ඩිලාන් උදයංගට වසරක තරග තහනමක් පැනවෙන ලකුණු

885
Dilan Udayanga faces a one year ban

යුද හමුදා ක්‍රීඩා සමාජ පාපන්දු ක්‍රීඩක ඩිලාන් උදයංගට එරෙහිව වසරක තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව ඇත. ඒ පසුගියදා කොළඹ තුරග තරග පිටියේදී අවසන් වූ, ඩයලොග් චැම්පියන්ස් ලීග් සුපර් 8 දෙනාගේ වටයේ, ගුවන් හමුදා කණ්ඩායම සමග පැවති තරගයකදී විනිශ්චයකාරවරයා සමග නොමනා අයුරින් වචන හුවමාරුවක යෙදීම හේතුවෙනුයි.

පසුගිය ලිපි: පාපන්දු ක්‍රීඩකයන්ට සම්මේලනයෙන් අලුත් පාඩමක්

මෙම වචන හුවමාරුවට අදාළ සිදුවීම හටගත්තේ තරගයේ 67 වන මිනිත්තුවේදීයි. එහිදී ගුවන් හමුදා ක්‍රීඩක ඩී. කේ. දුමින්ද යුද හමුදාවේ උදයංගට එරෙහිව සිදුකල නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් යුද හමුදාවට නිදහස් පහරක් (Free Kick) ලබා දීමට විනිසුරු පියවර ගන්නා ලදී. කෙසේ වෙතත් උදයංග පන්දුව ස්ථාන ගත කලේ තමන් නිදහස් පහර නියම කල ස්ථානයට වඩා ඉදිරියෙන් වීම නිසා විනිසුරු බුද්ධික ඩයස් නියම කලේ පන්දුව අඩි කිහිපයක් පසුපසට ගැනීමටයි.

නමුත් විනිසුරු ඩයස්ගේ නියමය ක්‍රියාත්මක කරමින් පන්දුව පසුපසට ගැනීමට දෙවන වතාවටත් උදයංග ක්‍රියා නොකිරීම හේතුවෙන් යලිත් වරක් ඔහුට එම නියෝගය කිරීමට විනිසුරුවරයාට සිදුවිය. ඒ සමගම උදයංග විනිසුරුවරයා සමගින් වචන හුවමාරුවකට පැටලුනු අතර එහිදී ඔහු නොමනා වචන භාවිත කරමින් විනිසුරුවරයා අමතන බවක් දක්නට ලැබුණි. එහිදී විනිසුරු ඩයස් හට සිදුවුනේ උදයංගට කහ කාඩ්පත් අවවාදයක් ලබා දීමටයි. කෙසේ වෙතත් පළමු අර්ධයෙදීද ඔහුට විරුද්ධව කහ කාඩ්පත් අවවාදයක් ලැබී තිබුණු හෙයින් තරග නීති රීති අනුව රතු කාඩ්පතක් ලබාදී උදයංගව ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීම හැර විනිසුරුවරයාට වෙනත් පියවරක් ඉතිරිව නොතිබුණි.

අනතුරුව ගුවන් හමුදා කණ්ඩායම තරගයේ පෙරමුණ ගන්නට සමත් වුවද තරගයේ අවසන් තත්ත්පර කිහිපයේදී ලකුණු සමකරමින් ගෝලයක් වාර්තා කරන්නට එක් ක්‍රීඩකයෙක් අඩුවෙන් තරග වැදුණු යුද හමුදා කණ්ඩායමට හැකි විය.

මෙවන් සිදුවීමක් මේ වසර තුල වාර්තා වූ පළමු අවස්තාව මෙය නොවේ. මාස කිහිපයකට පෙර FA කුසලාන අවසන් මහා තරගයේදී රිනවුන් ක්‍රීඩා සමාජයේ ෆ්‍රැන්සිස් ඇග්බේටි (Francis Agbeti) හට මෙවන්ම  කාඩ් පතක් ලබා දීමට කටයුතු කල අතර පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන විනය කමිටුව තීරණය කළේ ඔහුට වසරක තරග තහනමක් පැනවීමටයි.

එම සිදුවීමේ ප්‍රතිවාදීන් වූ යුද හමුදා කණ්ඩායම එම තරගය ගෝල 3 – 1ක් ලෙස ජයගෙන FA කුසලාන ශූරයන් බවට පත්විය.

අදාළ සිදුවීමෙන් පෙනීයන්නේ විනය කමිටුව මෙවන් වැරදි සම්බන්ධයෙන් ඉතා දැඩි ස්ථාවරයක සිටින බවයි. තරග තහනමේ දිග (කාලය) තරමක් ගැටලුකාරී වුවත් විනය කමිටුවේ දැඩි ස්ථාවරය අනෙකුත් ක්‍රීඩකයන්ටත් හොඳ ආදර්ශයකි.

පසුගියදා ඇතිවූ සිදුවීම පිලිබඳ විනය කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ දැන ගැනීම සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමට ThePapare.com උත්සාහ දැරුවද, එහි ඉහල නිලධාරීන් කිසිවෙක් මේ පිලිබඳ අදහස් දැක්වීමට ඉදිරිපත් නොවීය.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට