පොලිස් අභියෝගයට නාවිකයෝත් අභියෝග කරති

341

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වන සති අන්තය හමාර කරමින් අද (25) නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර තියුණු සටනකින් අනතුරුව ලකුණු 24-31ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

ධනුෂ්ක පෙරේරාගේ නායකත්වයෙන් නාවික හමුදා කණ්ඩායම පිටියට පිවිසි අතර  ප්‍රබල නාවික හමුදා ක්‍රීඩක සුපුන් පිරිස් අද තරගයට සහභාගී නොවීම ඔවුන්ට විශාල පාඩුවක් විය. රසිත් සිල්වා පොලිස් කණ්ඩායම මෙහෙය විය.

වර්ෂාව නොතකා CR ආරක්ෂක වළලු බිඳගෙන සොල්දාදුවන් ඉදිරියට

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතියේ තරගයක් ලෙස CR & FC කණ්ඩායමත්, යුධ හමුදා ක්‍රීඩා සමාජයත් අතර තරගය…

සුපුරුදු පරිදි පළමු මිනිත්තුවේ සිටම නාවික හමුදා කණ්ඩායම පිටියේ පොලිස් අර්ධය ආක්‍රමණය කළ අතර තරගයේ තුන්වන මිනිත්තුවේ ඉතා අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට නාවික හමුදා ක්‍රීඩක අදීශ වීරතුංග සමත් විය. එහි ප්‍රවර්තනය තිලිණ වීරසිංහට මඟ හැරී ගියේය (නාවික 05 -00 පොලිස්).

උත්සාහක දිනුම් සීමාව ඉතා ආසන්නයේ සිට මොහොමඩ් අබ්සාල් හා බුද්ධිම පියරත්න ලකුණු රැස් කිරීමට කළ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට පොලිස් පසු පෙළ සමත් විය.

තරගයේ 11 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩකයින්ගේ පන්දු යොමු කිරීමකට මැදිහත් වී පන්දුව උදුරාගත් කසුන් සුරංග මීටර 50 සීමාවේ සිටම අලංකාර ධාවනයක යෙදෙමින් පොලිස් කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සන්දේශ් ජයවික්‍රම විසින් සාර්ථක කර ගන්නා ලදි (නාවික 05 -07 පොලිස්).

අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ නාවික හමුදා කණ්ඩායමේ තිලිණ වීරසිංහ තරගයේ 13 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගන්නා ලදි (නාවික12-07පොලිස්).

පැවති වැහිබර කාලගුණය නිසා වරින්වර ක්‍රීඩකයින්ගේ අතින් පන්දු යොමු කිරීම් ගිලිහි යාම කැපී පෙනුණු කරුණක් විය. තරගයේ 17 වන මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩක ලහිරු පවිත්‍රට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළ අතර එහි වාසිය මැනවින් ප්‍රයෝජනයට ගත් තිලිණ වීරසිංහ නැවතත් ක්‍රියාත්මක වෙමින් නාවික හමුදාව වෙනුවෙන් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔහු අසමත් විය (නාවික17-07 පොලිස්).

අනතුරුව පොලිස් කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කරමින් තරගයේ 22 වන මිනිත්තුවේ නාවික හමුදාව වෙනුවෙන් සිව්වැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට ලහිරු හේරත් සමත් විය. එහි ප්‍රවර්තනය තිලිණ වීරසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදි (නාවික 24-07 පොලිස්).

නාවික හමුදාවේ Center ක්‍රීඩක සුසංයෝගය, ලහිරු හේරත් හා මුෂින් ෆලීල් ප්‍රතිවාදීන්ට හිසරදයක් වෙමින් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වීම පෙර තරගවල මෙන්ම මෙම තරගයේ ද දක්නට ලැබුණි. තරගයේ 34 වන මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගත් සන්දේශ් ජයවික්‍රම පොලිස් ලකුණු සටහන ලකුණු 10ක් දක්වා ඉහළ දැමීමට සමත් විය (නාවික 24-10 පොලිස්).

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 24 – 10 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ සිටම නාවික හමුදා කණ්ඩායම සුපුරුදු මන්දගාමී ක්‍රීඩා විලාසයට අවතීර්ණ වූ අතර පළමු අර්ධයට වඩා සපුරා වෙනස් ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ පොලිස් කණ්ඩායම දෙවන අර්ධය ආරම්භයේ සිටම නාවික හමුදාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.

රීසා CH සිහින බොඳ කරයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතිය ආරම්භ කරමින් CH & FC කණ්ඩායමත්, හැව්ලොක් ක්‍රීඩා සමාජයත් අද (24) කොළඹ තුරඟ තරග පිටියේ දී තරග වැදුණු අතර…

එම උත්සාහයේ ප්‍රතිඵලයක්  ලෙස තරගයේ 44 වන මිනිත්තුවේ දී ම පොලිස් ක්‍රීඩක හෂාන් ගෝමස් නාවික පසුපෙළ අතරින් රිංගා ගොස් අලංකාරවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. සන්දේශ් ජයවික්‍රම ප්‍රවර්තනයේ ලකුණු සාර්ථකව ලබා ගන්නා ලදි (නාවික 24-17 පොලිස්).

46 වන මිනිත්තුවේ දී ප්‍රබල නාවික හමුදා ක්‍රීඩක මුෂින් ෆලීල් කහ කාඩ්පතක් ලබා තරගයෙන් ඉවත් වූ අතර ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට පොලිස් පිලේ සන්දේශ් ජයවික්‍රම අසමත් විය.

උරෙනුර ගැටෙමින් පොලිස් කණ්ඩායම ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර 65 වන මිනිත්තුවේ දී පොලිස් පිලේ සුජාන් කොඩිතුවක්කු උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින්, සන්දේශ් ජයවික්‍රම එය ප්‍රවර්තනය කරමින් තරගයේ ලකුණු තත්වය සම කිරීමට සමත් විය (නාවික 24-24 පොලිස්).

තරගයේ අවසාන භාගය ඉතා උණුසුම් වූ අතර 75 වන මිනිත්තුවේ දී ප්‍රබල නාවික ක්‍රීඩක තිලිණ වීරසිංහ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට අසමත් වීම සියල්ලන්ගේම හදවත් මොහොතකට නැවතීමට සමත් විය.

නැවතත් සිය ආක්‍රමණය දියත් කළ නාවිකයෝ 78 වන මිනිත්තුවේ දී පොලිස් පසු පෙළ ඉක්මවා යමින් සිය ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. දුලන්ජන් විජේසිංහ එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර තිලිණ වීරසිංහ එම උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමට සමත් විය (නාවික 31- 24 පොලිස්).

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 31 (5T, 3C) – 24 (3T, 3C, 1P) පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: හර්ෂ මදුරංග (නාවික හමුදාව)

ලකුණු ලබා ගැනීම

නාවික හමුදා ක්‍රීඩා සමාජය: තිලිණ වීරසිංහ (2T, 3C), අදිශ වීරතුංග (1T), ලහිරු හේරත් (1T), දුලන්ජන් විජේසිංහ (1T)

පොලිස් ක්‍රීඩා සමාජය 24: සන්දේශ් ජයවික්‍රම(3C ,1P), සුජාන් කොඩිතුවක්කු (1T), හෂාන් ගෝමස් (1T), කසුන් සුරංග (1T)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට