දිමුත් වසරේ ටෙස්ට් කණ්ඩායමට!

260

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් අද (22) නිවේදනය කළ අතර ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා පිළේ නිත්‍ය ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නව තෝරාගෙන ඇත.

මෙම කණ්ඩායම් දෙකේම නායකත්වය හිමිව ඇත්තේ ගෙවුණු 2018 වසර ඉතාමත් සාර්ථක ලෙස නිමා කළ ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිටයි. මෙම කණ්ඩායම් තෝරා ගැනීමේ පිරිසට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම මාධ්‍යවේදීන් ද ඇතුළත් විය.

ශතක දෙකේ වීරයා ශ්‍රී ලංකාවට හිසරදයක් වන ලකුණු!

කර්ටිස් පැටර්සන්, මීට දින කිහිපයකට පෙර නිමාවුණු සිංහ – කැන්ගරු ….

ගෙවුණු වසරේ ටෙස්ට් ඉනිම 17කට ක්‍රීඩා කළ වමත් පිතිකරු දිමුත් කරුණාරත්න එහි දී ලකුණු 743ක් රැස්කරගෙන ඇත්තේ අර්ධ ශතක 7ක් සහ එක් ශතකයක් සමඟයි. එහි දී ඔහු තම ලකුණු සාමාන්‍යය 46.4ක් ලෙස සටහන් කරගෙන ඇත්තේ 2012 වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට අවතීර්ණ වීමෙන් පසු වසරක් තුල දී ලැබූ හොඳම ලකුණු සාමාන්‍යය ලෙසයි. ICCය විසින්ම යාවත්කාලීන කරනු ලබන ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ද දිමුත් 9 වන ස්ථානයේ රැඳී සිටියි.

මේ වන විට ලෝක ක්‍රිකට් කරළියේ වඩාත්ම කතාබහට ලක්වන ක්‍රීඩකයා වන විරාත් කෝලි පසුගිය වසරේ ටෙස්ට් තරග 13කට සහභාගි වී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,322කි. එහි දී ඔහු ශතක 5ක් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු සාමාන්‍යය 55.08ක් ලෙස පවත්වා ගෙන යන්නට ද සමත්ව තිබේ. එසේම ඔහු එක්දින තරග 14කට සහභාගි වෙමින් පසුගිය වසරේ දී එක්කාසු කොට ඇති ලකුණු ගණන 1,202කි. ඒ ශතක 6ක් සහ අර්ධ ශතක 3ක් සමඟයි. ඔහුගේ 2018 වසරේ එක්දින ලකුණු සාමාන්‍යය 133.55ක් ලෙස සටහන්ව ඇත්තේ සමස්ත ක්‍රිකට් ලෝකයම විශ්මයට පත් කරමිනි. මෙවන් ඇදහිය නොහැකි දස්කම් නිසාම කෝලි 2018 වසර නිමා කළේ ජගත් ටෙස්ට් සහ එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම තම නම සටහන් කරමිනුයි.

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන සිංහ-කැන්ගරු ටෙස්ට් සටනේ ඉතිහාසය

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර …

ICCය විසින් ප්‍රකාශයට පත් කළ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් දෙකටම ඇතුළත් වීමට වරම් ලැබී ඇති අනෙක් එකම ක්‍රීඩකයා වන්නේ ඉන්දීය දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාහ්යි. ඔහු ගෙවුණු 2018 වසර නිමා කළේ ටෙස්ට් කඩුලු 48ක් සහ එක්දින කඩුලු 22ක් බිඳ හෙලමිනුයි. ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස තවමත් 21 හැවිරිදි වියේ පසුවන රිශාබ් පන්ට් ව ICCය විසින් නම් කරද්දී එක්දින කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස තෝරාගෙන ඇත්තේ එංගලන්ත ක්‍රීඩක ජෝස් බට්ලර්වයි. ටෙස්ට් කණ්ඩායම සඳහා වැඩිම සහභාගීත්වය ලෙස ඉන්දියාවෙන් සහ නවසීලන්තයෙන් ක්‍රීඩකයින් 3 බැගින් ද, එක්දින කණ්ඩායම සඳහා වැඩිම සහභාගීත්වය ලෙස ඉන්දියාවෙන් සහ එංගලන්තයෙන් ක්‍රීඩකයින් 4 බැගින් ද මෙම කණ්ඩායම් වලට ඇතුළත්ව ඇත.

ICC වසරේ ටෙස්ට් කණ්ඩායම

  1. ටොම් ලේතම් (නවසීලන්තය)
  2. දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව)
  3. කේන් විලියම්සන් (නවසීලන්තය)
  4. විරාත් කෝලි (ඉන්දියාව) (නායක)
  5. හෙන්රි නිකොල්ස් (නවසීලන්තය)
  6. රිශාබ් පන්ට් (ඉන්දියාව) (කඩුලු රකින්නා)
  7. ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්)
  8. කාගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව)
  9. නේතන් ලයන් (ඕස්ට්‍රේලියාව)
  10. ජස්ප්‍රිට් බුම්රාහ් (ඉන්දියාව)
  11. මොහොමඩ් අබ්බාස් (පාකිස්තානය)

ICC වසරේ එක්දින කණ්ඩායම

  1. රෝහිත් ශර්මා (ඉන්දියාව)
  2. ජොනී බේස්ට්‍රෝ (එංගලන්තය)
  3. විරාත් කෝලි (ඉන්දියාව) (නායක)
  4. ජෝ රූට් (එංගලන්තය)
  5. රොස් ටේලර් (නවසීලන්තය)
  6. ජෝස් බට්ලර් (එංගලන්තය) (කඩුලු රකින්නා)
  7. බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)
  8. මුස්ටාෆිසූර් රහ්මාන් (බංග්ලාදේශය)
  9. රශීඩ් කාන් (ඇෆ්ගනිස්තානය)
  10. කුල්දීප් යාදෙව් (ඉන්දියාව)
  11. ජස්ප්‍රිට් බුම්රාහ් (ඉන්දියාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<