ශූරයින්ගේ කුසලානයට ශ්‍රී ලංකාව සූදානම් ද?

983

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (01) එංගලන්තයේ දී සහ වේල්ස් හිදී ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන කණ්ඩායම් 08ම පාහේ තරගාවලිය ඉලක්ක කර ගනිමින් තම කණ්ඩායම වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය විවිධ වෙනස්කම් සිදුකර ගන්නා ආකාරය පසුගිය මාස කිහිපය තුළ දැකගන්නට ලැබුණි.

>> ඉතිහාසයෙන් ඇසෙන ශූරයින්ගේ කුසලානයේ කතා පුවත

මෙවර ශූරයින්ගේ කුසලානය ඉතිහාසයේ පැවැත්වෙන තරගකාරීම තරගාවලිය වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. තරගාවලිය සඳහා ‘B’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම තුළ දක්ෂයින්ගේ අඩුවක් නොවුණත්, ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලය පුරාවට ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා රටාව හේතුවෙන් ඔවුන් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වනු ඇති බවට බොහෝ විශේෂඥ මත පළවී ඇත.  

අයි.සී.සී. ය මඟින් සංවිධානය කරනු ලැබූ ආසන්න තරගාවලි කිහිපයක දී ම දක්ෂතා අතරට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 2007, 2009 (පන්දුවාර 20 ලෝක කුසලානය), 2011 සහ 2012 (පන්දුවාර 20 ලෝක කුසලානය) ලෝක කුසලාන තරගාවලිවල අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේ දී බංග්ලාදේශයේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාව පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.  

නමුත් එය දැන් ඉතිහාසයකි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම ක්‍රීඩකයින් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගෙන ඇත. ඔවුන් දෙදෙනා එක්ව ශූරයින්ගේ කුසලාන තරග 44කට සහභාගී වී ඇත. කෙසේ වුවත් මේ වන විට තරග කාණ්ඩ තුනේම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නුම් කරන්නේ දැඩි පසුබෑමකි.

ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකා ඉතිහාසය

ශූරයින්ගේ කුසලාන තරගාවලි ඉතිහාසය තුළ එක් කුසලානයක පහස විඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමි විය. ඒ 2002 වසරේ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමත්, ඉන්දියාවත් අතර පැවති අවසන් මහා තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවීමෙන් අනතුරුව ශූරතාවය කණ්ඩායම් දෙකටම පිරිනැමීමත් සමඟයි. 2004, 2006, සහ 2009 වසරවල පැවති තරගාවලිවල දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වන්නට සිදු වූ අතර අවසන් වරට පැවති තරගාවලියේ පළමු වටයේ තරගවල දී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය පරාජය කරමින් අර්ධ අවසන් වටය දක්වා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගාවලියේ ශූරතාවය දිනා ගත් ඉන්දියානු කණ්ඩායම හමුවේ අර්ධ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

[rev_slider ct17-dsccricket]

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම

තරගාවලියේ පුහුණු තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ සාමාන්‍ය 45.4ක් ලෙස සටහන් වූ අතර ඔවුන් ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ පැවති තරග හතරේ දී ප්‍රතිවාදීන්ට ලකුණු 1135ක් ලබා දෙද්දී දවා ගැනීමට සමත් වූයේ කඩුලු 25ක් පමණි. ඒ අනුව තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම උදෙසා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම අවස්ථාවක් ලබා දුන්නත් ඔවුන් එම තරගවල දී දැක්වූ දක්ෂතා වලට අනුව එයින් ප්‍රයෝජනයක් වූවා යැයි සිතීමට අපහසුය.

කෙසේවුවත් 2015 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව ලසිත් මාලිංග කණ්ඩායමට පැමිණීම තුළින් ශ්‍රී ලංකා පන්දු යැවීම ශක්තිමත් වී ඇත. මාලිංගගේ පන්දු යැවීමේ වේගයේ අඩුවක් සිදු වී ඇතත් ඔහු මෙම තරගාවලියේ දී සිය උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට කටයුතු කරනු ඇත. ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති පුහුණු තරගයේ දී පන්දුවාර 8ක දී ලකුණු 32ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් දවා ගනිමින් ඔහු තවමත් දක්ෂතා අතර සිටින බව ඔප්පු කිරීමට සමත් විය. සිය හතරවැනි ශූරයින්ගේ කුසලානයට ක්‍රීඩා කරන මාලිංග, නුවන් කුලසේකර සමඟ එක්ව තරගයේ ආරම්භක සහ අවසාන පන්දුවාර කිහිපයේ දී තරගයේ වාසිය තම කණ්ඩායම දෙසට යොමුකර ගන්නට උත්සාහ දරනු ඇත.

>> ශ්‍රී ලංකාව දස්කම් දැක්වූ 2002 ශූරයින්ගේ කුසලානය

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පැවති තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ සාමාන්‍යය 46.65ක් ලෙස සටහන් වන අතර ලකුණු ලබා දීමේ සාමාන්‍ය 6.08ක් ලෙස සටහන් වේ. ඒ අනුව මෙවර ශූරයින්ගේ කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් 08 අතරින් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පැවති තරගවල දී දුර්වලම පන්දු යැවීමේ වාර්තාව සහිත කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කෙසේ වුවත් 2015 වසරේ සිට එක්දින තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් (21 ක්) ලබාගෙන ඇති පන්දු යවන්නා වන සුරංග ලක්මාල් හෝ ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේ දී හොඳින් පන්දු යැවූ නුවන් ප්‍රදීප් තුන්වන වේගපන්දු යවන්නා ලෙස කණ්ඩායමට එක් වෙනු ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට නායක ඇන්ජෙලෝ මැතිව්ස් හා අසේල ගුණරත්න සමඟ එක්ව මැද පන්දුවාරවල දී ප්‍රතිවාදීන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කිරීමේ වගකීම පැවරෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අතීතයේ සිට දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයින්ගෙන් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් වූ කණ්ඩායමක් වන අතර මෙම තරගාවලියේ දී එම වගකීම ජාත්‍යන්තර එක්දින තරග 06ක් පමණක් ක්‍රීඩා කර ඇති වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් හට පැවරී ඇත. ඔහු සමහර අවස්ථාවල දී ප්‍රතිවාදීන් හට ලකුණු ලබා ගැනීමට ඉඩ හසර ලබා දුන්නත්, පිතිකරුවන්ට හිතකර එංගලන්ත තණතීරුවල දී ඔහුගේ පන්දු යැවීමේ රටාව ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත.

පවතින සීත, සුළං සහිත කාළගුණ තත්වය යටතේ කණ්ඩායමට සඳකැන් හා සීක්කුගේ දඟපන්දු යවන්නන් දෙදෙනාම ඇතුළත් කරනවා ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවරක් සිතීමට සිදුවනු ඇත. කෙසේ වුවත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එය වැදගත් විය හැකි සම්භාවිතාවක් ද පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ශක්තීන් හා දුබලතා  

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරගවල දී පිතිකරණ අංශයෙන් දැඩි පසුබෑමක් පෙන්නුම් කළ අතර එමනිසා  අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන නායක ඇන්ජෙලෝ මැතිව්ස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් සහ අයි.සී.සී. ය මඟින් සංවිධානය කරන තම ප්‍රථම තරගාවලියට සහභාගී වන කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල වැනි ක්‍රීඩකයින් හට විශාල පීඩනයක් ගෙනදෙනු ඇත.

කෙසේ වුවත් උපුල් තරංග සමඟින් ප්‍රහාරාත්මක පිතිකරු දික්වැල්ල ආරම්භක පිතිකරු යුගලය ලෙසත්, ඉන් අනතුරුව ලකුණු අතර සිටින කුසල් මෙන්ඩිස්, කඩුල්ලේ රැඳෙමින් ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල් සහ නායක ඇන්ජෙලෝ මැතිව්ස් සිටින නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ තරමක ස්ථාවරත්වයක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා කණ්ඩයමට අසේල ගුණරත්න සහ චාමර කපුගෙදර පිතිකරණයෙන් දායක වන අයුරු අතිශය වැදගත් වනු ඇත.

ඔවුන් දෙදෙනාම වයසින් මුහුකුරා ගිය ක්‍රීඩකයින් වන අතර තරගයක් ජයග්‍රහණය කරා රැගෙන යාමේ දක්ෂතාවය ඔවුන් දෙදෙනා තුළම පවතී. විශේෂයෙන් අසේල ගුණරත්න ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරග 3ක පන්දුවාර 20 තරගාවලියේ දී ඔහුගේ පිතිකරණ දක්ෂතා මැනෙවින් ප්‍රදර්ශනය කරන්නට සමත් විය. සීක්කුගේ ප්‍රසන්න සහ තිසර පෙරේරා කණ්ඩායම සඳහා තේරී පත්වුවහොත් ඔවුන් දෙදෙනාට ද අවසාන පන්දුවාර කිහිපයේ දී ලකුණු ලබා ගැනීමට විශාල වගකීමක් පැවරෙනු ඇත.

2015 අප්‍රේල් 01 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම 49.97% ක ලකුණු ලබා නොගත් පන්දු ප්‍රතිශතයක් පෙන්නුම් කරන අතර 11 සිට 40 වන පන්දුවාරය දක්වා ලකුණු ලබාගෙන ඇති දළ වේගය 5.06 කි. එය ද තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 08 අතරින් වාර්තා වී ඇති දුර්වලම දක්ෂතාවය යි. කෙසේ වුවත් මෙම තරගාවලියේ දී එම අංශ දියුණු කර ගැනීමේ කෙරෙහි ඔවුන් අවධානය යොමු කරනු ඇත.

>> IPL ඉතිහාසය තුල බිහි වූ හොඳම ක්‍රිකට් කණ්ඩායම

පැවති පුහුණු තරග දෙකේ දී ම ලකුණු 300 සීමාව පසුකර යන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වූ අතර පිතිකරුවන් කිහිප දෙනෙක්ම ලකුණු අතරට පැමිණීමට ද සමත් විය. ප්‍රබල දකුණු අප්‍රිකානු සහ ඉන්දියානු කණ්ඩායම් වලට සහ පකිස්ථාන කණ්ඩායමට හොඳ තරගයක් ලබා දීමට නම් එම තරගවල දී ද ඔවුන්ට දක්ෂතා අතරට පැමිණීමට සිදුවනු ඇත.  

පන්දු රැකීමේ දුර්වලතා

කලක ලෝකයේ හොඳම පන්දු රැකීම සහිත කණ්ඩායම් අතර සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට වර්තමානයේ පන්දු රැකීම සම්බන්ධයෙන් බොහෝ විවේචන එල්ල වේ. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සහ කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉහළ තත්වයක තිබෙනු ඇතැයි තහවුරු කර ඇත. පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කුමක් කළත් තරග ජයග්‍රහණය කිරීමට නම් පන්දු රැකීම අතිශය වැදගත් වේ.

අවසාන වශයෙන්

ශ්‍රී ලංකා කණ්ඩායමට ආදරය කරන ශ්‍රී ලංකා වාසී ක්‍රිකට්ලෝලීන් ශ්‍රී ලංකාව ශූරතාවය දිනා ගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගෙන සිටියත් මෙවර ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති අවස්ථාව ඉතා සීමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු දක්ෂතා අතර නොසිටියත්, අයි.සී.සී. ය මඟින් සංවිධානය කරන තරගාවලිවල ශ්‍රී ලංකා කණ්ඩායම දක්වා ඇති දක්ෂතා හේතුවෙන් ප්‍රතිවාදීන්ට ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කිරීමේ කිසිදු හැකියාවක් නොමැත.

