අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ඒකකයත්, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයත්, ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයත් සමඟින් DSI පාවහන් නිෂ්පාදන ආයතනය එකට අත්වැල් බැඳගන්නා “DSI සුපර්ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලිය”, එළඹෙන මැයි 20 වනදා සිට ඇරඹීමට නියමිතය.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ඔලිම්පික් නිවහනේ දී පැවැත්වුණේ ඊයේ (26) සන්ධ්‍යාවේ දී යි.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 17 වැනි වතාවටයි. ඊට දිවයින පුරා විසිරී පැතිරී සිටින පාසල් කණ්ඩායම් 4000කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි මේ වන විට අපේක්ෂා කරනු ලැබේ. දිස්ත්‍රික් තරග මැයි 20 සිට ජුනි 12 දක්වාත්, ජාතික මට්ටමේ තරග ජුනි 24 සිට 28 දක්වාත්,අවසන් මහා තරග සැප්තැම්බර් 08 සහ 09 යන දිනවලදීත් පැවැත්වීමට නියමිතයි.

1999 වසරේ දී තරගාවලිය අරඹන ලද්දේ ග්‍රාමීය සහ නාගරික යන භේදය නොතකා සියලු දරුවන්ට එකම වේදිකාවක දී තම වොලිබෝල් කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමේ වරම සලසා දෙමිනි. 2000 වර්ෂයේ සිට ජාතික මට්ටමට ළඟා වූ යොවුන් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු තරගාවලියේ සාර්ථකත්වය කියාපෑවේය.

“පසුගිය වසරේ පැවැත්වුණු 19න් පහළ ආසියානු තරගාවලියට සහභාගී වුණු සියලුම ක්‍රීඩකයන් DSI තරගාවලියෙන් බිහි වූ ක්‍රීඩකයන්. ඒ ගැන මාගේ ගෞරවය DSI ආයතනයට පිරිනමනවා.” ආසියානු සංචාරයට එක්වූ ශ්‍රී ලංකා 19න් පහළ වොලිබෝල් කණ්ඩායමේ නායක නුවන් තාරක මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූයේ එසේයි.

17 වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියට ඇතුළත් වන නවාංගය වන්නේ 13න් පහළ බාලක සහ බාලිකා තරග ඉසව්වයි. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ගැන කුඩා දරු දැරියන් අතර ළැදියාවක් ඇති කිරීම එහි අරමුණයි. ඒත් සමඟින් 15න් පහළ බාලක-බාලිකා, 17න් පහළ බාලක-බාලිකා සහ 19න් පහළ බාලක-බාලිකා යන වයස් කාණ්ඩ යටතේ තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

වසර ගණනාවක් පුරාවට පාසල් සහ ජාතික සංගම් දෙක සමඟින් DSI ආයතනය සමීපව කටයුතු කළ ආකාරය මෙහි දී ප්‍රශංසාවට ලක්කෙරුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ මහතා විසිනි.

“බොහෝ තරගාවලි සංවිධානය වෙන්නේ පාසල් සංගමය සහ පාසල් සංගමය වෙනම හිඳගෙනයි. අවුරුදු ගණනාවක් වොලිබෝල් සංගම් දෙකම සමඟ අපි එකට වැඩ කළා. ඒ ගැන මං ඉතාමත් සතුටු වෙනවා.” ඔහු පැවසුවේය.

DSI ආයතනය නියෝජනය කරමින් මේ අවස්ථාවට එක්වූ තුසිත රාජපක්ෂ මහතා පැවසුවේ,

“ජාතික ක්‍රීඩාව වෙනුවෙන් වසර 17ක් පුරාවට කැප වෙන්න ලැබීම ගැන DSI ආයතනයේ අප සතුටු වෙනවා. නගරබද ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම ගම්බද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේත් හැකියාවන් දියුණු කොට ඔවුන් ද ජාත්‍යන්තර තලයට ගෙන යාම අපේ අරමුණ වුණා.” යනුවෙනි.

උත්සවයේ මූලාසනය හෙබවූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති එරන්දික වැලිඅංගේ මහතා මෙසේ පවසා සිටියේය.

“ඕනෑම ක්‍රීඩාවක් ගත්තොත් ඊට පන්නරය ලැබෙන්නේ පාසල් ක්‍රීඩාවෙන්. DSI නිසා වොලිබෝල් අංකුර බිහිකරන්න අපට පුළුවන් වුනා. අපේ සම්මේලනයේ සියලු දෙනා ස්වේච්ඡාවෙන් වැඩ කරන අය. අපිට ඔවුන්ව අවශ්‍ය කිසිම වෙලාවක අපට බෑ නොකියපු ආයතනයක් තමයි DSI ආයතනය.”

“13න් පහළ තරගාවලියකුත් මෙවර පැවැත්වෙන නිසා කුඩා කාලයේ සිටම ක්‍රීඩාවට ඇලුම් කරන දක්ෂයන් බිහිවේවී යැයි අපි බලාපොරොත්තු වෙනවා.” ඔහු අවසන් වශයෙන් .පැවසුවේය.

තරගාවලියට ඇතුළත් වීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් පාසල් වෙත බෙදාහැර තිබෙන අතර ඕනෑම DSI ශාඛාවකින් වුව ද ඉල්ලුම්පත් ලබා ගත හැකිය. සම්පූර්ණ කරන ලද අයදුම්පත්, DSI සුපර්ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලිය, අලෙවි අංශය, ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම, අංක 257, හයිලෙවල් පාර, මහරගම යන ලිපිනයට තැපැල් කිරීම හෝ ඕනෑම DSI ශාඛාවකට ලබා දීම ද කළ හැකිය. එම සෑම ලිපි කවරයකම ඉහත වම කෙළවරේ DSI සුපර්ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලිය යනුවෙන් සඳහන් කරන්න.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට