නොකඩවා 8 වන වරටත් ශූරතාව ඩී. එස්. කණ්ඩායමට

737

කාල වර්ණයෙන් සහ රන් පැහැයෙන් යුතු වලාකුළු කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයට ඉහළින්  බැබළෙද්දී රන් රග්බි සංග්‍රාමයේ ස්වර්ණමය කුසලානය තමන් සතු කරගන්නට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය නොකඩවා 8 වන වරටත් සමත් වුනේ සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කොළඹ මහානාම විද්‍යාල කණ්ඩායම ලකුණු 46 – 09 පහසුවෙන් පරාජය කරමිනුයි. තරගයේ පළමු අර්ධය අවසන් වන විටත් ලකුණු 27 – 09ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නට සේනානායකයන් සමත් විය.

වෙස්ලි විදුහලේ ජනාධිපති කුසලාන සිහිනය බොඳ වේ

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ හතරවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 43-29ක් ලෙස වෙස්ලි…

ඩී. එස්. – මහානාම රන් සටන වාර්ෂික රග්බි සංග්‍රාමයේ 11 වන අදියර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ආරම්භ වන විටත් ප්‍රේක්ෂකාගාර පිරී ඉතිරී යන තරම් ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්ව සිටියේ තම කණ්ඩායම් දිරි ගැන්වීම සඳහායි. 2009 වසරෙන් පසුව පහස නොලැබූ කුසලානය ඇතිව තරගයට අවතීර්ණ වූ මහානාම ක්‍රීඩකයන්ට තරගය ආරම්භ වී මද වෙලාවක් ගත වන විට පළමු ලකුණු වාර්තා කිරීමේ ඉඩ ප්‍රස්ථාව හිමි වුනේ ප්‍රතිවාදී මීටර් 30 සීමාව තුල දී ලැබුණු දඬුවම් පහරක් මඟිනුයි. කෙසේ වෙතත් එම අවස්ථාව ලකුණු බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන් අසමත් වුනේ මධුශංකගේ පහර ගෝල කණු වලින් ඉවතට ඇදී යාම හේතුවෙනුයි.

එතැන් පටන් තම ප්‍රතිවාදීන්ට තරගයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා නොදුන් ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායම මහානාම අන්තයේ සිය අණසක පැතිරවීම ආරම්භ කරන  ලදි. දඬුවම් පහරක් ඉක්මනින් ලබා ගත් ඩී. එස්. කණ්ඩායමේ වේගවත් පන්දු හුවමාරුව තුලින් පළමු වරට ලකුණු පුවරුව ක්‍රියාත්මක කෙරුණේ අංක 8 ක්‍රීඩක හසිත හේමසිරි උත්සාහක දිනුම් රේඛාව පසු කිරීමත් සමඟයි. ඔහු විසින්ම එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේ සිය කණ්ඩායම ලකුණු 07 – 00ක් ලෙස ඉදිරියට ගෙන එමිනුයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ඩී. එස්. කණ්ඩායමේ වගකීම් විරහිත තරග රටාව හේතුවෙන් සිය අර්ධය තුල නැවත වරක් මහානාම ක්‍රීඩකයන්ට දඬුවම් පහරක් ලබා දීමට කටයුතු කළ අතර එවර එය සාර්ථකව ගෝල කණු අතරින් එල්ල කළ මධුශංක ලකුණු පරතරය අඩු කරන්නට සමත් විය. (ඩී. එස්. 07 – 03 මහානාම)

මේ අතර ඩී. එස්. ක්‍රීඩකයන් හට උත්සාහක දිනුම් කරා යා හැකි අවස්ථා කිහිපයක් උදා වුවද ඔවුන්ගේ ඇතැම් ක්‍රීඩකයන්ගේ ආත්මාර්ථකාමී ක්‍රීඩා විලාශය හේතුවෙන් එම අවස්ථා මග හැරෙනු දක්නට ලැබුණි.

පිටියේ මධ්‍ය ප්‍රදේශයේ දී හිමිවුණු ස්ක්‍රම් අවස්ථාවකින් පන්දුව හිමි කර ගත් ඩී. එස්. ත්‍රී ක්වාටර් ක්‍රීඩකයන් හරහා ඉදිරියට ගෙන ගිය පන්දුව ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයාගේ අතින් භාර ගත් ෆ්ලයි හාෆ් ක්‍රීඩක ශිමාර් උත්සාහක දිනුම් රේඛාව පසු කළේ ඩී. එස්. කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම සඳහායි. ඉන් මිනිත්තු කිහිපයකට පසු යලිත් වරක් ක්‍රියාත්මක වූ අංක 8 ක්‍රීඩක හේමසිරි තම දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ ලකුණු පරතරය තවත් ඉහළට ගෙන යමිනුයි. කෙසේ වෙතත් එම අවස්ථා දෙකේම ප්‍රවර්තන අසාර්ථක විය. (ඩී. එස්. 17 – 03 මහානාම)

