DSI වොලිබෝල් සංග්‍රාමය මේ පෙබරවාරියේ

149

DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියේ 20 වැනි අදියර පෙබරවාරි මස අවසානයේ සිට දියත් කරන බව DSI සමාගම අද (06) කොළඹ නිපෝන් හෝටලයේ දී පැවති මාධ්‍ය හමුවක දී දැනුම් දෙනු ලැබීය.  

මෙරට පාවහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන DSI සමාගම විසින් නැවතත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් වොලිබෝල් සංගමයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ සංධිස්ථානයක් බවට පත්ව තිබෙන මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා ඉදිරිපත්ව තිබේ. 

ලිබරෝ ක්‍රීඩකයන්ගේ බියකරු සිහිනය – මුරිලෝ

ලෝක වොලිබෝල් පිටියේ දැවැන්තයන් වන බ්‍රසීල කණ්ඩායම තුළින් ජාත්‍යන්තර…..

අවුරුදු 11න් පහළ බාලක/බාලිකා, අවුරුදු 13න් පහළ බාලක/බාලිකා, අවුරුදු 15න් පහළ බාලක/බාලිකා, අවුරුදු 17න් පහළ බාලක/බාලිකා හා අවුරුදු 19න් පහළ බාලක/බාලිකා වයස් කාණ්ඩ යටතේ දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් තරගාවලිය පැවැත්වෙන අතර ඒ අනුව එහි දිස්ත්‍රික් මට්ටමේ තරග පෙබරවාරි මස 28 දින සිට මාර්තු මස 31 දින සිට දක්වාත්, ජාතික මට්ටමේ තරග අප්‍රේල් මස 27 දින සිට මැයි මස 7 වැනිදා දක්වාත් පැවැත්වේ. 

එහි අවසන් තරග මැයි මස 24 සහ 25 දෙදින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

තරගාවලිය සඳහා වූ අයදුම්පත් පෙබරවාරි මස 15 දින සිට අදාළ පාසල් වලින් සහ දිවයින පුරා පිහිටි DSI ප්‍රදර්ශනාගාරවලින් ලබා ගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් ළඟම පිහිටි DSI ප්‍රදර්ශනාගාරය වෙත බාර දිය යුතුය. 

අලෙවි අංශය, නො. 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයට ද තැපැල් මඟින් සම්පූර්ණ කරන ලද අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව ඇත. අයදුම්පත් බාරගන්නා අවසාන දිනය පෙබරවාරි මස 25 දිනයි. 

“2020 වසර DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතාවලියේ 20 වන අදියර සනිටුහන් කිරීම නිසා එය DSI සමාගමේ අපට ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. දිවයින පුරා පාසල් වල යොවුන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමේ වේදිකාවක් බවට පත්ව ඇති අතර බොහෝ දෙනා අපේක්‍ෂා කරන වාර්ෂික තරගාවලියක් වන මෙයට අනුග්‍රාහකත්වය ලබා දීමට හැකි වීම DSI සමාගමට සතුටක් වගේම වරප්‍රසාදයක්. DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතාවලිය අපේ රටේ ජාතික ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ දී හා සංවර්ධනය කිරීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බව අපගේ බලාපොරොත්තුවයි.”, DSI සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්‍ෂ මහතා මාධ්‍ය හමුව අමතමින් පැවසීය. 

බීච් වොලිබෝල්, මලල ක්‍රීඩා පිටියෙන් 2019 වර්ණවත් වෙයි

2019 වසර නිමා වූයේ ජය පරාජය, සිනහව කඳුල හා නව බලාපොරොත්තු….

එමෙන්ම මෙහි දී තවදුරටත් අවධාරණය කෙරුණේ මෙම තරගාවලියේ දී ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් වොලිබෝල් සංචිතයක් නිර්මාණය කර ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් ඉතිහාසයේ ප්‍රථම වරට ඔවුන්ව මෙම ජූලි මාසයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු පාසල් වොලිබෝල් තරගාවලිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරන බවයි. 

මෙම තරගාවලිය ආරම්භයේ දී කණ්ඩායම් 198ක සහභාගීත්වයක් සටහන්ව තිබූ අතර මෙම වසරේ දී දිවයින පුරා විහිදුණු කණ්ඩායම් 500කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයක් සටහන් වනු ඇති බවට සංවිධායකයෝ අපේක්‍ෂා කරති. 

DSI සමගම විසින් 1991 වසරේ සිට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම ශූරතා තරගාවලියේ අරමුණු බවට පත්ව ඇත්තේ නගරබද හා ග්‍රාමීය වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබා දීම සහ අවශ්‍ය සහයෝගය ලබා දීමත්, ඔවුන්ට සිය කුසලතා පෙන්වමින් ජාතික හා ජාත්‍යන්තර පිටිය තුළ තවදුරටත් ඉදිරියට යාමට අවස්ථාව සලසාදෙන ජාතික මට්ටමේ වේදිකාවක් ගොඩනැඟීමත් ය. මෙම පාසල් වොලිබෝල් ශූරතා තරගාවලිය ආරම්භ කිරීම මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40කට ආසන්න සංඛ්‍යාවක් ජාතික තලයට දායාද වී තිබේ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<