දිනූ මහනුවර ධර්මරාජ විද්‍යාලය හා තරගාවලිය පුරා දක්ෂතාවයේ අඩුවක් නොව වාසනාවේ අඩුවක් තිබූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ලබන වසරේ දී B කාණ්ඩය දක්වා පහළ වැටෙනු ඇත. A කාණ්ඩයේ පලඟ ශූරතාවට ඇද වැටුණු ඔවුන් පලඟ ශූරතාවේ පළමු ස්ථාන හතරට පිවිසීමට සමත් වූයේ නැත.

මලියදේවයින් A කාණ්ඩයේ සිහිනය සැබෑ කර ගනී

සිය පාසල් රග්බි ඉතිහාසයේ නවතම පරිච්ඡේදයක් ලියන්නට කුරුණෑගල මලියදේව විද්‍යාලය අද (10) …

පසුගිය සති අන්තයේ දී  සිංගර් පාසල් ලීග් රග්බි තරගාවලිය අවසන් වූ අතර ප්‍රබල රාජකීය විද්‍යාලය අපරාජිතව ලීග් ශූරතාවය දිනා ගැනීමට සමත් විය. පලඟ ශූරතාවේ සති හතර පුරා සිදු වූ පෙරළි රැසකට පසුව මංගල A කාණ්ඩ සිහිනය සැබෑවක් කර ගැනීමට කුරුණෑගල මලියදේව විද්‍යාලය සමත් වූ අතර ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ද B කාණ්ඩයේ සිට නැවත A කාණ්ඩයට පිවිසීමට සමත් විය.    

2013 වසරේ අපරාජිත ලීග් රග්බි ශූරයින් වූ ධර්මරාජ විද්‍යාලයට 2013 වසරෙන් පසුව නැවතත් සිය හිස එසවීමට ලැබුණේ නැත. ඉන් පසුව ගත වූ වසර හතරම (2014-2017) ධර්මරාජ විද්‍යාලය පලඟ ශූරතාවේ ක්‍රීඩා කළ අතර එකදු අවස්ථාවකවත් කුසලාන ශූරතාවේ ක්‍රීඩා කරන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත.   

IIA කාණ්ඩයේ ක්‍රීඩා කළ ධර්මරාජ විද්‍යාලය බවන්ත උඩන්ගමුවගේ නායකත්වයෙන් තරග වැදුණු අතර පළමු වටයේ දී එකදු තරගයක් හෝ ජය ගැනීමට ඔවුන් සමත් වූයේ නැත. පළමු වටයේ සයවැනි ස්ථානයට පත්ව පලඟ ශූරතාවයට ඇද වැටුණු ඔවුන් එකදු ප්‍රසාද ලකුණක් හෝ ලබා නොගෙන ප්‍රතිවාදීන්ට තරග 5ක දී ප්‍රතිවාදීන්ට ලකුණු 171ක් ලබා දීම විශේෂත්වයක් විය.    

තරග 5ක දී උත්සාහක දිනුම් අටක් සමඟින් ධර්මරාජ ක්‍රීඩකයෝ රැස්කළේ ලකුණු 52ක් පමණි.

ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා රටාව පලඟ ශූරතාවලියේ ද එලෙසම පැවති අතර සාන්ත තෝමස්, විද්‍යා, සාන්ත අන්තෝනි කණ්ඩායම් හමුවේ ඔවුන් පරාජය වීම නිසා ලකුණු සටහනේ හත්වැනි ස්ථානයට පත් වන්නට සිදු විය. ඔවුන් වාර්තා කළ එකම ජයග්‍රහණය මහනුවර විද්‍යාර්ථ  විද්‍යාලයට එරෙහිව වාර්තා වූ අතර 24-00 සිට 24-29ක් ලෙස දෙවන අර්ධයේ දී අනපේක්ෂිත විශිෂ්ට ජයක් වාර්තා කරන්නට ඔවුන් සමත් විය.

වරෙක පාසල් රග්බි පිටියේ ප්‍රබල අපරාජිත කණ්ඩායමක් වූ මහනුවර ලේක් විව් කන්දේ ක්‍රීඩකයින්ට නැවත වරක් තමන්ගේ අනාගතය ගැන සිතන්නට කාලය උදා වී ඇති අතර 2014 සිට 2018 දක්වා සිදු වූ දෑ වහා නිවැරදි කරගෙන නැවතත් A කාණ්ඩයට පිවිසීමට දැන් සිටම ඔවුන් සැලසුම් ඇරඹිය යුතුව ඇත.  

2016 දී පළමු වරට A කාණ්ඩයට පිවිසුණු කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය වසර තුනක් A කාණ්ඩයේ රැඳී සිටින්නට සමත් වූ අතර මේ වසරින් ඔවුන්ගේ A කාණ්ඩයේ ධාවනය අවසන් වනු ඇත.

පළමු තරගයේ සිටම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඩී. එස්. කණ්ඩායමේ ‘වාසනාවේ සිදුරක්’ තිබුණු අතර පළමු තරගයේ දී ම ජයග්‍රහණය පෙනී පෙනී එක ලකුණකින් ඉසිපතනයට පරාජය වන්නට ඔවුන්ට සිදු විය.  

සහිරා විද්‍යාලය සමඟ පැවති ආර්. අයි. ටී. අලස් අනුස්මරණ මහා රග්බි තරගය ද නොසිතූ ලෙස පරාජය වූ ඔවුන් පලඟ ශූරතාවේ දී සාන්ත තෝමස්, විද්‍යාර්ථ හා සාන්ත අන්තෝනි විදුහල් හමුවේ පරාජය විය. ඔවුන් ජය ගත් එකම තරගය හැව්ලොක් පිටියේ දී පැවති අතර තියුණු තරගයකට අනතුරුව ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ලකුණු 29-15ක් ලෙස පරාජය කරන්නට ඔවුන් සමත් විය.

රාජකීය රග්බි අභිමානයට වචන එක්කරමි

ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි පිටිය තුළ පවා ඔවුන්ගෙන් තරම් නිර්වද්‍ය සහ අලංකාර රෝලින් …

ඩී. එස්. ක්‍රීඩකයෝ පලඟ ලකුණු ශූරතාවේ ලකුණු 15ක්  සමඟින් සයවැනි ස්ථානයේ තරගාවලිය අවසන් කළ අතර නැවත A කාණ්ඩයට පිවිසීම සඳහා ඔවුන්ට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 3ක් පමණි.

ධර්මරාජ හා ඩී. එස්. කණ්ඩායම් දෙකම ඔවුන්ගේ උපරිම දක්ෂතාවලට පිවිසීමට තරගාවලිය පුරා අසමත් වූ අතර B කාණ්ඩයේ පෙරමුණ ගෙන පලඟ ශූරතාවලියට පැමිණ නැවත A කාණ්ඩයට රන් වරම දිනා ගැනීම ඔවුන්ගේ එකම අරමුණ වනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පාසල් රග්බි ලීග් තරගාවලියේ නව තරග ආකෘති වෙනසක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කර ඇති අතර නව ආකෘතියක් ඉදිරිපත් වුවහොත් මේ කණ්ඩායම් දෙක කුමන කාණ්ඩයක ක්‍රීඩා කරයි දැයි තවමත් අවිනිශ්චිතය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<