මධුවන්තගේ අවසන් මොහොතේ ප්‍රවර්තනය නාවිකයින්ට තවත් පරාජයක් 

82

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් වැදගත් තරගයක් අද (19) පැවැත්වුණේ CH&FC ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතරයි. සුපිරි තරගයකට පසු අවසන් මොහොතේ සැමුවෙල් මධුවන්තගේ විශිෂ්ට ප්‍රවර්තනයකින් ලකුණු 21–23 තරගය ජය ගන්නට CH&FC ක්‍රීඩා සමාජය සමත් වුනා

DRL සිව්වැනි සතිය: CH – නාවික ගැටුමෙන් ජය කාට ද?

ඩයලොග් රග්බි ලීගයේ සිව්වැනි සතියේ තරග හෙට (19) සිට සෙනසුරාදා (21)….

තරගය පුරාවට එතරම් හොඳ රිද්මයකින් ක්‍රීඩා නොකළත් අවසන් මිනිත්තු 20 දී ඉතා හොඳ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ CH&FC ක්‍රීඩා සමාජය තරගයට තියුණු අවසානයක් ගෙන ආවා.

තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම එතරම් සාර්ථක ක්‍රීඩා රටාවකට අවතීර්ණ වුනේ නැහැ. පළමු මිනිත්තු 20 තුළ දී දඬුවම් පහර හතරක් වාර්තා වීම එය මානව පිළිබිඹු කළා. සැමුවෙල් මධුවන්ත CH වෙනුවෙන් දඬුවම් පහරක් වාර්තා කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර චතුර සෙනෙවිරත්න ඊට මිනිත්තු කිහිපයකට පසුව තවත් දඬුවම් පහරකින් ලකුණු පුවරුව සම කළා. (නාවික 03-03 CH) 

මීටර 30 සීමාව ආසන්නයේ ලැබුණු දඬුවම් පහරක් සැමුවෙල් මධුවන්ත නැවත වතාවක් ගෝල කණු අතරින් පා කර හරිද්දී 21 වැනි මිනිත්තුවේ දී මීටර 42 සීමාවේ ලැබුණු දඬුවම් පහරක් චතුර සෙනෙවිරන්ත අලංකාර ලෙස ගුවන් ගත කළා. (නාවික 06-06 CH)

කෙසේ වෙතත් අනතුරුව CH කණ්ඩායම නාවික හමුදා උත්සාහක දිනුම් සීමාව අසලම ගැවසෙමින් උත්සාහක දිනුමක් කරා යන්නට අවස්ථා දෙකක් උදා කර ගත්තත් එම අවස්ථා දෙකේ දී ම පන්දුව ඔවුන්ගෙන් උදුරා ගන්නට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

35 වැනි මිනිත්තුවේ දී CH ක්‍රීඩකයින්ට නාවික හමුදාවේ උත්සාහක දිනුම් සීමාව අසලම ස්ක්‍රම් අවස්ථාවක් ලැබුණු අතර එම අවස්ථාව ද සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වුනේ නැහැ.

පළමු අර්ධය ලකුණු සමඟ අවසන් කරන්නට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් වුනේ චතුර සෙනෙවිරත්නගේ අලංකාර ධාවනයක් සමඟින්. ඔහු CH ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් බිම හෙලා තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුගෙන් මිදී පන්දුව Seru cavuilati හට භාර දුන් අතර ඔහු තරගයේ පළමු වරට ධවල රේඛාව ඉක්මවා යන්නට සමත් වුනා. කෝන්ගහවත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. 

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 13 (1T, 1C, 2P) – 06 (2P) CH&FC

50 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා කණ්ඩායමට පහසු දඬුවම් පහරක් ලැබුණු අතර චතුර එම අවස්ථාව පහසුවෙන් ලකුණු බවට පරිවර්තනය කළා. (නාවික 16-06 CH)

60 වැනි මිනිත්තුවේ දී Rolling maul අවස්ථාවකින් පන්දුව ලබා ගෙන රදීෂ සෙනෙවිරත්න උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියත්, පන්දුව Held up අවස්ථාවකට ලක් වීම නිසා එම උත්සාහය සාර්ථක වුනේ නැහැ.

කෙසේ වෙතත් එම අවස්ථාවේම ලැබුණු ස්ක්‍රම් අවස්ථාවකින් පන්දුව ලබා ගනිමින් Seru cavuilati පහසුවෙන් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළා. චතුර සෙනෙවිරත්න අමතර ලකුණු එකතු කරන්නට කළ උත්සාහක අවාසනාවන්ත ලෙස ගෝල රාමුවේ වැදි ඉවත ගියා. (නාවික 21-06 CH) 

ඊට මිනිත්තුවකට පසුව Seru cavuilati හට අවාසනාවන්ත ලෙස පිටියෙන් තාවකාලිකව ඉවත් වෙන්න සිදු වුනේ ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ නිසයි. එම අවස්ථාවේ ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට CH ක්‍රීඩක සැමුවෙල් මධුවන්ත හට හැකියාවක් ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් මිනිත්තු 69කට පසුව පළමු වතාවට උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යන්නට CH ක්‍රීඩකයින් සමත් වුනේ සුදර්ශන මුතුතන්ත්‍රීගේ සුරතින්. Rolling maul අවස්ථාවකින් පන්දුව ලබා ගෙන ඔහු ධවල රේඛාව ඉක්මවා යද්දී, සැමුවෙල් මධුවන්ත ඉතා අපහසු කෝණයකින් පන්දුව අමතර ලකුණු සඳහා ගෝල කණු අතින් පා කළා. (නාවික 21-13 CH)

රීසාගේ පා පහරවලින් CH කුඩු වෙයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තවත්….

74 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩක රදීෂ සෙනෙවිරත්න හට කහ කාඩ්පතක් හිමි වුණු අතර එම අවස්ථාවේ ලැබුණු දඬුවම් පහර සැමුවෙල් මධුවන්ත සාර්ථක කර ගත්තේ CH කණ්ඩායමත් ජයග්‍රහණයත් අතර එක් උත්සාහක දිනුමක පරතරයක් තබමින්. (නාවික 21-16 CH)

අවසන් මිනිත්තුවේ දී CH කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වුණු අතර ඔවුන් එම දඬුවම් පහර පිටියෙන් ඉවතට යොමු කරමින් සිය උත්සාහය දිනුම් සීමාව ආසන්නයේ දී ම Line out අවස්ථාවක් ලබා ගත්තේ දිගින් දිගටම ආක්‍රමණයේ යෙදෙමින්. 

සෑහෙන වෙලාවක් උත්සහ කිරීමෙන් අනතුරුව නාවික හමුදා ආරක්ෂක වළල්ලේ හිඩැසකින් රිංගා ගිය චතුර දිල්ශාන් සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළා. ඒ අනුව ලකුණු සම වූ තරගයේ තීරණය සැමුවෙල් මධුවන්තගේ පාදයට භාර වුණු අතර අපහසු ස්ථානයක සිට වුනත් අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් යැවූ සැමුවෙල් තරගයේ ජය CH&FC කණ්ඩායම වෙත ගෙන ආවා. 

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 21 (2T, 1C, 2P) –  23 (2T, 2C, 3P) CH&FC

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයෝ

  • CH&FC – සැමුවෙල් මධුවන්ත (2C, 3P), චතුර දිල්ශාන් (1T), සුදර්ශන මුතුතන්ත්‍රී (1T)
  • නාවික හමුදාව – චතුර සෙනෙවිරත්න (2P), Seru cavuilati (2T), ඉසුරු කෝන්ගහවත්ත (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<