ඩී. එස්. ක්‍රීඩකයින් තවදුරටත් සිය ග්‍රහණය දැඩි කරන්නට කටයුතු කරද්දී ඊට පිළිතුරක් සොයා ගැනීමට නොහැකි වූ මහානාම කණ්ඩායම අතින් ගිලිහුණු පන්දුවක් තම භාරයට ගත් ඩී. එස්. සෙන්ටර් ක්‍රීඩක විජේසිරි සිය නම ඉදිරියේ ලකුණු 5ක් සටහන් කර ගන්නට සමත් විය. (ඩී. එස්. 22 – 03 මහානාම)

එතැනින් නොනැවතුණු ඩී. එස්. ඉදිරි පෙළ ක්‍රීඩකයන් සිය දක්ෂතා තවදුරටත් ප්‍රදර්ශනය කළේ ෆ්ලෑන්කර් ක්‍රීඩක රත්නායක මහානාම ආරක්ෂක පෙළ මගහරිමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟයි. එම අවස්ථාවේ ද ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට හේමසිරි සමත් වුනේ නැත. (ඩී. එස්. 274 – 03 මහානාම)

මහානාම ක්‍රීඩකයන් පන්දුව සමඟ ඉදිරියට ඇදීමට තැත් කළ සියලු අවස්ථාවල දී ඩී. එස්. ආරක්ෂකයන්ගේ ග්‍රහණයට නතු වූ නමුදු, පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් තවත් දඬුවම් පහර දෙකක් ගෝල කණු අතරින් එල්ල කළ මධුශංක තම කණ්ඩායමට යම් සැනසිල්ලක් ලබා දීමට සමත් විය.

පළමු අර්ධය –  ඩී. එස්. සේනානායක 27 – 09 මහානාම

දෙවන අර්ධය ආරම්භයේ දී වඩාත් ප්‍රබල ආරක්ෂක සැකැස්මක් සහ ඉක්මන් පන්දු හුවමාරුවක් තුලින් ඩී. එස්. සේනානායක විද්‍යාලය තරමක් පාලනය කරන්නට මහානාම ක්‍රීඩකයන් සමත් විය. කෙසේ වෙතත් දවසේ තරුව වීමේ මාර්ගය විවර කර ගත් හසිත හේමසිරි මහානාම කණ්ඩායමේ සියලු ආරක්ෂක සංවිධාන බිඳ දැමුවේ සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය ද සම්පූර්ණ කරමිනුයි. යලිත් වරක් තම ප්‍රවර්තනයේ ඉලක්කය ද සොයා ගත් හේමසිරි ලකුණු පුවරුවේ වාසිය තවත් වර්ධනය කර ගන්නා ලදි. (ඩී. එස්. 34 – 09 මහානාම)

අවසන් මිනිත්තු 20 තුල ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට අංක 6 ක්‍රීඩක සමරවික්‍රම සමත් විය. එහි දෙවන උත්සාහක දිනුම සාර්ථකව ප්‍රවර්තනය කරන්නට හේමසිරි කටයුතු කිරීමත් සමඟ තරගයේ ජයග්‍රාහී අවසානය සනිටුහන් කරන්නට ඩී. එස්. කණ්ඩායමට හැකියාව ලැබුණි.

මේ අනුව දුර්වල ආරම්භයක් සහිත තරගාවලියක් කෙමෙන් කෙමෙන් සාර්ථකත්වය කරා ගෙන ගිය ඩී. එස්. සේනානායක විද්‍යාලයට අති සාර්ථක අවසානයක් සනිටුහන් කරන්නට අවස්ථාව හිමි වූ අතර, මහානාම ක්‍රීඩකයන්ට දුක් මුසු අවසානයක් උරුම වුනේ ඔවුන්ගේ හැකියාවන් උපරිම මට්ටමට ගෙන එන්නට අපොහොසත් වීම හේතුවෙනුයි.

අවසන් ලකුණු තත්ත්වය – ඩී. එස්. සේනානායක 46 – 09 මහානාම

ThePapare.com තරගයේ වීරයා – හසිත හේමසිරි  (ඩී. එස්. සේනානායක විද්‍යාලය)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

ඩී. එස්. සේනානායක විද්‍යාලය  46 (27)

උත්සාහක දිනුම් : H. හේමසිරි (3),  W. සමරවික්‍රම (2),  V. විජේසිරි (1), M. ශිමාර් (1), රත්නායක (1)

ප්‍රවර්තන : H. හේමසිරි (3)

මහානාම විද්‍යාලය  – 09 (09)

දඬුවම් පහර : M. මධුශංක (3)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට