පාසල් වයසේ ක්‍රීඩකයන්ට දියර භාවිතය පිලිබඳ පාඩමක්

4373
Drink on Schedule, Not Just When Thirsty

“තිබහ ඇතිවූ විට නොව කාල සටහනකට අනුව පානය කරන්න”

බොහෝ දෙනෙකුට මෙය විශ්මයජනක පුවතක් විය හැකියි. පාසල් වයසේ ක්‍රීඩකයන්ගේ පෝෂණ අවශ්‍යතා වල වාඩාත්ම වැදගත් අංගය ආහාර නොවේ. ඔවුන් කොතරම් දියර වර්ග භාවිත කරනවාද යන කාරණයයි. විශේෂයෙන්ම ක්‍රීඩා හෝ පුහුණුවීම් කටයුතු ආරම්භයට පෙර, එම ක්‍රියාකාරකම් අතරතුර මෙන්ම ක්‍රීඩාවේ යෙදීමෙන් පසුවද ජලය හෝ වෙනත් ක්‍රීඩා පාන වර්ග මගින් දරුවන් ශරීරයට ඇතුළු කර ගන්නා දියර ප්‍රමාණය සැලකිලිමත්ව පාලනය කිරීම ඉතා වැදගත් වන්නේ වැඩිහිටියන්ට මෙන් නොව දරුවන්ට සහ නව යොවුන් වියේ ක්‍රීඩකයන්ටද ශරීරයේ විජලනය පාලනය කිරීමේ වැඩි අවශ්‍යතාවක් පැවතීම හේතුවෙනුයි. දෙමව්පියන් සහ ක්‍රීඩා පුහුණුකරුවන් මෙම විශේෂ අවශ්‍යතා තේරුම් ගෙන පාසල් වියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විජලනය නිසා ඇතිවන රෝගී තත්ත්වයන්ගෙන් රැක ගැනීමට පූර්ව ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.

පසුගිය ලිපි: කණ්ඩායම් ක්‍රීඩාවක යෙදීම මගින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ 7 ක්

පහත දැක්වෙන්නේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දියර වර්ග භාවිත කල යුතු ආකාරය පිලිබඳ නිර්දේශයන් කිහිපයකි.

ජලය වෙනුවට ලවන අඩංගු ක්‍රීඩා පාන වර්ග (ශක්ති ජනක පාන නොවේ) භාවිතයට හුරු කිරීම මඟින් දරුවන් ජලය පානයට වඩා ඉතා ඉහල ප්‍රතිශතයකින් දියර වර්ග ශරීරයට ලබා ගැනීමට පෙළඹෙන බව පෙනී ගොස් ඇත.

අපගේ ශරීරයේ පවතින ජලයේ ප්‍රධාන කාර්යයක් වන්නේ ශරීරය සිසිල් කිරීමයි. දරුවකු යම්කිසි ව්‍යායාමයක (ක්‍රියාකාරකමක / ක්‍රීඩාවක) නිරත වන විට ඔහුගේ හෝ ඇයගේ සිරුරේ මස්පිඩු වලින් තාපය නිපදවයි. එමගින් ඔවුන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහල යයි. එසේ ශරීරයේ උෂ්ණත්වය ඉහල ගිය විට සිදුවන්නේ දහඩිය පිටවීමයි. දහඩිය සිරුරෙන් වාෂ්ප වී යන්නේ ශරීරයේ වැඩිපුර උෂ්ණත්වය පිට කිරීමේ ක්‍රියාවලියක් ලෙසයි. එසේ දහඩිය පිටවූ විට ශරීරය සිසිල් වෙයි. කෙසේ වෙතත් දහඩිය ලෙස සිරුරෙන් පිටවූ දියර ප්‍රමාණය නැවත ශරීරයට ඇතුළු නොවුනහොත් එමගින් දරුවන්ගේ සිරුර තුල දියර මට්ටමේ සමබරතාව බිඳී යාම හේතුවෙන් ශරීරය පාලනය කල නොහැකි ලෙස උණුසුම් වීමෙන් විවිධ අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවනතාවක් පවතී.

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස විජලන තත්ත්වයට පත් වීමෙන් වලක්වා ගැනීමට නම් ඔවුන්ට ක්‍රීඩාවේ යෙදීමට පෙර, ක්‍රීඩාව අතරතුර මෙන්ම ක්‍රියාකාරකම් අවසානයේදී ද අවශ්‍ය තරම් දියර වර්ග පානයට ගැනීමට පුහුණු කල යුතුය. ජලය වෙනුවට ලවන අඩංගු ක්‍රීඩා පාන වර්ග (ශක්ති ජනක පාන නොවේ) භාවිතයට හුරු කිරීම මඟින් දරුවන් ජලය පානයට වඩා ඉතා ඉහල ප්‍රතිශතයකින් දියර වර්ග ශරීරයට ලබා ගැනීමට පෙළඹෙන බව පෙනී ගොස් ඇත. විවිධ පර්යේෂණ මගින් සොයා ගැනුණු පරිදී වයස සහ බර අනුව ක්‍රීඩා වල යෙදීමේදී ලබා ගත යුතු දියර ප්‍රමාණයන් පිලිබඳ මාර්ගෝපදේශයක් පහත දැක්වේ.

 වයස අවුරුදු 6 සිට 12 දක්වා 

  • ක්‍රීඩා / පුහුණුවීම් ආරම්භයට පෙර

ක්‍රියාකාරකම් ආරම්භයට පෙර දියර භාවිතය, විජලනය මගින් ඇතිවිය හැකි අතුරු ආබාධ වැලක්වීමට සහය වෙයි.

ක්‍රියාකාරකම් ආරම්භයට මිනිත්තු 120 – 60 කට පෙර – සිසිල් ජලය කෝප්ප 0.5 – 1 (මිලි ලීටර් 120 – 240 අතර)

ක්‍රියාකාරකම් ආරම්භයට මිනිත්තු 10 – 15 කට පෙර – සිසිල් ජලය කෝප්ප 0.5 – 1 (මිලි ලීටර් 120 – 240 අතර)

  • ක්‍රීඩා / පුහුණුවීම් අතරතුර

සෑම මිනිත්තු 20 කටම වරක් සිසිල් ජලය හෝ ක්‍රීඩා පාන වර්ගයක් අවුන්ස 5 සිට 9 දක්වා ප්‍රමාණයක් (මිලි ලීටර් 150 – 270 අතර)

මෙය දරුවාගේ බර අනුව වෙනස් වන අතර කිලෝ ග්‍රෑම් 40ක් බර අයෙකුට මිලි ලීටර් 150ක් ද කිලෝ ග්‍රෑම් 60ක් බර අයෙකුට මිලි ලීටර් 270ක් ලෙසද වෙයි.

  • ක්‍රීඩා / පුහුණුවීම් අවසානයේදී

ක්‍රියාකාරකම් අවසානයේදී දියර වර්ග ලබා ගැනීම වැදගත් වන්නේ ක්‍රියාකාරකම් අතරතුරදී සිරුරෙන් පිටවූ දියර ප්‍රමාණය නැවත සිරුරට ඇතුළු විය යුතු වීම හේතුවෙනුයි.

පැය 2ක් ඇතුලත : ක්‍රීඩාවේ දී ශරීරයෙන් අඩුවූ රාත්තලක බර ප්‍රමාණයක් සඳහා ජලය හෝ ක්‍රීඩා පානයකින් අවම වශයෙන් කෝප්ප 3ක්.

(ආසන්න වශයෙන් ශරීරයේ බරෙන් අඩුවන ග්‍රෑම් 100 කට දියර මිලි ලීටර් 150 ක් පමණ)

 වයස අවුරුදු 13 – 18 අතර 

  • ක්‍රීඩා / පුහුණුවීම් ආරම්භයට පෙර

ක්‍රියාකාරකම් ආරම්භයට පෙර දියර භාවිතය විජලනය මගින් ඇතිවිය හැකි අතුරු ආබාධ වැලක්වීමට සහය වෙයි.

ක්‍රියාකාරකම් ආරම්භයට මිනිත්තු 120 – 60කට පෙර – සිසිල් ජලය කෝප්ප 1 – 2 අතර  (මිලි ලීටර් 240- 480 අතර)

ක්‍රියාකාරකම් ආරම්භයට මිනිත්තු 10 – 15 කට පෙර – සිසිල් ජලය කෝප්ප 1 – 1.5 අතර  (මිලි ලීටර් 240 – 360 අතර)

  • ක්‍රීඩා / පුහුණුවීම් අතරතුර

බර අනුව සෑම මිනිත්තු 20කටම වරක් සිසිල් ජලය හෝ ක්‍රීඩා පාන වර්ගයක් අවුන්ස 5 සිට 10 දක්වා ප්‍රමාණයක් (මිලි ලීටර් 150 – 300 අතර)

  • ක්‍රීඩා / පුහුණුවීම් අවසානයේදී

ක්‍රියාකාරකම් අවසානයේදී දියර වර්ග ලබා ගැනීම වැදගත් වන්නේ ක්‍රියාකාරකම් අතරතුරදී සිරුරෙන් පිටවූ දියර ප්‍රමාණය නැවත සිරුරට ඇතුළු විය යුතු වීම හේතුවෙනුයි.

පැය 2 ක් ඇතුලත : ක්‍රීඩාවේ දී ශරීරයෙන් අඩුවූ රාත්තලක බර ප්‍රමාණයක් සඳහා ජලය හෝ ක්‍රීඩා පානයකින් අවම වශයෙන් අවුන්ස 24 ක්.

(ආසන්න වශයෙන් ශරීරයේ බරෙන් අඩුවන කිලෝ ග්‍රෑම් 1 කට දියර ලීටර් 1.5 ක් පමණ)

 තවත් විශේෂාංග ලිපි කියවන්න පිවිසෙන්න