Virgil van Dijk: මරු කටේ සිට ශ්‍රේෂ්ඨත්වය කරා

138
Soccer Football - Champions League Group Stage draw - Grimaldi Forum, Monaco - August 29, 2019 Liverpool's Virgil van Dijk with the UEFA Men’s Player of the Year and Champions League Defender of the Season awards REUTERS/Eric Gaillard

Virgil van Dijk මීට දශකයකට පමණ පෙර මාරයා සමඟ දැඩි සටනක නිරත වන අතරතුර සිය අවසන් කැමති පත්‍රය ද අත්සන් කොට, ඉන් ජයගෙන අනතුරුව පාපන්දු ලෝකයේ ද හිණිපෙත්තට ම නැඟි සුපිරි ක්‍රීඩකයෙකි. 

“ඒ මගේ අන්තිම කැමති පත්‍රය. මම එහි දී මරණයට පත්වුණොත් මගේ සල්ලි වලින් කොටසක් මගේ අම්මට ලැබෙන්න සැලැස්වූවා. කාටවත් ඒක ගැන කතා කරන්න ඕනේ වුනේ නැහැ. නමුත් අපිට ඒක කරන්න සිද්ධ වුනා. මොකද සියල්ල එතැන දී අවසන් වෙන්න ඉඩ තිබුණා.” එම අඳුරු මතකයන් සිහි කැඳවමින් van Dijk පැවසීය. 

ඒ අනුව Virgil van Dijk යන නම ඇසූ පමණින් ඕනෑම කෙනෙකුගේ මතකයට එන්නේ ඔහු පසුගිය තරග වාරයේ දැක්වූ සුපිරි දක්ෂතා වුවත් එම දක්ෂතා පසුපස බොහෝ දෙනෙක් නොදන්නා කතාවක් ඇති බව පසුගිය දිනෙක අනාවරණය විය.  

කොරෝනාවට ඔලිම්පික් වැනසීමට ඉඩ නොදෙයි

මේ දිනවල දී ලොව පුරා ප්‍රධාන කතාබහ බවට පත්වී ඇති කොරෝනා …………..

පසුගිය තරග වාරය පුරාවට එංගලන්තයේ Liverpool ක්‍රීඩා සමාජයේ මෙන්ම නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ ද පසුපෙළ ශක්තිමත් කරමින් එහි නායකත්වය ද දරමින් දැක්වූ විශිෂ්ට දක්‍ෂතා හරහා ලොව සිටින සුපිරිතම පාපන්දු ක්‍රීඩකයින් අතරට සිය නාමය එක්කර ගන්නට ඔහු මේ වන විට සමත්ව සිටී.  

කෙසේ නමුත් 2012 වසරේ සිදු වූ සිදුවීමක් හේතුවෙන් ඔහුගේ මේ දක්‍ෂතාවන් පාපන්දු ලෝකයට දැකබලා ගන්නට අවස්ථාව අහිමිව යන්නට ඉඩ තිබුණු බව පසුගිය දා අපට දැනගන්නට ලැබුණි. ඒ බව අනාවරණය වූයේ ඔහු සිය වෘත්තීය පාපන්දු දිවිය ආරම්භ කරමින් නෙදර්ලන්තයේ FC Groningen ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරමින් සිටි අවදියේ එහි අතිරේක පුහුණුකරු ලෙස කටයුතු කළ Dick Lukkien කළ හෙළිදරව්වක් සමඟ යි. 

van Dijk Groningen ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින්

ඒ අනුව 2012 වසරේ දී van Dijk හට පාපන්දු පිටියට පමණක් නොව ඔහුගේ ජීවිතයට ද තිත තබන්නට සිදුවීමට ඉඩ තිබූ අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය.

Eredivisie ලීග් තරගාවලිය යටතේ Excelsior කණ්ඩායම සමඟ පැවති තරගයකින් අනතුරුව van Dijk අසනීප තත්වයකට ගොදුරු වී ඇති අතර අදාළ නිලධාරීන් මුලින් සිතා ඇත්තේ එය සාමාන්‍ය අසනීප තත්වයක් වන බවයි. 

“ඔහු අසනීපයෙන් සිටියේ. නමුත් අපි දැනගෙන හිටියේ නෑ ඒක කෙතරම් බරපතල එකක් ද කියලා. අපි මුලින් සිතුවේ ඒක සාමාන්‍ය උණ තත්වයක් කියලා.” ඒ පිළිබඳව අදහස් දැක්වීම ආරම්භ කරමින් Lukkien පැවසීය. 

අනතුරුව ඔහු ඒ ආසන්නයේ පැවති රෝහලකට ගොස් ඇතත් ඔවුන්ට ඔහුගේ රෝගය කුමක් දැයි සොයාගැනීමට හැකිවී නොමැත. 

“ඔහු දවස් කිහිපයක් ම නිවසේ රැඳී සිටියා. නමුත් ඔහු ලොකු වේදනාවකින් හිටියේ. ඒ නිසා ඔහු ඒ ආසන්නයේ තිබුණ රෝහලකට ගියත් ඔවුන්ට ඔහුගේ රෝගයට අදාළ මොනවත් හොයාගන්න බැරිවුණ නිසා ඔවුන් ඔහුව නැවතත් එවලා තිබ්බා.” ඔහු වැඩිදුරටත් පැවසීය. 

පසුව van Dijkගේ මව ඔහුගේ තත්වය පිළිබඳව දැනුවත් වී ඇති අතර ඇය නොවන්නට ඔහුගේ ජීවිතය එතැනින් කෙළවර වන්නට ඉඩ තිබුණි. 

“දිනෙන් දින ඔහුගේ වේදනාව වැඩි වෙන්න ගත්තා. පස්සේ ඔහුගේ මව ඔහුව බලන්න ආවට පස්සේ තමයි ඇයට තේරුණේ ඔහුගේ තත්වේ බරපතලකම. ඇය ඉක්මණින්ම ඔහුව වෙනත් රෝහලකට රැගෙන ගියා. එතකොට තමයි අපිට දැනගන්න ලැබුණේ ඔහුගේ තත්වය කොතරම් බරපතල ද කියලා.”

එහි දී සිදුකරන ලද පරීක්ෂණ හරහා හෙළිවූයේ van Dijk හට ‘appendicitis(උණ්ඩුකපුච්ඡය පුපුරා යාම) සහ peritonitis’ (අන්ත්‍රාවරණය ඉදිමීම) රෝග තත්වයන් වැළඳී ඇති බවත් තවදුරටත් ඔහු වකුගඩු ආසාදන තත්වයකට ද ගොදුරු වී ඇති බවත් ය. ඒ අනුව වෛද්‍යවරුන් එහි දී ඔහුව වහාම ශල්‍යකර්මයකට ලක්කර ඇති අතර එය සාර්ථක වීමෙන් අනතුරුව ඔහුට ඊළඟ දින කිහිපය දැඩි සත්කාර ඒකකයේ ගතකිරීමට සිදුව ඇත. 

“මට තාම හොඳට මතකයි මම ඇඳේ වැටිලා හිටපු විදිහ. මම ‘appendicitis’ සහ ‘peritonitis’ රෝගවලට සහ වකුගඩුවල ආසාදන තත්වයකට ගොදුරු වෙලා ඉදලා තියෙන්නේ. ඒ ගොඩක් අවස්ථාවල දී රෝගියා මරණයට පත්වෙනවා. මට එහෙම ඉන්නකොට පෙනුණ එකම දේ මගේ ඇඟෙන් ‘tube’ එල්ලෙනවා විතරයි. මඟේ ඇඟ සම්පූර්ණයෙන්ම අක්‍රීය වෙලා තිබුණේ. මට කිසිම දෙයක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ.” එම සිදුවීම පිළිබඳ මතකයට නගමින් van Dijk පවසා සිටියේ ය. 

ඔහු කෙතරම් බරපතල තත්වයක පසුවුණේ ද යත් ඔහුට එහි දී සිය අවසන් කැමති පත්‍රය අත්සන් කිරීම දක්වා තරම් දුරකට පවා යාමට සිදුවිය.

“ඒ වගේ වෙලාවක ඕනම කෙනෙක්ගේ හිතට එන්නේ වෙන්න පුළුවන් නරකම දේවල් ගැන. මගේ ජීවිතේ ඒ වෙලාවේ අනතුරේ තිබ්බේ. මමයි අම්මයි දෙන්නම දෙවියන්ට යාච්ඤා කළා. ඒ වගේම ඉදිරියට වෙන්න පුළුවන් දේවල් ගැනත් කතා කළා. එක් අවස්ථාවක දී මට ලියකියවිලි කිහිපයක් ද අත්සන් කරන්න සිදුවුණා. ඒ මගේ අන්තිම කැමති පත්‍රය. මම එහි දී මරණයට පත්වුණොත් මගේ සල්ලි වලින් කොටසක් මගේ අම්මට ලැබෙන්න සැලස්වුණා. කාටවත් ඒක ගැන කතා කරන්න ඕනේ වුණේ නැහැ. නමුත් අපිට ඒක කරන්න සිද්ද වුණා. මොකද සියල්ල එතැන දී අවසන් වෙන්න ඉඩ තිබුණා.” Van Dijk වැඩිදුරටත් පැවසීය.

ඔහු මෙහි දී තවදුරටත් පවසා සිටියේ පළමු වතාවට ඔහුගේ ජීවිතයට පාපන්දු ක්‍රීඩාව අවශ්‍ය බව නොහැඟුණු බවයි.

“මම මරණයට ඉතා ආසන්නව හිටියේ. ඒක ගොඩක් බියකරු අත්දැකීමක්. මගේ ජීවිතයේ පළමු වතාවට Football මට අවශ්‍යයි හෝ මගේ ජීවිතයේ කොටසක් කියලා දැනුණේ නැහැ. ඒකේ වැදගත්කමක් තිබ්බේම නැහැ. මොකද ඒ වෙලාවේ වැදගත් වුනේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක විතරයි.” ඔහු පැවසීය.  

“එහි දී වෛද්‍යවරුන් මට පවසා සිටියා ඔහුගේ ඉහළ ශාරීරික යෝග්‍යතාවය නිසා තමයි ඔහුට එහි දී ඒ තත්වයෙන් මිදිලා ජීවත් වෙන්න පුළුවන් වුණේ කියලා.” van Dijkගේ මව එම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියා ය. 

“ඔහු සුවය ලබලා ආවට පස්සේ ඔහුව දැකලා මම පුදුමයට පත්වුණා. මොකද ඔහු විශාල පුද්ලයෙකුගේ සිට වැහැරුණු පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙලා හිටියේ. නමුත් මට මතකයි මම ඔහු නැවත පැමිණීම ගැන ගොඩක් සතුටට පත්වුණා. මොකද අපි හැමෝම ගොඩක් බයෙන් හිටියේ ඔහු වගේ දක්‍ෂ ක්‍රීඩකයෙක් අපට නැතිවෙයි කියලා.” Lukkien එහි දී van Dijk සුවය ලැබීමෙන් අනතුරුව නැවතත් කණ්ඩායම සමඟ එක්වීම පිළිබඳව අදහස් දක්වමින් පැවසීය. 

ඒ ආකාරයට මරු කටෙන් ගැලවී වසර 9ක් ඉදිරියට පැමිණි පසු අද අපට දිස්වන්නේ ලෝකයේ සිටින විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයින් අතරට සිය නාමය එක්කරගෙන සිටින ප්‍රබල ක්‍රීඩකයෙකි. 

වැසිකිළි පවිත්‍ර කරන, වතුර බෝතල් රැගෙන යන සුපිරි පාපන්දු තරුව

Sadio Mane පාපන්දු පිටිය තුළ දක්වන සුපිරි දක්‍ෂතා හරහා පමණක් නොව ඉන් පිටත දී දක්වන ..

Groningen සමඟ දැක්වූ දක්‍ෂතා හරහා van Dijk 2013 වසරේ දී ස්කොට්ලන්තයේ ප්‍රබල Celtic ක්‍රීඩා සමාජය සමඟ එක්වීමට සමත් වූ අතර ඉන් වසර දෙකකට අනතුරුව ඔහු එංගලන්තයේ Premier League තරගාවලියේ Southampton ක්‍රීඩා සමාජය සමඟ එක්වීමට වරම් ලැබීය. 

එහි දී වසර 3ක කාලයක් පුරාවට දැක්වූ විශිෂ්ට දක්ෂතා හරහා යුරෝපයේ සිටින ප්‍රබලතම පාපන්දු ක්‍රීඩා සමාජ සියල්ලේම පාහේ අවධානය තමන් වෙත යොමුකර ගැනීමට සමත් වූ ඔහු 2018 ජනවාරි මාසයේ දී යූරෝ මිලියන 75ක මිලකට එංගලන්තයේ ප්‍රබල Liverpool ක්‍රීඩා සමාජය සමඟ එක්වන්නේ ලොව මිලෙන් අධිකම ආරක්ෂක ක්‍රීඩකයාට හිමි වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරගනිමිනි. 

van Dijk, Liverpool ක්‍රීඩා සමාජය සමඟ අත්සන් තබමින්’

එතැන් පටන් ඔහුගේ පාපන්දු දිවියේ හැරවුම් ලක්‍ෂය සනිටුහන් වන අතර Liverpool වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම Everton කණ්ඩායමට එරෙහිව ගෝලයක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායමට එම තරගයේ ජයග්‍රහණය හිමිකර දෙන්නේ සාර්ථක අනාගතයක පෙරනිමිති පහළ කරමිනි.  

සිය පළමු තරග වාරයේ දී ම Liverpool කණ්ඩායම UEFA (Union of European Football Associations) ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය කරා රැගෙන යන්නට ඔහු විශාල දායකත්වයක් සැපයීය. එහි දී ඔවුන් අවසන් මහා තරගය Real Madrid හමුවේ ගෝල 1-3ක් ලෙස පරාජයට පත්වුවත් තරගාවලියේ පිළිමනුන් පිටුදැකීමේ වටයේ සිට ඔහු කණ්ඩායමට ලබාදුන් දායකත්වය පාපන්දු විචාරකයින්ගේ දැඩි පැසසුමට ලක්විය.

අනතුරුව එළඹි 2018/19 තරග වාරයේ දී ඔහුගේ දක්ෂතා ඉහළින්ම කැපී පෙනෙන්නට විය. එහි දී Liverpool කණ්ඩායම UEFA ශූරයින්ගේ කුසලානයේ සහ FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමේ දී ඔහු කණ්ඩායමේ පසුපෙළ ශක්තිමත් කරමින් ලබා දුන් දායකත්වය අතිමහත් ය. 

van Dijk UEFA ශූරයින්ගේ කුසලාන ශූරතාවය සමඟ

එමෙන්ම Liverpool තවදුරටත් Premier League දෙවන ස්ථානය දිනා ගැනීමට ද මෙහි දී සමත් වූ අතර van Dijkගේ ආගමනයට පෙර දුර්වල ආරක්‍ෂිත ක්‍රීඩා විලාශය වෙනුවෙන් නිරන්තර විවේචනයට ලක්වූ ඔවුන් මෙම තරගාවලියේ තරග 38 තුළ ප්‍රතිවාදීන් හට ලබා දුන්නේ ගෝල 22ක් පමණි. මෙය එම තරග වාරයේ Premier League තරගාවලිය තුළ කණ්ඩායමක් ලබා දුන් අඩුම ගෝල සංඛ්‍යාව ලෙස ද සටහන් විය. 

තවදුරටත් පසුගිය කාලය පුරාවට දැඩි පසුබෑමකට ලක්ව තිබූ නෙදර්ලන්ත ජාතික පාපන්දු කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් ඔවුන්ව 2018/19 UEFA Nations League තරගාවලියේ අනුශූරතාවය කරා රැගෙන යාමේ දී මෙන්ම ඔවුන් මේ වන විට ජාත්‍යන්තර පාපන්දු පිටියේ සිටින ප්‍රබලතම කණ්ඩායමක් බවට පරිවර්තනය කිරීමේ දී ඔහු ලබා දුන් දායකත්වය ඇති මහත් ය. 

Corona පරදන්න පාපන්දු ලොව එක්වෙයි

මේ වන විට ලෝක වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන නව කොරෝනා වෛරසය ..

එමෙන්ම පසුගිය තරග වාරය පුරාවට කිසිඳු තරගාවලියක දී එකඳු ක්‍රීඩකයෙකු හෝ ඔහු හමුවේ ‘dribble’ කර ඔහුව පසුකර යාමට සමත් නොවීම කාගේත් දැඩි කතාබහට ලක්වන්නට වූ අතර එය ඔහු ආරක්‍ෂක ක්‍රීඩකයෙකු ලෙස කෙතරම් පරිපූර්ණ ද යන්න මැනෙවින් විදහා දක්වයි.

මේ දක්ෂතා සියල්ල වෙනුවෙන් van Dijk එම තරග වාරයේ UEFA වසරේ හොඳම පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානයෙනුත්, එංගලන්ත පාපන්දු තරගාවලි තුළ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි PFA වසරේ පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානයෙනුත්, UEFA වසරේ හොඳම ආරක්‍ෂක ක්‍රීඩකයාට හිමි සම්මානයෙනුත් පිදුම් ලැබූ අතර ඒත් සමඟ ම ඔහු UEFA වසරේ හොඳම පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ආරක්‍ෂක ක්‍රීඩකයා ලෙස ද, 2004-05 තරග වාරයේ John Terryගෙන් පසුව PFA වසරේ පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ආරක්‍ෂක ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසයට එක්වන්නට විය. 

van Dijk UEFA වසරේ පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානය ලබාගනිමින්

තවදුරටත් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන Ballon d’or සම්මානයේ දී Lionel Messiට පසුපසින් එහි දෙවන ස්ථානය ද දිනා ගැනීමට ඔහු සමත් වූයේ 2006 වසරේ දී Fabio Cannavaro එම සම්මානය දිනා ගැනීමෙන් පසුව එහි පළමු ස්ථාන 3 අතරට පැමිණි පළමු ආරක්‍ෂක ක්‍රීඩකයා බවට ද පත්වෙමිනි. තවදුරටත් ඔහු FIFA හොඳම පිරිමි පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානයේ ද දෙවන ස්ථානය තහවුරු කරගැනීමට සමත් විය.  

මෙම දක්‍ෂතා මෙම තරග වාරයට ද ඒ ආකාරයටම රැගෙන ආ ඔහු Liverpool මේ වන විට සිය පළමු Premier League කිරුළ කරා මෙහෙය වීමේ දී තවදුරටත් විශිෂ්ට දස්කම් දක්වමින් සිටින අතර UEFA ශූරයින්ගේ කුසලානයේ ද පිළිමනුන් පිටුදැකීමේ වටය කරා ඔවුන් මේ වන විට සුදුසුකම් ලබා ඇත.

එංගලන්තයේ පාපන්දු ක්‍රීඩාව තුළ සිටින විශිෂ්ටතම කණ්ඩායමක් ලෙස සැලකෙන Liverpool පසුගිය කාලය පුරාවට දැඩි පසුබෑමකට ලක්ව තිබුණත් ඔවුන් මේ වන විට නැවතත් අති ප්‍රබල කණ්ඩායමක් බවට පරිවර්තනය වී ඇති අතර ඒ සඳහා පුහුණුකරු Jurgen Kloppගේ මාර්ගෝපදෙෂකත්වයත්, Mo Salah, Sadio Mane, Alisson Becker සහ AlexanderArnold වැනි ක්‍රීඩකයින් ප්‍රමුඛ මුළු කණ්ඩායමේම දායකත්වය ඉවහල් වුවත් බොහෝ පාපන්දු විචාරකයින්ගේ මතය අනුව මෙම පරිවර්තනය සඳහා මූල බීජය පැළ වූයේ van Dijk ඔවුන් සමඟ එක්වීම හරහා ය. පසුගිය කාලය පුරාවට ඔහු අඛණ්ඩව දැක්වූ දක්‍ෂතා ඊට මැනෙවින් සාක්‍ෂි සපයයි.

ඒ අනුව මාරයා සමඟ සටන් වැදීමේ සිට ලොව හොඳම ක්‍රීඩකයින් අතරට එක්වීම දක්වා van Dijk දිගු ගමන්මගක් පැමිණ ඇති අතර ඔහු දක්වන දක්‍ෂතා ඉදිරි කාලය පුරාවට ද පාපන්දු ලෝලීන්ට දැකගැනීමට හැකිවනු ඇති බව නොඅනුමාන ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<