‘B’ කාණ්ඩයේ සිටින යෝධයින් දෙපල වන දකුණු අප්‍රිකාව හෝ ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් පකිස්ථාන කණ්ඩායම පරාජයට පත්කරමින් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුවේ. කෙසේ වුවත් එසේ කිරීමට නම් කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලුම දෙනාටම එක්වී තම උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සිදුවනු ඇත.

වැදගත් මත

“ශූරයින්ගේ කුසලානය දිනා ගැනීම තරමක් අපහසු කාර්යයක්. මෑත දී පැවති තරගවල ප්‍රතිඵලය එයට සාක්ෂි දරනවා. නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්ෂතා ප්‍රදර්ශනය කරලා තිබෙනවා වගේම ඔවුන් තම හැකියාවන් දියුණු කර ගන්න ගොඩක් මහන්සි වෙලා තිබෙනවා. දිනෙන් දින දියුණු වෙන කණ්ඩායමක් හැටියට අපිට ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒක ලොකු අභියෝගයක්. නමුත් අපි ඒ පිළිබඳව සූදානමින් සිටින්නේ.” ග්‍රැහැම් ෆෝඩ්

“මං හිතන්නේ අපි මූලික දේවල් ගැන අවධානයෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක්. ඒ වගේම අපි එංගලන්තයේ දී හොඳින් ක්‍රීඩා කරන්න සමත් වෙලා තිබෙනවා. විශේෂයෙන් 2014 වසරේ එංගලන්ත සංචාරයේ දී. අපි එම තරගවලින් යමක් ලබා ගන්න උත්සාහ කරනවා. ඔව්, අපිට ඉන්නේ තරුණ, අත්දැකීම් අඩු කණ්ඩායමක් තමයි. නමුත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ටම එංගලන්තයේ ක්‍රීඩා කරලා අත්දැකීම් තිබෙනවා. ඒ වගේම ඕනෑම තරගයක ප්‍රතිඵලයක් ඕනෑම වෙලාවක වෙනස් කරන්න ඕනෑම ක්‍රීඩකයෙක්ට හැකියාව තිබෙනවා. ඒ වගේම අපි දක්ෂතා වලින් සවිමත්. හැකියාවන් තිබෙන ක්‍රීඩකයින් සිටිනවා කණ්ඩායමේ. අපිට කරන්න තිබෙන්නේ පිටියට ගිහින් හොඳින් ක්‍රීඩා කරන එක පමණයි.” ඇන්ජෙලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, සුරංග ලක්මාල්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, අසංක ගුරුසිංහ – කණ්ඩායම් කළමණාකරු, රංජිත් ප්‍රනාන්දු – සංචාරයේ කළමණාකරු, ග්‍රැහැම් ෆෝඩ් – ප්‍රධාන පුහුණුකරු, ඇලන් ඩොනල්ඩ් – උපදේශක වේග පන්දු පුහුණුකරු, නික් පෝතස් – පන්දු රැකීමේ පුහුණුකරු, නික් ලී – පුහුණු කරන්නා, අජන්ත වත්තේගම – භෞතචිකිත්සක, ශ්‍රී රාම් සෝමායජුලා – විශ්ලේෂක, රොහාන් ප්‍රියදර්ශන – සම්භාහක

පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකා තරග කාල සටහන

  • ජූනි 03 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව – කෙනිංටන් ඕවල්, ලන්ඩන්
  • ජූනි 08 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව – කෙනිංටන් ඕවල්, ලන්ඩන්
  • ජූනි 12 – ශ්‍රී ලංකාව සහ පකිස්ථානය – සොෆියා ගාර්ඩ්න්ස්, කාඩිෆ්

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට