ආසියානු කුසලානයට ලංකාවෙන් ප්‍රවීණ විනිසුරුවරුන් දෙදෙනෙක්

337

පාපන්දු විනිසුරුවරුන් වන දිලාන් පෙරේරා හා පාලිත හේමතුංග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2019 AFC ආසියානු කුසලානයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ඇත. තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.

>>ජාතික පාපන්දු පුහුණුකරු ක්‍රීඩා සමාජ පිළිබඳ අසතුටෙන්

තරගාවලිය ජනවාරි 5 වැනිදා සිට පෙබරවාරි 1 වැනිදා දක්වා පැවැත්වෙන අතර මේ පැවැත්වෙන්නේ AFC ආසියානු කුසලානයේ 17 වැනි අදියරයි. තරගාවලිය සංවිධානය කරන්නේ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) වන අතර මෙම තරගාවලිය ආසියානු කලාපයේ පැවැත්වෙන ප්‍රධානතම පිරිමි පාපන්දු තරගාවලියයි.

තරගාවලියේ විනිසුරු කටයුතු සඳහා ආසියානු පාපන්දු සම්මේලනය විනිසුරුවරුන් 30 දෙනෙක්, සහය විනිසුරුවරුන් 30 දෙනෙක්, අතිරේක විනිසුරුවරුන් දෙදෙනෙක් හා අතිරේක සහය විනිසුරුවරුන් දෙදෙනෙක් බැගින් නම් කර තිබුණි. මේ විනිසුරුවරුන් අතරට CONCACAF සම්මේලනයේ එක් විනිසුරුවරයෙක් හා සහය විනිසුරුවරුන් දෙදෙනෙක් ද ඇතුළත්.  

වීඩියෝ පුනරූපන දර්ශන විනිසුරුවරුන් ද අර්ධ අවසන් පූර්ව වටයේ සිට ක්‍රියාත්මක අතර සෑම තරගයකම ප්‍රධාන විනිසුරු හා ඔහුගේ සහය විනිසුරුවරුන්ට අමතරව තවත් සහය විනිසුරුවරුන් දෙදෙනෙක් කණ්ඩායම් දෙකේ ගෝල රාමුව අසල රැඳෙනු ඇත.

Video – “අපි Playersලට discipline තියාගන්න හැමතිස්සෙම කියනවා” – සුමිත් වල්පොල

දිලාන් පෙරේරා ශ්‍රී ලංකාව බිහි කළ අත්දැකීම් බහුලතම විනිසුරුවරයෙක් වන අතර ඔහු මෙම තරගාවලියේ දී ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ඇත. පාලිත හේමතුංග මහතා සහය විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මෙම විනිසුරුවරුන් දෙදෙනාටම ලැබෙන පළමු තරගය වන්නේ දකුණු කොරියාව හා කටාර් රාජ්‍යය අතර පැවැත්වෙන E කාණ්ඩයේ තරගයයි. එමෙන්ම පාලිත හා දිලාන් යන දෙදෙනාම 2015 ඕස්ට්‍රේලියාවේ පැවති ආසියානු කුසලානයේ ද විනිසුරුවරුන් ලෙස කටයුතු කළේය.

තවද නිවොන් රොබේෂ් හා ප්‍රියංග පල්ලියගුරුගේ ද අතිරේක සහය විනිසුරුවරුන් ලෙස තරගාවලියට කැඳවා ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<