රෝද පුටු ටෙනිස් තරගාවලියේ දී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉහළ දස්කම්

115

දින 5ක් පුරාවට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ පැවති ‘ITF Futures’ විවෘත රෝදපුටු ටෙනිස් තරගාවලියේ දෙවැනි සතියේ තරගවල දී ඊට සහභාගී වූ ක්‍රීඩකයින් රන් පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය.

එහි දී ගාමිණී දිසානායක විශිෂ්ට දස්කම් දක්වමින් පිරිමි කේවල ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර එහි පිරිමි යුගල තරග ඉසව්ව සඳහා සහභාගී වූ රණවීර සහ ධර්මසේන ද එම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට සමත් විය. දිසානායක පසුගිය වසරේ ශ්‍රී ලංකා ජාතික ටෙනිස් ශූරතාවයත්, මැලේසියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාවයත් දිනා ගැනීමට සමත් වූ නමුත් ඉන් අනතුරුව ධර්මසේන සහ රණවීර විසින් ඔහුව අභිබවමින් යුගල මෙන්ම කේවල ඉසව්වල දී ද ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. ඒ මැලේසියාවේ, තායිලන්තයේ සහ බැංකොක්වල දී පැවැත්වූ තරගාවලිවල දී ය.

දිනූක සහ තිළිණි අම්බලන්ගොඩ බැඩ්මින්ටන් උරුමය රැක ගනී

දේශීය බැඩ්මින්ටන් පිටියේ අම්බලන්ගොඩ ක්‍රීඩකයින් විසින් මෙතෙක් රැකගෙන ආ උරුමය තව…

ගාමිණී දිසානායකගේ ජයග්‍රහණ ගමන්මග

තරගකරුවන් 32ක් අතරින් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ රැඳෙමින් තරගාවලිය ආරම්භ කළ ඔහු ශූරතාවය හිමි කර ගැනීමට පෙර තරග වට 5කට ක්‍රීඩා කරනු ලැබීය. ඒ අනුව පළමු වටයේ එල්. සේනාරත්න, දෙවන වටයේ කරුණාකරන් කාර්තික් සහ තෙවන වටයේ දී සුරේෂ් ධර්මසේන යන ක්‍රීඩකයින් අභිබවමින් තරගාවලියේ අවසන් පූර්ව තරග වටය සඳහා පිවිසි දිසානායක එහි දී ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානය හිමිකරගෙන සිටි කාලෝස් ඇන්කර් 6/2 හා 6/0ක් වශයෙන් පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය. ඒ අනුව මීගමුවේ පැවති පළමු සතියේ තරගවල දී සුරේෂ් ධර්මසේන හමුවේ පරාජයට පත්වූ ශ්‍රේණිගත කිරීම් අනුව පළමු වන ස්ථානයේ පසු වූ දකුණු කොරියාවේ හා-ගෙල් ලී සමඟ පැවති අවසන් තරගය 6/2 හා 6/4ක් වශයෙන් පහසුවෙන් ජයග්‍රහණය කළ දිසානායක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.  

ධර්මසේන-රණවීර ජයග්‍රහණ ගමන්මග

පසුගිය වසරේ ලබාගත් ජයග්‍රහණ සමඟින් ඔවුන් ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානයේ සිටිමින් තරගාවලිය ආරම්භ කළ අතර ඔවුන්ට පළමු වටයේ දී තරගයකින් තොරව දෙවන වටයට යාමට අවස්ථාව හිමි විය. ඒ අනුව ඔවුන්ට ලැබුණු අපහසුම තරග වටය වූයේ අර්ධ අවසන් පූර්ව වටයේ දිසානායක සහ සේනාරත්න හමුවේ පැවති තරගය යි. තරග වට 3කින් අනතුරුව එම තරගයේ ජයග්‍රහණය හිමි කර ගත් ඔවුන් අවසන් මහා තරගයේ දී දකුණු කොරියානු යුගලය වූ හන්-ගෙල ලී සහ සැන්-හෝ ඕ ලකුණු 6/4 හා 6/4 බැගින් පරාජයට පත්කරමින් එහි යුගල ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මේ වන විට තුන්වන සතියේ තරග SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන SSC විවෘත තරගාවලියේ තරග සමඟින් පැවැත්වෙමින් තිබෙන අතර එහි ඡායාරූප ඇතුළු අනෙක් තොරතුරු සඳහා ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<