නාවිකයෝ CR හමුවේ ජයග්‍රහණයට පයින් ගසයි!

69

මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී තියුණු සටනකට පසුව නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු තුනකින් පරාජය කරන්නට CR & FC කණ්ඩායම අද (18) දින සමත් විය. ලොන්ඩන් පෙදෙසේ පැවති තරගයේ අවසන් ලකුණු සටහන දිස්වූයේ ලකුණු 27 – 24 ක් ලෙසයි. 

යුද – පොලිස් ගැටුමට ජයග්‍රාහකයෙක් නැහැ

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සතියේ තරගයක් යුද හමුදා ක්‍රීඩා සමාජ…

CR & FC කණ්ඩායම සිය නායකයා වන ඔමල්ක ගුණරත්න සහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන රීසා මුබාරක් යන දෙදෙනාම නොමැතිව මෙම තරගයට පිවිසීම විශේෂත්වයක්. කණ්ඩායමේ නායකත්වයේ වගකීම හිමිව තිබුනේ රීසා රෆායිදින් හටයි. 

තරගයේ ආරම්භයත් සමඟ කණ්ඩායම් දෙකම සිය ලකුණු පුවරු ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරනු දක්නට ලැබිනි. එහිදී රීසා රෆායිදින් දෙවන මිනිත්තුවේ දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර නාවික හමුදාව වෙනුවෙන් ඉසුරු කෝන්ගහවත්ත හත්වන මිනිත්තුවේ දී නාවික හමුදාව වෙනුවෙන් ලකුණු තුනක් එකතු කළේය. (නාවික 3 – 3 CR & FC) 

කණ්ඩායම් දෙකම තරගය පුරා අතපසුවීම් රැසක් සිදු කළ අතර ඒ නිසාම විනිසුරු හට කිහිප වරක්ම තරගය නතර කිරීමට සිදුවිය. 

විනිසුරු ලබා දුන් මිනිත්තුවක කෙටි විවේකයකින් පසුව 25 වන මිනිත්තුවේ දී නාවික හමුදාව වෙනුවෙන් චරිත් සිල්වා තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඉසුරු කෝන්ගහවත්ත එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේය. (නාවික 10 – 3 CR & FC) 

ඊට මිනිත්තු පහකට පසුව නාවික හමුදා ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගිය කළිඳු නන්දිල පන්දුව රීසා රෆායිදින් හට භාර දුන් අතර රීසා රෆායිදින් CR කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. ඔහු විසින්ම එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේ තරගයේ ලකුණු තත්වය සම කරමිනි. (නාවික 10 – 10 CR & FC) 

දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුනු CR & FC කණ්ඩායම වෙනුවෙන් ගයාන් දිල්ශාන් ධවල රේඛාව ඉක්මවා යමින් තවත් උත්සාහක දිනුමක් CR & FC කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළ අතර රීසා රෆායිදින් නැවත වතාවක් නායකත්වයේ වගකීම කරට ගනිමින් අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (නාවික 10 – 17 CR & FC)

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 10 – 17 CR & FC කණ්ඩායම 

දෙවන අර්ධය ආරම්භයත් සමඟම නාවික හමුදා ආරක්ෂක ක්‍රීඩකයින් අතින් ප්‍රබල අතපසුවීමක් සිදුවිය. ඔවුන් අතරින් රිංගා ගිය ජනිඳු දිල්ශාන් පහසුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළේ කිසිඳු අපහසුවකින් තොරවයි. රීසා රෆායිදින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් අමතර ලකුණු එකතු කළේ නාවිකයෝ දැඩි පීඩනයකට ඇද දමමිනි.  (නාවික 10 – 24 CR & FC)

දිගින් දිගටම ලකුණු රැස්කර ගැනීමට උත්සාහ කළත් කණ්ඩායම් දෙකම ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වුනේ පන්දුව පාලනයේ දී දුර්වලතා රැසක් පෙන්වමිනි. 53 වන මිනිත්තුවේ දී CR ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් අතරින් රිංගා ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළ තනුජ මාලිම්බොඩ, නාවික හමුදාව නැවත වතාවක් තරගයට රැගෙන ඒමට සමත් වූවා. ඉසුරු කෝන්ගහවත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සමත් විය. (නාවික 17 – 24 CR & FC) 

විද්‍යා විදුහලට විදේශ බලවේගයක්!

එළඹෙන පාසල් තරග වාරයේ දී ගල්කිස්ස විද්‍යා විදුහලට නව ශක්තියක් වෙමින් කෙටි කාලීන පුහුණුකරුවෙකු වශයෙන්…

56 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් රීසා රෆායිදින් සාර්ථක කර ගත් අතර 59 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් ඔහුට මඟ හැරුනේ තරගයේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරමිනි. ඒ අතර CR & FC කණ්ඩායමේ ෂාරෝ ප්‍රනාන්දු හට කහ කාඩ්පතක් හිමි වූයේ නාවිකයින්ට අමතර වාසියක් ගෙන එමිනි. (නාවික 17 – 27 CR & FC)  

නැවතත් ලකුණු අතරට පිවිසීමට නාවික හමුදා කණ්ඩායම දැඩි උත්සාහයක නිරත වූ අතර CR ක්‍රීඩකයෙකුට හිමි වූ තවත් කහ කඩ්පතක පිහිටෙන් ඔවුන් තරගයේ 65 වන මිනිත්තුවේ දී යළිත් ධවල රේඛාව ඉක්මවා ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේ නාවිකයන්ව යළිත් සටනට රැගෙන එමින්. ඉසුරු කෝන්ගහවත්ත අලංකාර පා පහරකින් පන්දුව ගෝල කණු අතරින් සාර්ථකව යොමුකළේ තරගයේ ලකුණු පරතරය ලකුණු තුනක් බවට පත් කරමිනි.   (නාවික 24 – 27 CR & FC)

තරගයේ 72 වන මිනිත්තුවේ දී මුර්ශිඩ් සුබයිර් CR & FC කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළත් විනිසුරු එය නිෂ්ප්‍රභා කළේ CR & FC ක්‍රීඩක ගයාන් දිල්ශාන් ප්‍රතිවාදියෙකුට අනවශ්‍ය බාධා කිරීමක් කළ බව පවසමින්. 

තරගයේ අවසන් මිනිත්තු කිහිපය ඉතා උද්වේගකර වූ අතර නාවික හමුදාවට අවසන් මොහොතේ හිමි වූ දඬුවම් පහරක් චතුර සෙනෙවිරත්න පිටියෙන් ඉවතට යොමු කිරීමට උත්සහ කළත් එම උත්සාහය ව්‍යර්ථ විය. පන්දුව රැකගත් CR & FC ක්‍රීඩකයින් පන්දුව ජනිඳු දිල්ශාන් හට භාර දුන් අතර ඔහු පන්දුව පිටියෙන් ඉවතට යොමු නොකර දිගටම ධාවනයේ යෙදුනි. නමුත් ජනිඳු අතින් අතහැරුනු පන්දුව ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ගිය නාවික හමුදා ක්‍රීඩකයින්ට ද හරි හැටි පන්දුව ග්‍රහණය කර ගැනීමට නොහැකි වූයේ තම ජයග්‍රහණය පෙනි පෙනී තිබූ අවස්ථාවකයි. 

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය (1P, 3T, 3C) 24 – 27 (2P, 3T, 3C) CR & FC කණ්ඩායම 

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයෝ: 

නාවික හමුදාව – තනුජ මාලිම්බොඩ (1T), චරිත් සිල්වා (1T), ඉසුරු කෝන්ගහවත්ත (1P, 3C) 

CR & FC – රීසා රෆායිදින් (1P, 1T, 3C), ජනිඳු දිල්ශාන් (1T),  ගයාන් දිල්ශාන් (1T)  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<