දෙවැනි ටෙස්ට් තරගයට චන්දිමාල් නෑ?

2590

එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ගේ පාදයේ මාංශ පේශි ඇදීමකට ලක්වී ඇති නිසාවෙන් මේ මස 14 වැනිදා ආරම්භ වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත වීමට වැඩි ඉඩකඩක් තිබේ.

ශ්‍රී ලංකා පිතිකරුවන් නිසාවෙන් හේරත්ට අමිහිරි සමුගැනීමක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දිනයක් ඉතිරිව නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු…

ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 211කින් අද (9) පරාජයට පත්වූ අතර තරගය ආරම්භ වූ පළමු දිනයේ දෙවන කාල පරිච්ඡේදය තුල පිටියේ පන්දු රකිමින් සිටිය දී චන්දිමාල්ගේ පාදයේ මේ මාංශ පේශි ඇදීම සිදු විය. එතැන් සිට පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලැබුණේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හටයි.

“චන්දිමාල්ගේ ආබාධය පළමු මට්ටමේ ආබාධයක් වන නිසා අපි ඔහුව තව දින 10-14ක් වගේ කාලයක් හොඳින් නිරීක්ෂණය කරනවා. ඒ නිසා දෙවන ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගිත්වය යම් හෙයකින් අවිනිශ්චිත වෙන්න පුළුවන්. චන්දිමාල්ගේ ශාරීරික යෝග්‍යතාවය මේ වන විට 100% මට්ටමේ නැහැ. ඔහු දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ නැත්නම් අපි ඔහු වෙනුවෙන් සංචිතයට හෝ කණ්ඩායමට ක්‍රීඩකයෙක් ආදේශ කරන්න බලනවා.” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා තරගය අවසන් වීමට පසුව මාධ්‍යට පැවසීය.

ගාල්ලෙන් ඇරඹී ගාල්ලෙන්ම නිමා වූ විශිෂ්ටයාගේ සුවිශිෂ්ට මෙහෙවර

2010 වසරේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් නික්ම යාමෙන් පසු ශ්‍රී ලංකාවට…

දිනේෂ් චන්දිමාල් සිය ශාරීරික යෝග්‍යතාවය 100% මට්ටමේ නොතිබුණ ද සිය කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයේ නිරත වූ අතර ඔහුට ඉනිම දෙකේ දී ම ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 34ක් පමණි.

යම් හෙයකින් දිනේෂ් චන්දිමාල් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට තරම් උචිත ශාරීරික යෝග්‍යතාවයක පසු නොවුවහොත් මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටින දකුණතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකරුවෙක් වන  රොෂේන් සිල්වා චන්දිමාල්ගේ ස්ථානය පිරවීමට වැඩි ඉඩකඩක් තිබේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 14 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර මේ වන විට තරග 1-0ක් ලෙස සංචාරක එංගලන්ත කණ්ඩායම තරගාවලියේ ඉදිරියෙන් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<