එකට එක්ව පිත්තේ රිද්මය සොයා ගත් අඹ යහළුවෝ

1074

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම ආරම්භක පිතිකරණ සුසංයෝගය වූ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තුන්වන එක්දින තරගයේ කඩුලු 8ක ජයග්‍රහණයක් වෙත ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන යාමේ නියමුවන් විය.

ධනුෂ්ක – දික්වැල්ල වික්‍රමය නිසා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

අද (06) සූරියවැව දී ඇරඹුණු තෙවැනි එක්දින තරගයේ දී ප්‍රතිවාදී සිම්බාබ්වේ පිතිකරුවන් මුලින් පන්දුවට පහර දෙමින් ලකුණු 310ක් රැස් කලද ඊට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම…

පසුගිය දශකය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල්පෙළ ලකුණු රැස් කිරීමේ වගකීම වැඩි වශයෙන් ඉටු කළේ සනත් ජයසුරිය, ටී. එම්. දිල්ශාන් සහ උපුල් තරංග වැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකි. කෙසේ වෙතත් ඔවුන්ගේ සමුගැනීම් සහ පිතිකරණ ලැයිස්තුවේ පහළට වැටීම් හමුවේ නිසි ආරම්භක සුසංයෝගයක් සොයා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැඩි හිසරදයක් වූ කරුණකි. 2019 ක්‍රිකට් තරගාවලියට වසර 2කටත් අඩු කාලයක් ඉතිරිව ඇති මොහොතක අවසානයේ දී ශ්‍රී ලංකාව සොයමින් සිටි යොවුන්, ජවසම්පන්න නිවැරදි ආරම්භක පිතිකරු යුගලය සොයා ගන්නට හැකි වී ඇති බවක් දක්නට ලැබේ.

DSC_5141තරග ජයග්‍රහණය  සාධකය වූ ලකුණු 229ක ආරම්භක සබඳතාවේ එක් කොටස්කරුවෙකු වෙමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත් ධනුෂ්ක ගුණතිලක සිය තරග සැලසුම් පිළිබඳ පැවසුවේ මෙලෙසිනි. ”මම වේගවත් ලෙස පහර දීම ආරම්භ කළා. නමුත්  අනතුරුව අපි තරගයට අදාළ අයුරින් පිතිකරණ රටාව වෙනස් කර ගත්තා. ඔහු (දික්වැල්ල) වේගයෙන් පහර දෙන වෙලාවේ මම ඔහුගේ සහාය පිතිකරු ලෙස ක්‍රීඩා කළා. මට වේගයෙන් ලකුණු ලබා ගැනීමට හැකි අවස්ථාවල දී ඔහු මට පහර දීමට වැඩි අවස්ථාවක් ලබා දුන්නා.” වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණතිලක ”මුලින්ම අපි ලබා ගැනීමට තිබෙන ඉලක්කය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළේ නැහැ. මොකද අපි දැන ගෙන හිටියා අපිට ප්‍රබල පිතිකරණ ලැයිස්තුවක් තිබෙන නිසා අපෙන් අවශ්‍ය සාර්ථක ආරම්භයක් පමණයි කියලා, අපිට අවශ්‍ය වුණේ හොඳ අඩිතාලමක් සැකසීමෙන් පසු පන්දුවාර 20ක දී පමණ තරගයේ ඉදිරිය පැහැදිලි  කිරීමට.” යැයි පැවසීය.

ආරම්භක පිතිකරණ සගයන් වීමට අමතරව ගුණතිලක සහ දික්වැල්ල පිටියෙන් එපිටද ඉතා සමීප මිතුරන් වෙයි. ඔවුන් දෙදෙනා එකිනෙකාගේ සමාජ ජාලා මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ නිතර දක්නට ලැබෙන්නේ සිය විවේක කාලයන් පවා එක්ව ගත කරන අයුරුයි.

”මගේ කුඩා කාලයේ සිටම දික්වැල්ල මගේ හොඳම මිතුරන් 4 දෙනා අතුරින් එක්කෙනෙක්. අපි පිටියෙන් එපිටත් හොඳ මිතුරන් වීම නිසා පිටිය තුල ඔහු සමඟ එක්ව ක්‍රීඩා කිරීම ඉතාම පහසුයි. මම සතුටු වෙනවා අපි දෙදෙනාටම එකම තරගයේ දී මංගල ශතක වාර්තා කිරීමට ලැබීම පිළිබඳව. ඔහුගේ පිතිකරණයටත් හොඳ ඇගයීමක් ලැබිය යුතුයි, මොකද එය ඉතාම විශිෂ්ට ඉනිමක්.” ඊයේ තරගයෙන් පසු ගුණතිලක පැවසීය.

මෙම තරගයට පෙර ඔවුන් දෙදෙනාටම විචාරකයන්ගෙන් එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වුණේ වේගවත් ආරම්භයන් ලබා ගත්ත ද දිගු ඉනිම් ගොඩ නැගීමට අවධානය යොමු නොකිරීමයි. මීට පෙර ඔවුන් දෙදෙනාම කිසිදු ජාත්‍යන්තර ශතකයක් වාර්තා කර නොමැති අතර දෙදෙනා ක්‍රීඩා කර ඇති ඉනිම 58ක දී අර්ධ ශතක 12ක් (දෙදෙනාගේම එකතුව) පමණක් වාර්තා කර තිබුණි.

”අපි අවස්ථා කිහිපයක දී ම සාර්ථක ආරම්භයන් ලබා ගෙන තිබුනත් ඒවා තරග දිනවිය හැකි දිගු ඉනිම් බවට පරිවර්තනය කර ගැනීමට අසමත් වුනා. අපි මේ පිළිබඳ ළඟදී සාකච්ඡා කරලයි තිබුණේ. අපි දෙදෙනාටම ලොකු උවමනාවක් තිබුණා මංගල ශතක වාර්තා කරන්නට. මම විශ්වාස කරනවා මේ ඉනිම දෙක තුලින් අපි ඉගෙන ගත්තා කියලා දිගු ඉනිම් ගොඩනගන ආකාරය ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ දී ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගනිමින් පිතිකරණයේ යෙදෙන්නට.” දිගු ඉනිම් ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳ ගුණතිලක අදහස් දැක්වූයේ එලෙසින්.  

DSC_5047දික්වැල්ල තමන්ගේ ලකුණු සංඛ්‍යාවෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ කඩුල්ලෙන් පසුපසට පන්දුව යොමු කරමිනුයි. ස්කූප් පහර, ලේට් කට් පහර සහ සාමාන්‍ය මෙන්ම රිවර්ස් ස්වීප් පහර ද ඔහුගේ පිතිකරණ ආයුධ ගබඩාවේ ප්‍රධාන අවි බවට පත්වූ අතර, ගුණතිලක සුපුරුදු පරිදි පන්දුව එන මාවත හරහා පහර දුන්නේ ආයාසයකින් තොරව පසු පාදයේ සිට එල්ල කරන පුල් පහර මෙන්ම පෙර පාදයේ දර්ශනීය ඩ්‍රයිව් පහර රැසක්ද උපයෝගී කර ගනිමිනුයි.

”ඔවුන් පන්දුවට පහර දෙන ආකාරය දෙස බලා සිටීම ඇත්තෙන්ම සතුටක් වුනා. ප්‍රධානම කරුණ තමයි ඔවුන් ලකුණු 50ක් 60ක් ලබා ගෙන අවස්ථාව අපතේ නොහරින තත්ත්වයට පත්ව ඇති බව දැකීම. ඔවුන් තමන්ට අවශ්‍ය වූ දස්කම දැක්වුවා. ඔවුන්ට තරගය අවසන් කරන්නට නොහැකි වීම තමයි කනගාටුවට කරුණක් වුණේ. නමුත් එය විශිෂ්ට පිතිකරණ දක්ෂතාවක්. නිරෝෂන් කිසිම විටෙක බියට පත් නොවන ක්‍රීඩකයෙක්. ඔහුට අවශ්‍ය හැම පන්දු යවන්නේකුටම පහර දීමට. එය පිතිකරුවෙකුට සුදුසු ආකල්පයක්.” නායක ඇන්ජලෝ මැතිව්ස් තම යොවුන් ආරම්භක පිතිකරුවන් පිළිබඳ ප්‍රශංසාත්මක මුඛයෙන් අදහස් පල කරන ලදි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට