දික්වැල්ලට සහ රබාඩාට දඩයක් සමඟින් දඬුවම් ලකුණු 3ක්

3751

කේප්ටවුන් හිදී පසුගිය අඟහරුවාදා (07) පැවැත්වුණු සිව්වැනි එක්දින තරගය අතරතුර පෙන්වූ නොමනා හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලගේ සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩාගේ තරග ගාස්තුවෙන් සියයට 50ක් කපා හැරීමට ICCය තීරණය කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනා ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩා සහයක පුද්ගලයින් සඳහා වන ICC චර්යා ධර්ම පද්ධතියේ 2.2.7 වගන්තිය කඩ කිරීම හේතුවෙනි. මෙහි ක්‍රීඩකයින්, සහයක පුද්ගලයින්, විනිසුරුවරුන්, තරග තීරක හෝ වෙනත් පුද්ගලයෙක් (නරඹන්නෙකු පවා) සමඟ ජාත්‍යන්තර තරගයක දී අනවශ්‍ය පරිදි හිතා මතා ඇතිකර ගන්නා භෞතික ඝට්ටනයන් පිලිබඳව කරුණු දක්වා ඇත.

මෙම දඩ මුදලට අමතරව ක්‍රීඩකයින් දෙදෙනාටම ICC විනය වාර්තාවේ දඬුවම් ලකුණු 3 බැගින් එකතු කර තිබේ.

චර්යා ධර්ම පද්ධතියේ 7.6 වගන්තියට අනුව දික්වැල්ල සහ රබාඩා මාස 24ක කාලය ඇතුළත දඬුවම් ලකුණු 4 හෝ ඊට වැඩියෙන් ලබා ගතහොත්, එය තහනම් කිරීමේ ලකුණු යටතට ඇතුළත් කරනු ලබන අතර ඔවුන්ට ජාත්‍යන්තර තරග තහනමක් හිමි වනු ඇත. මෙම තහනම් ලකුණු දෙකක් අදාළ ක්‍රීඩකයා මුහුණ දෙන එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග දෙකක් හෝ විස්සයි විස්ස තරග දෙකක් තහනම් කිරීමට ප්‍රමාණවත් වනු ඇත.

තරගයේ 12වන පන්දුවාරය අතරතුර පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා දිව යාමෙන් අනතුරුව පන්දු යවන්නාගේ අන්තයේ දී දික්වැල්ල සහ රබාඩා එකිනෙකා හා ගැටුනු අතර එය ඔවුනොවුන් මඟ හැරිය හැකි අවස්ථාවක දී ඇති කරගත් අනවශ්‍ය ආකාරයේ ගැටීමක් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

ක්‍රීඩකයින් දෙදෙනාම තමන් අතින් සිදුවූ වරද තේරුම් ගත් අතර ඔවුන් එමිරේට්ස් ප්‍රථම පන්තියේ තරග තීරකයෙකු වන රිචී රිචඩ්සන් විසින් නියම කරනු ලැබූ දණ්ඩනය පිළිගැනීම නිසා තත්වය එතරම් දුරදිග ගියේ නැත.

ගැටුම සමනය කිරීමට පිටියේ විනිසුරුවරුන් ලෙස ක්‍රියා කල ඇඩ්‍රියන් හොල්ඩ්ස්ටොක් සහ රිචඩ් ඉලිංවර්ත්, තෙවැනි විනිසුරු රිචඩ් කෙට්ල්බ්‍රෝ සහ සිව්වැනි විනිසුරු ශෝන් ජෝජ් ක්‍රියා කරන ලදී. ඕනෑම දෙවැනි පන්තියේ විනය කඩ කිරීමේ වරදකට තරග ගාස්තුවෙන් සියයට 50 සිට සියයට 100 දක්වා දඩ මුදලක් නියම කිරීමට ද, තහනම් ලකුණු 2ක් වන තෙක් එකතු කිරීමට ද, දඬුවම් ලකුණු 3ක් හෝ 4ක් ලබා දීමට ද හැකියාව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට