ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම ප්‍රබලතම ක්‍රීඩා සමාජයක් වන මහනුවර ක්‍රීඩා සමාජය මෙවර ඩයලොග් ලීග් රග්බි තරගාවලියට පිවිසෙන්නේ අඛණ්ඩව පස්වැනි තරගාවලි ජය සොයා යන්නටය.

පසුගිය වසරේ දී ඩයලොග් ලීග් තරගාවලිය මෙන්ම ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය ද ඔවුන් අපරාජිතව ජයග්‍රහණය කළේ අනෙක් කණ්ඩායම්වලට දරුණු පරාජයන් අත්කර දෙමිනි.

තරුණ ජවය සමඟින් පොලිස් ක්‍රීඩා සමාජය අඳුරු මතක මකා දමන්නට සූදානම්

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීම ….

අතීතයෙන් බිඳක්

ක්‍රීඩා සමාජ ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩා සමාජය ලෙස අවිවාදයෙන් පිළිගත හැකි මහනුවර ක්‍රීඩා සමාජය 2014/15 ඩයලොග් ලීග් තරගාවලියේ සිට පසුගිය තරගාවලිය දක්වා තරගාවලි හතරක් අඛණ්ඩව ජය ගන්නට සමත් වී ඇත. එතැනින් නොනැවතුණු ඔවුන් නාවික හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලිය ද ජය ගත්තේ ඔවුන් සහභාගී වූ තරග සියල්ල ජය ගනිමිනි.

1874 වසරේ දී පිහිටු වනු ලැබූ මහනුවර ක්‍රීඩා සමාජය එතැන් සිට පළමු කාණ්ඩයේ ක්‍රීඩා කළ අතර ඔවුන් පළමු වරට ප්‍රධාන තරගාවලියක ශූරයින් බවට පත් වන්නේ 1992 වසරේ දී ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ජය ගැනීමත් සමඟයි.

අනතුරුව 1994 වසරේ දී ඔවුන් පළමු වරට ලීග් රග්බි තරගාවලියක් ජය ගන්නා අතර එතැනින් ආරම්භ වූ මහනුවර කණ්ඩායමේ ස්වර්ණමය යුගයේ දී, අද දක්වා ඔවුන් ලීග් තරගාවලි 19ක් හා ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලි 21ක් ජය ගැනීමට සමත් වී ඇත.

මහනුවර රග්බි කණ්ඩායමෙන් ජාතික තලයට පිවිසුණු ක්‍රීඩකයින් රැසක් සිටින අතර වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් ද ජාතික තලයේ දක්ෂතා දක්වමින් පසුවේ. සුපිරි ක්‍රීඩක ෆාසිල් මරීජා වසර ගණනක් මහනුවර කණ්ඩායම වෙනුවෙන් මෙන්ම ජාතික කණ්ඩායමේ ද සුපිරි දස්කම් දැක්වූ අතර නාලක වීරක්කොඩි වැනි ප්‍රබලයින් ද මහනුවරින් ජාතික තලයට දායාද වූ ක්‍රීඩකයෙකි.

ගුවන් හමුදාව නව බලාපොරොත්තු සමඟින් ඉගිළෙන්නට සැරසේ

ඩයලෝග් අන්තර් සමාජ රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම් රැසක් භීතියට ….

පසුගිය තරග වාරය

පසුගිය තරග වාරයේ දී මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණය වළක්වන්නට කිසිදු කණ්ඩායමකට නොහැකි වූ අතර ඔවුන් ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ මුහුණ දුන් තරග සියල්ල ජය ගැනීමට සමත් විය. පිළිමළුන් පිටුදැකීමේ කුසලානයේ ද සියලු තරග ජය ගත් ඔවුන් තරගාවලි දෙකේම අපරාජිතව සිටින්නට සමත් විය.

අනුරුද්ධ විල්වර හා රිචඩ් ධර්මපාල මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් 10 බැගින් රැස් කරමින් වැඩිම උත්සාහක දිනුම් ලාභින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වෙද්දී, සුපිරි ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් 9ක් සමඟින් එම ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත් වන්නට සමත් විය.

මෙවර තරග වාරය සඳහා සූදානම

මහනුවර ක්‍රීඩා සමාජයට මෙවර ඇති ප්‍රධානම අභියෝගය නම් ෆාසිල් මරීජාගේ ස්ථානයට ක්‍රීඩකයෙකු ආදේශ කර ගැනීමයි. වසර ගණනක් මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ෆාසිල් මරීජා පසුගිය වසරේ දී රග්බි පිටියට සමුදුන් අතර කණ්ඩායමේ ක්‍රීඩා රටාව පාලනය කරන්නා වූ ඔහුගේ සේවය නැති වීම මහනුවර කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වනු නොඅනුමානයි.

පසුගිය වසරේ දී සාර්ථක ලෙස නායකත්වයේ වගකීම ඉටු කළ ගයාන් වීරරත්න වෙනුවට මෙවර කණ්ඩායමේ නායකත්වය රිචඩ් ධර්මපාල වෙත හිමිව තිබේ. ’Center‘ ස්ථානයේ කණ්ඩායමේ බර ඔසවන ධර්මපාලට මෙවර කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවා ගෙන යාමේ වගකීම භාර වනු ඇත.

තවත් මහනුවර ප්‍රධානතම ක්‍රීඩකයෙකු වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියේ පළමු තරග කිහිපයට සහභාගී නොවුණු ඇතැයි වාර්තා වේ. ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියරේ දී ඔහු උරහිසේ ආබාධයකට ලක්වූ අතර ඔහුගේ අහිමි වීම පළමු තරග කිහිපයේ දී මහනුවර කණ්ඩායමට තදින් දැනෙනු ඇත.

ධනුෂ්ක රන්ජන් මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වනු ඇත. ඔහුගේ වේගය හා අත්දැකීම් නිමා වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී මනාව ප්‍රදර්ශනය වූ අතර මෙවර තරගාවලියේදීත් ඔහු ඒ රිද්මයෙන්ම ක්‍රීඩා කරනු ඇතැයි සියලු දෙනා අපේක්ෂා කරයි.

දෙවන ස්ථානයෙන් ඉහළට යන්නට නාවිකයින්ට හැකි වෙයි ද?

2018-19 ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ආරම්භයට ඇත්තේ තවත් දින ….

ජේසන් දිසානායක හා දනුෂ් දයාන් ද ආසියානු ක්‍රීඩා උළෙල හා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔවුන් ද මෙවර කණ්ඩායමේ ප්‍රධානතම බර ඔසවන්නන් ලෙස ක්‍රීඩා කරනු ඇත.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය නියෝජනය කළ රශ්මික චන්ද්‍රරත්න මෙවර කණ්ඩායමට එක්ව ඇති අතර මලියදේව විද්‍යාලය නියෝජනය කළ දවුලගල හා ඉෂාර හේරත්ට ද කණ්ඩායමේ අසුන් වෙන් වී තිබේ.

ෂෝන් විජේසිංහ මෙවරත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මරීජාගේ අඩුව පුරවමින් නවකයින් ද සමඟ අඛණ්ඩ පස්වැනි ලීග් කිරුල කරා කණ්ඩායම මෙහෙයවීම ඔහුගේ වගකීම වී තිබේ.

මහනුවර කණ්ඩායම සිය පළමු තරගය සඳහා එළඹෙන නොවැම්බර් 10 වැනිදා ගුවන් ක්‍රීඩා සමාජය සමඟින් තරග වැදීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා Thepapare.com සමඟින්.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

මහනුවර ක්‍රීඩා සමාජයේ සම්පූර්ණ සංචිතයට මෙතැනින් පිවිසෙන්න

Kandy SC PreviewVideo – Kandy Sports Club eye 5th consecutive title – DRL Preview 2018/19