ලොංග්ඩන් ගිනියම් කරමින් මහනුවරට ජය

65

2019/20 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ පස්වැනි සතියේ තරග පසුගිය දා ආරම්භ විය. තරගාවලියේ තවත් තරගයක් අද (04) මහනුවර ක්‍රීඩා සමාජය හා CR&FC අතර කොළඹ ලොංග්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවති අතර මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට මහනුවර කණ්ඩායම සමත්වූයේ ලකුණු 41-27ක් ලෙස CR&FC පරාජය කරමිනි. 

මහනුවර ක්‍රීඩා සමාජය හා CR&FC මෙම තරගයට පෙර අපරාජිතව තරගාවලියේ පසුවිය. මහනුවර ක්‍රීඩා සමාජය යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව හා පොලීසිය පරාජය කිරීමට සමත් විය. 

මහනුවර, CR සටනට විදෙස් සහය පතයි!

අපරාජිතයින්ගේ සටනට පණ පොවමින් හෙට (4) දිනයේ දී ක්‍රියාත්මක වීමට……

CR කණ්ඩායම ඔවුන් මුහුණ දුන් තරගවල දී යුද හමුදාව, ගුවන් හමුදාව, CH&FC කණ්ඩායම හා පොලිස් කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. 

මහනුවර කණ්ඩායම මෙම තරගය සඳහා රොශාන් වීරරත්න ඇතුළත් කර තිබූ අතර තිලිණ විජේසිංහ මෙම තරගය සඳහා ද ඇතුළත් කර නොතිබිනි. 

තරගය ආරම්භ කිරීම CR කණ්ඩායමේ රීසා මුබාරක් විසින් සිදු කළ අතර මුල් මිනිත්තුව තුල දී ම CR කණ්ඩායමට දඬුවම් පහරක් හිමිවුවද එය සාර්ථක කරගැනීමට රීසා මුබාරක් සමත් වූයේ නැත. 

තරගයේ මිනිත්තු 3ක් ගත වන විට මහනුවර කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර මීටර් 50 සීමාවේ සිට එල්ල කළ එම දඬුවම් පහර සාර්ථක වූයේ නැත. නමුත් CR කණ්ඩායමේ ක්‍රීඩකයෙකු විසින් පන්දුව Knock-on වීම නිසා මහනුවර කණ්ඩායමට Scrum අවස්ථාවක් ලැබුණු අතර එම අවස්ථාවේ දී නයිජල් රත්වත්තේ විසින් පිරිනැමූ අගනා පන්දු පිරිනැමීමක් සාර්ථකව උත්සාහක දිනුමක් බවට පත්කිරීමට කවිඳු පෙරේරා සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද ‍රත්වත්තේ මහනුවර ලකුණු පුවරුව ලකුණු 7ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (මහනුවර 07 – 00 CR&FC)

ඉන් නොනැවතුනු මහනුවර කණ්ඩායම 8 වැනි මිනිත්තුවේ දී තම අර්ධයේ සිට ප්‍රබල පන්දු පිරිනැමීම් කීපයක් මගින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එම උත්සාහක දිනුමට හිමිකම් කීමට දනුෂ් දයාන් සමත් විය. එහි ප්‍රවර්තනය ද තරින්ද විසින් සාර්ථක කරගත්තේය. (මහනුවර 14 – 00 CR&FC)

මහනුවර කණ්ඩායම තම ආක්‍රමණය තවත් දැඩි කරමින් CR ඉදිරිපෙළ බිඳ දැමූ අතර CR කණ්ඩායම සිදු කර වැරැද්දක් නිසාවෙන් මීටර් 22 සීමාවේ දී තවත් දඬුවම් පහරක් මහනුවර කණ්ඩායමට හිමි විය. එවර පන්දුව සාර්ථකව ගෝල කණු අතරින් යවමින් ලකුණු 3ක් තම ලකුණු පුවරුවට එක් කිරීමට තරින්ද රත්වත්තේ සමත් විය. (මහනුවර 17 – 00 CR&FC)

තරගයේ 17 වැනි මිනිත්තුවේ දී CR කණ්ඩායම වෙතින් පන්දුව සොරා ගත් රොශාන් වීරරත්න මහනුවර කණ්ඩායම වෙනුවෙන් තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය පහසුවෙන් සාර්ථක කර ගත් මහනුවර කණ්ඩායම තම ලකුණු පුවරුව ලකුණු 24ක් දක්වා ඉහල දමා ගත්තේය. (මහනුවර 24 – 00 CR&FC)

CR&FC කණ්ඩායම දඬුවම් පහරක් මඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අතර ඒ 25 වැනි මිනිත්තුවේ දී ය. එම දඬුවම් පහර රීසා මුබාරක් විසින් වාර්තා කළේය. (මහනුවර 24 – 03 CR&FC)

එයට සාර්ථක ප්‍රතිචාරයක් දැක්වීමට මහනුවර කණ්ඩායම සමත් වූයේ 28 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. එම උත්සාහක දිනුම දනුෂ් දයාන් විසින් වාර්තා කළ අතර එය ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම විය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද මහනුවර ලකුණු පුවරුව ලකුණු 29ක් දක්වා ඉහල ගොස් තිබුණි. (මහනුවර 29 – 03 CR&FC)

අසාර්ථක ප්‍රවර්තන මැදින් පොලිස් වැටලීම සාර්ථකයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ…..

තරගයේ 33 වැනි මිනිත්තුවේ දී මහනුවර සීමා ඉර ආසන්නයේ දඬුවම් පහරක් CR කණ්ඩායමට ලැබුණු අතර ප්‍රබල මහනුවර ඉදිරිපෙළ හමුවේ ප්‍රබල උත්සාහයකින් අනතුරුව තම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට CR කණ්ඩායමේ කවිඳු කොස්තා සමත් විය. 

එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට රීසා මුබාරක් සමත් විය. එම උත්සාහක දිනුම වාර්තා කිරීමේ දී සිදු වූ වැරැද්දක් නිසාවෙන් මහනුවර කණ්ඩායමේ තරිඳු චතුරංග හට කහ කාඩ්පතක් නිකුත් කෙරිනි. (මහනුවර 29 – 10 CR&FC)

තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර තම පස්වන උත්සාහක දිනුම ද වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. එම උත්සාහක දිනුම ජේසන් දිසානායක විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් මහනුවර ලකුණු පුවරුව ලකුණු 36ක් දක්වා ඉහළ දැමීමට තරින්ද රත්වත්තේ සමත් විය. (මහනුවර 36 – 10 CR&FC)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 36 – 10 CR&FC කණ්ඩායම

දෙවැනි අර්ධයේ මුල් මිනිත්තු කීපය කණ්ඩායම් ද්විත්වයම ප්‍රබල සටනක නිරත වී සිටි අතර CR ප්‍රබල සටනකින් අනතුරුව තරගයේ 52 වැනි මිනිත්තුවේ දී තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඒ Rolling Maul අවස්ථාවක් උපයෝගී කරගනිමිනි. 

මෙහි දී නීති විරෝධී ලෙස rolling maul අවස්ථාවක් වැළැක්වීම නිසා මහනුවර කණ්ඩායමේ දමිත් දිසානායක හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළේය. CR උත්සාහක දිනුම සුපුන් වර්ණකුලසූරිය විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (මහනුවර 36 – 15 CR&FC)

මහනුවර කණ්ඩායම දෙවන අර්ධයේ දී දඬුවම් පහර ගණනාවක් CR කණ්ඩායමට ලබා දුන් අතර තරගයේ 57 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩක ජේසන් දිසානායක හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කිරීමත් සමඟින් මහනුවර ක්‍රීඩකයන් සංඛ්‍යාව 13ක් දක්වා අඩු විය. 

තරගයේ 60 වැනි මිනිත්තුවේ දී CR කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් ලබා දීමට විනිසුරුවරයා තීරණය කළේ නීති විරෝධී ලෙස rolling maul අවස්ථාවක් වැළැක්වීම නිසාවෙනි. ඒ සමඟින් CR ලකුණු පුවරුව ලකුණු 22ක් දක්වා ඉහළ ගියේය. (මහනුවර 36 – 22 CR&FC)

මහනුවර කණ්ඩායම තවත් පීඩනයට ලක් කරමින් CR කණ්ඩායම තම සිව්වැනි ගෝලය වාර්තා කළේ 64 වැනි මිනිත්තුවේ දී ය. එම උත්සාහක දිනුම ජනිදු ඩිල්ශාන් විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 36 – 27 CR&FC)

නාවිකයෝ පළමු වතාවට ජය පැන් බොති

ක්‍රීඩකයින් 14 දෙනෙකුට සිමා වුණු ගුවන් හමුදා කණ්ඩායම කබලෙන් ලිපට ඇද……

මහනුවර කණ්ඩායම තරගයේ 69 වැනි මිනිත්තුවේ දී තම හයවැනි ගෝලය වාර්තා කළේ ලකුණු පුවරුව ලකුණු 41ක් දක්වා ඉහල දමා ගනිමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථක වුවද මහනුවර කණ්ඩායම වැඩි ලකුණු 14ක් දක්වා පත්කරගෙන තිබුණි. (මහනුවර 41 – 27 CR&FC)

තරගයේ අවසන් මිනිත්තු කීපය වන විට කණ්ඩායම් දෙකම ප්‍රබල සටනකට අවතීර්ණ වී සිටි අතර පන්දුව ප්‍රතිවාදීන් අතර යාමට නොදී තබා ගැනීමට කණ්ඩායම් දෙකම ප්‍රබල උත්සාහයක් ගත්‍තේය. තරගය අවසන් වූයේ මහනුවර කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

තරගයේ වීරයා ලෙස තරින්ද රත්වත්තේ නම් කෙරිනි. 

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 41 – 27 CR&FC කණ්ඩායම

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

මහනුවර: දනුෂ් දයාන් 2T, ජේසන් දිසානායක 1T, කවිඳු පෙරේරා 1T, රොශාන් වීරරත්න 1T, නයිජල් රත්වත්තේ 1T, තරින්ද ‍රත්වත්තේ 4C, 1P

CR&FC: රීසා මුබාරක් 2C, 1P, කවිඳු කොස්තා 1T, සුපුන් වර්ණකුලසූරිය 1T, ජනිදු ඩිල්ශාන් 1T, දඬුවම් උත්සාහක දිනුම්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<