මහනුවර අපරාජිතව ඉදිරියට

88

2019/20 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ සයවැනි සතියට අදාළ තරග ඊයේ (10) ආරම්භ විය. තරගාවලියේ තවත් තරගයක් අද (11) පැවැත්වුණේ අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය හා CH&FC ක්‍රීඩා සමාජය අතරයි. එම තරගය ලකුණු 31-13ක් ලෙස ජයග්‍රහණය කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. 

නාවිකයින් අවසන් මිනිත්තුවේ දී යුධ හමුදාව මෙල්ල කරයි

තරගයේ අවසන් මිනිත්තුවේ එක ළඟ එක වාර්තා වූ දක්ෂ උත්සාහක දිනුම් දෙකකින් නාවික…

CH&FC කණ්ඩායම මෙවර තරගාවලියේ ඔවුන් ක්‍රීඩා කළ තරග 5න් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි. ඒ නාවික හමුදාවට එරෙහිවය. එම තරගය CH කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 23-21ක් ලෙසිනි. ඔවුන් CR&FC, හැව්ලොක්, පොලිස් කණ්ඩායම් හමුවේ පරාජය වූ අතර යුද හමුදාව සමඟින් පැවති තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. 

තරගයේ පළමු මිනිත්තු කීපය තුල දී ම මහනුවර සීමා ඉර ආක්‍රමණය කිරීමට CH කණ්ඩායම සමත් වූ අතර rolling maul අවස්ථාවක් උපයෝගී කර ගනිමින් උත්සාහක දිනුමක් ලබා ගැනීමට CH කණ්ඩායම ප්‍රබල උත්සාහයක් කීපයක් ලබා ගත් අතර මහනුවර ඉදිරිපෙළ හමුවේ එය අසාර්ථක විය. 

කෙසේ වෙතත් නීති විරෝධී ලෙස rolling maul අවස්ථාවක් වැළැක්වීම නිසා මහනුවර prop ක්‍රීඩක ගනුක දිසානායක වෙත කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් ක්‍රියා කළේය. CH කණ්ඩායමේ මහනුවර ආක්‍රමණය සාර්ථකව වළක්වමින් පන්දුව නැවත තමන් සතුකර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. 

මිනිත්තු කීපයක ප්‍රබල සටනකින් අනතුරුව තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට CH කණ්ඩායම සමත් විය. ඒ තරගයේ 13 වැනි මිනිත්තුවේ දී ය. එම උත්සාහක දිනුම සජිත් සාරංග විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (මහනුවර 00 – 05 CH&FC)

තරගයේ මුල් මිනිත්තු කීපය තුල මහනුවර කණ්ඩායම තරමක දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර CH කණ්ඩායම එයට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින් පන්දුව මහනුවර අර්ධයේ පවත්වා ගැනීමට සමත් විය. මහනුවර කණ්ඩායම දඬුවම් පහර කීපයක් ලබා දුන් අතර පන්දු ‍යොමුකිරීම් හා tackle කිරීම් කීපයක්ම නීති විරෝධී වීම CH කණ්ඩායමට වාසිදායක විය. 

තරගයේ 22 වැනි මිනිත්තුවේ දී CH කණ්ඩායමට දඬුවම් පහරක් ලැබුණු අතර එය සැමුවෙල් මධුවන්ත විසින් සාර්ථක කරගනිමින් තම ලකුණු පුවරුව ලකුණු 8 දක්වා ඉහළ දමා ගැනීමට සමත් විය. (මහනුවර 00 – 08 CH&FC)

මහනුවර කණ්ඩායම 27 වැනි මිනිත්තුවේ දී ප්‍රබල පන්දු ‍යොමුකිරීම් කීපයක් මඟින් තම පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එය ජේසන් දිසානායක විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් මහනුවර ලකුණු පුවරුව ලකුණු 07 දක්වා ඉහල දැමීමට තරින්ද ‍රත්වත්තේ සමත් විය. (මහනුවර 07 – 08 CH&FC)

එතෙර විනිසුරුගේ සේවාව තවදුරටත්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ පැවති…

මහනුවර කණ්ඩායම කෙමෙන් තරගය ආක්‍රමණය කළ අතර ඔවුන් තම දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ තරගයේ 31 වැනි මිනිත්තුවේ දී ය. නයිජල් රත්වත්තේ විසින් යොමු කරන ලද දිගු පන්දු පිරිනැමීමක් සාර්ථකව උත්සාහක දිනුමක් බවට පත්කිරීමට බුද්ධිම පියරත්න සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය. (මහනුවර 14 – 08 CH&FC)

දෙවන උත්සාහක දිනුම වාර්තා කර මිනිත්තු දෙකක් යාමටත් පෙර තුන්වැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්වූයේ CH කණ්ඩායම වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. 

මීටර් 50 සීමාවේ සිට ලබා ගත් scrum අවස්ථාවක් උපයෝගී කරගනිමින් තරින්ද රත්වත්තේ එම උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද මහනුවර කණ්ඩායම ලකුණු 19ක් තම ලකුණු පුවරුවට එක්කිරීමට සමත් විය. (මහනුවර 19 – 08 CH&FC)

තරගයේ පළමු අර්ධය නිමා වීමට මිනිත්තුවක් ඉතිරිව තිබිය දී CH කණ්ඩායමට දඬුවම් පහරක් ලැබුණු අතර එය සාර්ථක කරගැනීමට සැමුවෙල් මධුවන්ත හට නොහැකි විය. 

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 19 – 08 CH&FC කණ්ඩායම 

දෙවන අර්ධය ආරම්භයේ දී ම මහනුවර කණ්ඩායම CH අර්ධය ආක්‍රමණය කළ අතර මිනිත්තු 5ක් යාමටත් පෙර තම සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. එම උත්සාහක දිනුම තරින්ද රත්වත්තේ විසින් වාර්තා කළ අතර එය ඔහුගේ දෙවන උත්සාහක දිනුම විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔහු සමත් වූ අතර මහනුවර ලකුණු පුවරුව ලකුණු 26 දක්වා ඉහල නැංවිනි. (මහනුවර 26 – 08 CH&FC)

CH කණ්ඩායම තරගයේ 50 වන මිනිත්තුවේ දී ප්‍රබල ආක්‍රමණයක් සමඟින් තම දෙවන උත්සාහක දිනුම වාර්තා කළ අතර එය නායක රෝහිත රාජපක්ෂ විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක වූ අතර CH ලකුණු පුවරුව ලකුණු 13ක් බවට පත්ව තිබුණි. (මහනුවර 26 – 13 CH&FC)

දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව මහනුවර කණ්ඩායම තම පස්වැනි උත්සාහක දිනුම වාර්තා කළේ 66 වැනි මිනිත්තුවේ දී ය. Scrum අවස්ථාවක් උපයෝගී කරගනිමින් මහනුවර අංක 8 ක්‍රීඩක බුවනෙක උඩංගමුව එම උත්සාහක දිනුම වාර්තා කළේය. තරින්ද රත්වත්තේ හට එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නොහැකි වූ අතර මහනුවර ලකුණු පුවරුව ලකුණු 31 බවට පත්ව තිබුණි. (මහනුවර 31 – 13 CH&FC)

අසාර්ථක ප්‍රවර්තන මැදින් පොලිස් වැටලීම සාර්ථකයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තවත්…

මහනුවර කණ්ඩායම 72 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගත් අතර එය සාර්ථකව ව්‍යර්ථ කරමින් පන්දුව නැවතත් මීටර් 22 සීමාව වෙත ගෙන යාමට CH කණ්ඩායම සමත් විය. 

තරගයේ 76 වැනි මිනිත්තුව වන විට මහනුවර කණ්ඩායම ප්‍රබල ලෙස CH සීමා ඉර ආක්‍රමණය කර තිබූ අතර උත්සාහක දිනුමක් ලබා ගැනීම සඳහා ඔවුන් ප්‍රබල සටනක නිරතවී සිටියහ. නමුත් CH ඉදිරිපෙළ හමුවේ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමට නොහැකි විය. 

තරගය නිමා වූයේ ලකුණු 31-13ක් ලෙස මහනුවර කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

අවසන් ලකුණූ තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 31 – 13 CH&FC කණ්ඩායම 

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්:

  • මහනුවර: තරින්ද ‍රත්වත්තේ (2T, 3C), බුද්ධිම පියරත්න (1T), ජේසන් දිසානායක (1T), බුවනෙක උඩංගමුව (1T)
  • CH&FC: සැමුවෙල් මධුවන්ත (1P), සජිත් සාරංග (1T), රෝහිත රාජපක්ෂ (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<