ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ඉකුත් දා ආරම්භ විය. ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජයක් වන CR&FC ක්‍රීඩා සමාජය නවක මුහුණු කිහිපයක් හා නවක පුහුණුකරුවෙකු යටතේ මෙවර තරග වාරය සඳහා සූදානම් වන අතර පසුගිය තරග වාර දෙකේ අමිහිරි අත්දැකීම් අමතක කරමින් මෙවර තරග වාරයේ පළමු ස්ථාන තුන අතරට පිවිසීමට ඔවුන්ට හැකි වෙයි ද?

අඛණ්ඩව පස්වැනි තරගාවලි ජය සොයා යන මහනුවර ක්‍රීඩකයෝ

ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම ප්‍රබලතම ක්‍රීඩා සමාජයක් වන මහනුවර ක්‍රීඩා සමාජය මෙවර ඩයලොග් ලීග් රග්බි…

ඉතිහාසයෙන් බිඳක්

1922 දී කර්නල් අර්නස්ට් හන්ටලී විසින් කොළඹ ලොන්ඩන් පෙදෙස මූලික කර ගනිමින් පිහිටවූ CR&FC හෙවත් Ceylonese Rugby & Football Club සමාජය 1952 වසරේ සිට 13 වතාවක් ලීග් ශූරතාව දිනා ගැනීමට සමත්ව ඇත.

කෙසේ වෙතත් මෑත කාලීනව ඔවුන් සැලකිය යුතු දක්ෂතා අතරට පිවිසීමට අසමත් වූ අතර අවසන් වරට ඔවුන් ලීග් තරගාවලියක් ජය ගත්තේ 1998 දී ය.

අවස්ථා කිහිපයක් ඔවුන් ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් සටන දක්වා පැමිණීමට සමත් වුවත් ඔවුන් අවසන් වරට ක්ලිෆර්ඩ් කුසලානයක් ජය ගත්තේ 2006 වසරේ දී වීම විශේෂත්වයකි.

පසුගිය තරග වාරය

2016/17 තරග වාරය සිව්වැනි ස්ථානයේ අවසන් කළ CR&FC ක්‍රීඩා සමාජයට 2017/18 තරග වාරය අවසන් කිරීමට හැකි වූයේ අවාසනාවන්ත ලෙස පස්වැනි ස්ථානයෙනි.

ඔවුන් සහභාගී වූ තරග 14න් තරග හතක් ජය ගැනීමට සමත් වූ අතර ඉතිරි තරග හත පරාජය වීමට ඔවුන්ට සිදු විය.

ඔවුන් නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් සාර්ථක ලෙස පසුගිය වසරේ තරගාවලිය ආරම්භ කළත් ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදීන් වන CH&FC ක්‍රීඩා සමාජය හමුවේ පරාජය වීම ඔවුන්ට දරුණු පහරක් විය.

මෙවර තරග වාරයට සූදානම     

මෙවර තරග වාරයේ දී නව පුහුණුකරුවෙකුට කණ්ඩායම භාර දීමට CR&FC කණ්ඩායම තීරණය කර ඇත්තේ කණ්ඩායම නව මගකට යොමු කිරීමේ අරමුණිනි. නිමා වූ පාසල් ලීග් රග්බි තරගාවලියේ දී, මයිලෝ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දී සුපිරි දක්ෂතා දැක්වූ, එමෙන්ම පාසල් සත් සාමාජික රග්බි පිටියේ ශූරයින් බවට පත් වූ සාන්ත ජෝසප් විද්‍යාලයේ පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහිම් මහතා CR කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ. නවක මුහුණු රැසක් සමඟින් තරග බිමට පිවිසෙන CR&FC කණ්ඩායමට නිල්ෆර් ඊබ්‍රහිම් මහතාගේ සේවය ඉතා වැදගත් වනු ඇත.

පාසල් පිටියේ දක්ෂතා දැක්වූ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ගැමුණු චේතිය මෙන්ම, ලීග් ශූරතාව දිනා ගත් කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු වූ ජනිඳු දිල්ශාන්ද මෙවර CR කණ්ඩායමට කැඳවා ඇති අතර කණ්ඩායමේ පසු පෙළ සවිමත් කිරීම ඔවුන්ගේ ප්‍රධානතම වගකීම වනු ඇත.

තරුණ ජවය සමඟින් පොලිස් ක්‍රීඩා සමාජය අඳුරු මතක මකා දමන්නට සූදානම්

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය…

තවද නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු වූ වසර කිහිපයක්ම නාවික හමුදාව වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ දුලන්ජන් විජේසිංහ මෙවර තරග වාරයේ දී CR&FC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනු ඇත.

2016/17 තරග වාරයේ වැඩිම උත්සාහක දිනුම් ලාභින්ගේ ලැයිස්තුවේ ද තෙවන ස්ථානයේ රැඳුණු ඔහු කණ්ඩයමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනු ඇත. මෙවර තරග වාරයේ දී CR&FC ක්‍රීඩා සමාජයට ඔහුගේ අත්දැකීම් හා දක්ෂතාව අතිශය වැදගත් වනු නොඅනුමානය. නිමා වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දක්වන්නට සමත් වූ කෙවින් ඩික්සන් මෙවර තරග වාරය සඳහා හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සිට ලොන්ඩන් පෙදෙසට පැමිණෙනු ඇත. ඔහුගේ වේගය කණ්ඩායමේ පසුපෙළ සවිමත් කරද්දී හැව්ලොක් ක්‍රීඩා සමාජයේම ෂෙහාන් ඩයස් මෙවර CR&FC ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඔහුට සහය වනු ඇත.

ඔමල්ක ගුණරත්න මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වන අතර ඔහුගේ ශක්තිය ප්‍රතිවාදීන්ට දරුණු පසුබෑමක් වනු ඇත. තරින්ද රත්වත්ත ද වසර ගණනක සිය අත්දැකීම් සමඟින් CR&FC කණ්ඩායම සවිමත් කරද්දී ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු වන කවිඳු පෙරේරා කණ්ඩායමේ නායකත්වය දරනු ඇත. වේගයට මෙන්ම උපක්‍රමශීලී ක්‍රීඩා විලාශයන්ට, ධාවනයන්ට නම් දැරූ ක්‍රීඩකයෙකු වන කවිඳු පෙරේරා කණ්ඩායමේ කශේරුකාව වනු ඇත.

ගුවන් හමුදාව නව බලාපොරොත්තු සමඟින් ඉගිළෙන්නට සැරසේ

ඩයලෝග් අන්තර් සමාජ රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම් රැසක් භීතියට පත් කරන්නට ගුවන් හමුදාව රග්බි කණ්ඩායමට හැකි වුනත් පසුගිය වසර…

CR&FC කණ්ඩායමට නවක මුහුණු සමඟින් තරගාවලියේ වෙනසක් කිරීමට හැකි වෙයි ද? රැඳී සිටින්න තරගාවලියේ සියලු තොරතුරු සඳහා ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<