කොළඹ ඩී. එස්. සේනානායක සහ මහානාම විද්‍යාල අතර 11 වන රන් සටන මහා ක්‍රිකට් තරගය මේ මස 24 සහ 25 දෙදින තුල කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (20) එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වුනි.

නීල හරිත සටනේ මුල් දිනයේ වාසිය ලුම්බිණි විද්‍යාලයට

සිව්වැනි වරටත් ක්‍රියාත්මක වන කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර නීල හරිත සටන අද (20) කොළඹ කෝල්ට්ස් පිටියේ දී ආරම්භ විය…

මහා ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මෙවර පැවැත්වීමට සූදානම් කර තිබෙන්නේ අප්‍රේල් මස 9 වැනිදායි. ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට වසර 50ක් සැපිරීම වෙනුවෙන් එම විද්‍යාලය මගින් සංවිධාන කෙරෙන මෙම තරගය පළමු වරට දිවා – රාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

2007 වසරේ ආරම්භ වූ කොළඹ ඩී. එස්. – මහානාම මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ ජය පැරදුම විසඳුණු තරගයක් වාර්තා වුනේ එක් වරක් පමණි. ඒ 2014 වසරේ දී වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ගේ නායකත්වයෙන් යුතු ඩී. එස්. සේනානායක විද්‍යාලය ජයග්‍රහණය කළ මහා ක්‍රිකට් තරගයයි. අනෙක් තරග 9 ම ජය පරාජයෙන් තොරව අවසන් විය.

මේ කණ්ඩායම් දෙක වාර්ෂික එක්දින තරගයේ දී සටන් වදින්නේ අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙනුයි. එක්දින තරග ඉතිහාසයේ මහානාම විද්‍යාලය ඉදිරියෙන් පසු වන්නේ ජයග්‍රහණ 5 ක් සමගින්. ඩී. එස්. ක්‍රීඩකයන් වසර 4 ක දී එක්දින තරග ජයග්‍රහණය කර තිබෙන අතර එක් තරගයක් අවසන් වුනේ විසඳුමකින් තොරවයි. මහානාම විද්‍යාලය පසුගිය වසරේ තරගය ලකුණු 28කින් ජය ගන්නට සමත් විය.

මේ වසරේ දී මහානාම විද්‍යාලයේ නායකත්වය පැවරී තිබෙන්නේ කඩුලු රකින පිතිකරු මලිඳු මධුරංග හටයි. මෙවර තරග වාරයේ පිත්තෙන් ඉහල දස්කම් දක්වා ඇති ඔහු ලකුණු 1000 සීමාව ආසන්නයටම පැමිණ සිටින අතර මහානාම විද්‍යාලය වෙනුවෙන් කඩුල්ල පසුපස සිට දැක්වූ දායකත්වය ද කිසි ලෙසකින් හෝ සුළු කොට තැකිය නොහැක.

නායක මධුරංග පවසන්නේ තම කණ්ඩායම මහා ක්‍රිකට් තරගයේ දී මෙන්ම වාර්ෂික එක්දින තරගයේ දී ද හොඳ සටනක් දීමට අධිෂ්ඨානයෙන් පසුවන බවයි.

”මම තරගය ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා වන පරිද්දෙන් මෙන්ම අපේ පාසල් දෙක අතර සහෝදරත්වය ආරක්ෂා වන පරිද්දෙන් පැවැත්විය යුතුයි. තරගයේ දී වඩාත් හොඳ කණ්ඩායම ජයග්‍රහණය කල යුතු නිසා මම කණ්ඩායම් දෙකටම සුබ පතනවා” මහානාම විදුහලේ විද්‍යාලාධිපති එල්. එම්. ඩී. ධර්මසේන මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙවර මහා ක්‍රිකට් ගැටුමට පිවිසෙන්නේ වමතින් පිත්ත හසුරුවමින් සහ වේග පන්දුවෙන් කණ්ඩායමට ඉහල දායකත්වයක් ලබා දෙන ටොරින් පිටිගල ගේ නායකත්වයෙන්. ඩී. එස්. කණ්ඩායමේ වඩාත් අත්දැකීම් සපිරි ක්‍රීඩකයා වන ඔහුට ආබාධ හේතුවෙන් මෙම තරග වාරයේ සැලකිය යුතු තරග ප්‍රමාණයක් අහිමි වුව ද, සුවය ලබා නැවතත් කණ්ඩායම සමග එක්ව සිටින ටොරින් මහා ක්‍රිකට් තරගයේ දී තම සුපුරුදු දස්කම් සමගින් කණ්ඩායමට දායකත්වය ලබා දීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. ශේසාඩ් අමීන් ඩී. එස්. කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන අතර ඔහු ද 11 වන රන් සටනේ දී කණ්ඩායමට විශාල සම්පතක් වනු ඇති.

තම වමත් දඟ පන්දුවෙන් කඩුලු 68ක් දවා ගෙන ඇති මුදිත ලක්ෂාන් ඩී. එස්. පන්දු බල ඇණියට නායකත්වය දෙන්නේ දකුණත් පිට දඟ පන්දුවෙන් කඩුලු 50 සීමාව පසු කර සිටින විහාන් ගුණසේකරගේ දායකත්වය ද සමඟයි.

”දිවා –  රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිත මෙවර වාර්ෂික එක්දින තරගය ඉතා උත්කර්ෂවත් ඉසව්වක් ලෙස සංවිධාන කරන්නට අපි සියලු පියවර ගෙන තිබෙනවා. එම තරගය සඳහා විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් සහභාගී වනු ඇති බවට අපි විශ්වාස කරනවා.” ඩී. එස්. සේනානායක විදුහල්පති ආර්. එම්. එම්. රත්නායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ දැඩි විශ්වාසයකින් යුතුවයි.

වසර 60 ක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ මහානාම විද්‍යාලයත් ශ්‍රී ලංකාවට ජාතික මට්ටමේ ක්‍රිකට් තරු දායාද කළ තෝතැන්නකි. ධනුෂ්ක ගුණතිලක සහ ලලිත් ප්‍රනාන්දු ඊට උදාහරණ සපයන අතර අනාගතයේ ද, තවත් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීමේ පෙර ලකුණු ද මහානාම මෙන් දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම දකුණත් පිතිකරුවා වන අරවින්ද ද සිල්වා ගේ ක්‍රිකට් තිඹිරි ගෙය වූ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් ක්‍රිකට් අත් පොත් තැබූ ජාතික ක්‍රීඩකයන් අතරට හිටපු ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න මෙන්ම වත්මන් ක්‍රීඩකයන් වන ඉසුරු උදාන සහ බිනුර ප්‍රනාන්දු ද ඇතුළත් වෙයි.

මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ දෙවන ජයග්‍රහණය සනිටුහන් කිරීමේ අරමුණ ඇතිව මේ සති අන්තයේ දී තරග බිමට පිවිසෙන්නට ටොරින් පිටිගල ගේ නායකත්වයෙන් යුතු මහානාම කණ්ඩායමත් මලිඳු මධුරංගගේ නායකත්වයෙන් යුතු ඩී. එස්. සේනානායක කණ්ඩායමත් නොඉවසිල්ලෙන් පසු වෙයි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට