අසංලකට ටෙස්ට් වරම්; චන්දිමාල් සංචිතයෙන් ඉවතට

3654

සංචාරක එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නිමා වූ පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පාදයේ මාංශ පේශි ඇදීමකට ලක්වී ඇති නිසාවෙන් මේ මස 14 වැනිදා ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ඔහු ක්‍රීඩා නොකරනු ඇත.

ඒ නිසාවෙන් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දෙවැනි ටෙස්ට් තරගයට චන්දිමාල් නෑ?

එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ගේ පාදයේ මාංශ පේශි ඇදීමකට ලක්වී ඇති…

පසුගිය දා ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 211කින් පරාජයට පත්වූ අතර තරගය ආරම්භ වූ පළමු දිනයේ දෙවන කාල පරිච්ඡේදය තුල පිටියේ පන්දු රකිමින් සිටිය දී චන්දිමාල්ගේ පාදයේ මාංශ පේශි ඇදීමකට ලක්වී ඇත. එතැන් සිට පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලැබුණේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හටයි.

වයස අවුරුදු 21ක් වන අසලංක ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර මේ වන විට පළමු පෙළ ක්‍රිකට් තරග 29කට ක්‍රීඩා කර ඇති ඔහු, එක් ශතකයක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1185ක් ලබාගෙන තිබෙන අතර පන්දු යැවීමෙන් කඩුලු 24ක් ද දවාගෙන ඇත.

එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් කිහිප දෙනා අතර ද නොසිටි අසලංක, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමඟ එංගලන්තයට එරෙහිව කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි පුහුණු තරගයේ දී ලකුණු 68ක් රැස්කර ගැනීමට සමත් විය.

ගාල්ලෙන් ඇරඹී ගාල්ලෙන්ම නිමා වූ විශිෂ්ටයාගේ සුවිශිෂ්ට මෙහෙවර

2010 වසරේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් නික්ම යාමෙන් පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තරග ජයග්‍රහණය කිරීමට තරමක් අපහසු වනු ඇති බවට එම අවදියේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්…

දිනේෂ් චන්දිමාල් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකරන නිසා මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටින දකුණතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකරුවෙක් වන  රොෂේන් සිල්වා, චන්දිමාල්ගේ ස්ථානය පිරවීමට වැඩි ඉඩකඩක් තිබෙන අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙත ලබා දී තිබේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 14 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර මේ වන විට 1-0ක් ලෙස සංචාරක එංගලන්ත කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<