ඩී. එස්. විදුහල කොළ පාටින් සායම් කළ ඉසිපතන මෙහෙයුම

2383
DS v Isipathana Rugby

ලකුණු 69-13ක් වශයෙන් ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කළ ඉසිපතන විදුහල් රග්බි කණ්ඩායම, පාසල් රග්බි ලීගයේ සයවැනි සතියේ සිය ආධිපත්‍ය තහවුරු කළේය.

අන්තෝනි ක්‍රීඩකයෝ, ධර්මරාජයට පසුපසින් පැමිණ පහර දෙති

සය වැනි සතිය ආරම්භ කරමින් අද (01) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව පැවති රග්බි තරගය 34-24ක් ලෙස ජය ගන්නට…

තරගය ආරම්භ වී මිනිත්තු 6ක් ගත වන තැන දී තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ඉසිපතනයේ රැන්ඩි සිල්වා ය. චමෝද් ප්‍රනාන්දු එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. චමෝද් ඉන් සුළු මොහොතකට පසු උත්සාහක දිනුමක් වාර්තා කළේ පරතරය දෙගුණ කර ගනිමිනි. (ඉසිපතන 14-00 ඩී.එස්.).

ඩී. එස්. සේනානායක විදුහල වෙනුවෙන් එස්. සංජන උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගයේ 15 වැනි මිනිත්තුවේ දී යි. පසුව ඉසිපතන නායක සුමුදු රන්කොත්ගේ විසින් ද උත්සාහක දිනුමක් වාර්තා විය. (ඉසිපතන 19-05 ඩී.එස්).

ඉසිපතනය, ආක්‍රමණයේ දී මෙන්ම ආරක්ෂණයේ දී ද එකලෙස දස්කම් දැක්වූයේ යැයි කිව නොහැක. එවන් මොහොතක දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ඩී. එස්. විදුහලට තවත් ලකුණු 3ක් එක්කිරීමට එච්. හේමසිරි සමත් විය. ඊට මැනවින් පිළිතුරු ලබා දුන් ඉසිපතන ෆුල් බැක් ක්‍රීඩක චමෝද් ප්‍රනාන්දු උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් තම උත්සාහක දිනුම් ත්‍රිත්වය වාර්තා කළේය. එහි ප්‍රවර්තනයන් දෙක ද සාර්ථක කර ගත් ඔහු පළමු අර්ධය තුළ ඩී. එස්. කණ්ඩායමට නැගිය නොහැකි කන්දක් නිර්මාණය කළේය.

පළමු අර්ධය – ඉසිපතන විද්‍යාලය 38 (6T 4C) – 08 (1T 1P) ඩී. එස්. සේනානායක විද්‍යාලය

45 වැනි මිනිත්තුවේ දී පිටියේ නීතියෙන් වරදකරුවෙකු වූ රවිඳු අංජුල හට කහ කාඩ්පතක් හිමි වූ අතර ක්‍රීඩකයන් 14 දෙනෙකු සමඟින් ක්‍රීඩා කිරීමට ඉසිපතනයට සිදුවිය.

එසේ වුවත් ක්‍රීඩකයන් ගණන සැලකිල්ලට නොගත් චමෝද් ප්‍රනාන්දු සහ රැන්ඩි සිල්වා යන දෙදෙනාම උත්සාහක දිනුම් දෙකක් රැස්කළේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් ඉතිරි නොකරමිනි. ප්‍රවර්තන දෙක ද සාර්ථකයි. (ඉසිපතන 52-08 ඩී.එස්.).

අතිරේක ක්‍රීඩක බංකුවේ ක්‍රීඩකයන් තරගයට මුදා හරින්නට ඒ හොඳම කාලය යැයි තීරණය කළ ඉසිපතන විද්‍යාලයීය පුහුණුකරු ලසින්ත ද කොස්තා විසින් ඔවුන්ව පිටියට යෙදීමෙන් අනතුරුව උත්සාහක දිනුම් 3ක් වාර්තා විය. ජනිත් සේරසිංහ, රමිත හිමාෂ්, අංජන තුෂාන් ඒවායේ හිමිකරුවන් විය.

තරගය පුරාම ආරක්ෂාවේ යෙදෙමින් සිටි ඩී. එස්. සේනානායක විදුහලට උත්සාහක දිනුමක් සඳහා අවස්ථාවක් තරග අවසානය තුළ දී ලැබුණු අතර එය සාර්ථක කර ගත්තේ එස්. රත්නායක විසිනි.

සම්පූර්ණ කාලය – ඉසිපතන විද්‍යාලය 69 (11T 7C) – 13 (2T 1P) ඩී. එස්. සේනානායක විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන).

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්.

ඉසිපතන – චමෝද් ප්‍රනාන්දු 4T 7C, රැන්ඩි සිල්වා 2T, සුමුදු රන්කොත්ගේ 1T, රවිඳු අංජුල 1T, ජනිත් සේරසිංහ 1T, රමිත හිමාෂ් 1T, අංජන තුෂාන් 1T.

ඩී. එස්. – එස්. සංජන 1T, එස්. ඒ. රත්නායක 1T, එච්. හේමසිරි 1P.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට