පසුපසින් හඹා ආ ආනමඩුව ක්‍රීඩිකාවෝ 19න් පහළ ශූරතාවය දිනති

640

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ වයස අවුරුදු 19න් පහළ බාලිකා අවසන් මහා තරගය අද (4) ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය හා මහා උස්වැව ශ්‍රී රතනපාල විද්‍යාලය අතර මහරගම යොවුන් කැදැල්ලේ දී පැවැත්වුණු අතර වට 3-0ක් ලෙස වයස අවුරුදු 19න් පහළ බාලිකා ශූරතාවය දිනා ගන්නට ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

වේගවත් සිංහයෝ මාරවිල ආක්‍රමණය කරති; විජයබා ක්‍රීඩිකාවන්ට ආනමඩුව හමුවේ පහසු ජයක්

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ අවසාන මහා තරග පැවැත්වෙන දෙවන හා අවසන් දිනය වන…

එම වයස් කාණ්ඩයේ තෙවන ස්ථානය දිනා ගන්නට ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයට හැකි විය.

ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ දිනූෂා දිල්රුක්ෂි තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර අවසන් මහා තරගයේ දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස සෙනාලි මහේෂිකා සම්මාන දිනා ගත්තාය. අවසන් මහා තරගයේ දක්ෂතම ප්‍රහාරිකාව ලෙස තරුෂි අයෝධ්‍යා සම්මාන දිනා ගන්නා ලදි. එම ක්‍රීඩිකාවන් දෙදෙනාම ආනමඩුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩිකාවන් වන අතර අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහා උස්වැව රතනපාල විද්‍යාලයේ ප්‍රීතිකා ප්‍රමෝදිනි සම්මාන දිනා ගන්නා ලදි.

(දිනූෂා දිල්රුක්ෂි තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදි)

ඊයේ දිනයේ මෙන්ම අද දිනයේ ද සියලුම තරග සඳහා ඉතා ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වයක් තිබුණු අතර මේ තරගය සඳහා ද ප්‍රේක්ෂකාගාරය පිරි ඉතිරි යන්නට ප්‍රේක්ෂකයින් රැස්ව සිටියේ සිය විදුහල් දිරිගන්වන්නට ය.

ආනමඩුව ක්‍රීඩිකාවන් තරගයේ පළමු ලකුණ රැස්කළ අතර රතනපාල ක්‍රීඩිකාවන් ද ඉක්මන් ලකුණු සමඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

පළමු වටය ආරම්භයේ දී ශ්‍රී රතනපාල ක්‍රීඩිකාවන් පෙරමුණ ගැනීමට සමත්වුවද ආනමඩුව කණ්ඩායමේ පුහුණුකරු තාක්ෂණික කෙටි විවේකයක් ලබා ගත්තේ රතනපාල ක්‍රීඩිකාවන්ගේ රිද්මය බිඳ දැමීමටය.

ඔහු යම්තාක් දුරට සාර්ථක වූයේ ලකුණු පරතරය තිබූ මට්ටමට වඩා පහළට ගෙන ඒමට ආනමඩුව ක්‍රීඩිකාවන් සමත් වූ නිසාවෙනි.

රතනපාල ක්‍රීඩිකාවන්ගේ පන්දු ගොඩ ගැනීමේ දුර්වලතා හමුවේ ආනමඩුව ක්‍රීඩිකාවන් එක ලකුණක් දක්වා ලකුණු මට්ටම පහතට ගෙන ආ අතර පසුපසින් හඹා ආ ඔවුන් එම වටය ජයග්‍රහණය කළේ ලකුණු 26-24ක් ලෙසය.

පළමු වටය: ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය 26-24 මහ උස්වැව ශ්‍රී රත්නපාල විද්‍යාලය

පළමු වටයේ දී ආනමඩුව ක්‍රීඩිකාවක් ආබාධයකට පත්වුනත් දෙවන වටයේ දී ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය.

ආනමඩුව කණ්ඩායමේ ක්‍රීඩිකාවක් එක් අතක ආබාධයක් සහිතව ක්‍රීඩා කරනු පෙනී ගිය අතර ජයග්‍රහණයට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව ප්‍රධාන බව සියලු දෙනා මතක තබා ගත යුතු කරුණකි.

ජෝසප් වාස් ක්‍රීඩකයින් සහ උහන ක්‍රීඩිකාවන් 15න් පහළ ශූරතා ඩැහැගනී

2018 DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ වයස අවුරුදු 15න් පහළ බාලිකා ශූරතාවය…

කෙසේ වෙතත් රතනපාල ක්‍රීඩිකාවන් සම්පූර්ණයෙන් සිය ග්‍රහණයට ගනිමින් දෙවන වටය ලකුණු 25-18ක් ලෙස ජය ගැනීමට ආනමඩුව ක්‍රීඩිකාවන් සමත් විය.

දෙවන වටය: ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය 25-18 මහ උස්වැව ශ්‍රී රත්නපාල විද්‍යාලය

තෙවන වටයේ ජයග්‍රහණය මහා උස්වැව ශ්‍රී රතනපාල විද්‍යාලයට ඉතාම වැදගත් වූයේ තරගයේ රැඳී සිටීමට නම් මේ වටයේ ජය ඔවුන්ට අත්‍යවශ්‍ය වූ නිසයි.

ආරම්භයේ දී රතනපාල ක්‍රීඩිකාවන් පසුපසින් සිටියත් ආනමඩුව ක්‍රීඩිකාවන් ලකුණු 05 සීමාවේ සිරකරමින් ඔවුන් පසුකර ඉදිරියට යන්නට රතනපාල ක්‍රීඩිකාවන් සමත් විය.

ජයග්‍රහණය අවශ්‍යම වූ නිසා කෙසේ හෝ පෙරමුණේ එල්ලී සිටීම රතනපාල ක්‍රීඩිකාවන්ගේ අරමුණ වූ අතර ප්‍රීතිකා ප්‍රමෝදිනි ඉහෙළට ඉපිලී දක්ෂ ප්‍රහාර එල්ල කළේ ආනමඩුව ක්‍රීඩිකාවන්ට කිසිදු අවස්ථාවක් ඉතිරි නොකරමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

දිනූෂා දිල්රුක්ෂි ආනමඩුව කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල සටනක් දියත් කළ අතර ඇයගේ හා ප්‍රීතිකා ප්‍රමෝදිනිගේ ද්වන්ද සටන ඉතා තියුණු නමුත් අලංකාර මුහුණුවරක් ගත්තේය.

ශ්‍රී රතනපාල ක්‍රීඩිකාවන් ලකුණු හතකින් ඉදිරියේ සිටිය ද පෙර වටවල දී මෙන්ම ආනමඩුව ක්‍රීඩිකාවන් ලකුණු 18-18ක් ලෙස ලකුණු සමකළේ රතනපාල ක්‍රීඩිකාවන් දැඩි පීඩනයකට ලක් කරමිනි.

11-18ක් ලෙස තිබුණු ලකුණු සටහන ක්ෂණයකින් 23-19ක් බවට පත්වූ අතර අවසන් මහා තරගයේ පීඩනය මැනවින් දරා ගත් ආනමඩුව ක්‍රීඩිකාවෝ වෙනුවෙන් තරුෂි අයෝධ්‍යා අවසාන ලකුණ වාර්තා කළ අතර ලකුණු 25-20ක් ලෙස වයස අවුරුදු 19න් පහළ බාලිකා ශූරතාවය දිනා ගැනීමට ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

තෙවන වටය: ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය 25-20 මහ උස්වැව ශ්‍රී රත්නපාල විද්‍යාලය   

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න වොලිබෝල් පිටුවට <<