නාවිකයෝ හැව්ලොක් මෙල්ල කරති

971

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සති අන්තයේ, නාවික හමුදා ක්‍රීඩා සමාජය හා හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර අද (18) පැවති තරගයෙන් හැව්ලොක් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 25-14ක් ලෙසින් ජයග්‍රහණය වාර්තා කළේ නාවික හමුදා ක්‍රීඩා සමාජයයි. තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

CR & FC ආධිපත්‍ය, CH & FC හමුවේ බිඳ වැටේ

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින්…

හැව්ලොක් කණ්ඩායම පසුගිය සති අන්තවල දී පැවති තරග දෙකම ජය ගැනීමට සමත්වූ අතර නාවිකයන් ජය ගත්තේ එක් තරගයක් පමණි.

පළමු මිනිත්තුවේ සිටම ප්‍රබල ගැටුමක පෙරනිමිති පහළ කරමින් කණ්ඩායම් දෙකම පිටියට අවතීර්ණ වූ අතර නාවික හමුදා පසුපෙළ තරණය කරමින් උත්සාහක දිනුම් වාර්තා කිරීමට හැව්ලොක් පිල ගත් උත්සාහයන් කිහිපයක්ම ව්‍යර්ථ කිරීමට නාවික හමුදා පසුපෙළට හැකි විය.

නමුත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක නිරත වූ හැව්ලොක් කණ්ඩායම තරගයේ 10 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. හැව්ලොක් ක්‍රීඩක සෙනාල් දීලක එම උත්සාහක දිනුමට හිමිකම් කීය. එහි ප්‍රවර්තනය රීසා මුබාරක් විසින් සාර්ථක කර ගන්නා ලදි (07-00).

තරගයේ 12 වන මිනිත්තුවේ දී ප්‍රබල නාවික හමුදා Center ක්‍රීඩක මුෂීන් ෆලීල් නාවික හමුදා පිල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය තිළිණ වීරසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදි (07-07).

තරගය පුරා නාවික හමුදා Center ක්‍රීඩකයින් ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර කණ්ඩායම් දෙකම පන්දුව හැසිරවීමේ දී සිදු වූ අඩුපාඩු නිසා උත්සාහක දිනුම් බවට පරිවර්තනය කළ හැකිව තිබූ අවස්ථා කිහිපයක්ම මගහැරී ගියේය.

තරගයේ 18 වන මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් අලංකාරවත් ලෙස සාර්ථක කර ගැනීමට නාවික හමුදාවේ තිළිණ වීරසිංහ සමත් විය (07-10).

තරින්ද රත්වත්තේගේ ප්‍රහාරය නාවික ආධිපත්‍යය බිඳ දමයි

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ, CR & FC කණ්ඩායම හා නාවික…

නාවික හමුදා කණ්ඩායම හැව්ලොක් අන්තය සියතට ගනිමින් 24 වන මිනිත්තුවේ දී නාවික හමුදාවේ ලහිරු විශ්වජිත් තවත් උත්සාහක දිනුමක ලකුණු නාවිකයින් වෙනුවෙන් වාර්තා කළේය. ප්‍රවර්තනය ද සාර්ථකයි (07-17).

හැව්ලොක් පිලේ ආරක්ෂක පවුරු බිඳ දමමින් සුපුන් පිරිස් තරගයේ 34 වන මිනිත්තුවේ දී නාවික හමුදා පිල වෙනුවෙන් තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. Rolling Maul ආකාරයට හැව්ලොක් පිල මැඩලමින් වාර්තා වූ එම උත්සාහක දිනුම තිළිණ වීරසිංහ විසින් ප්‍රවර්තනය කිරීමට උත්සහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක විය (07–22).

තරගයේ 36 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩක ෂාරෝ ප්‍රනාන්දු හට කහ කාඩ්පතක් දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර එහි දී ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට නාවික හමුදා පිලේ තිළිණ වීරසිංහ අසමත් විය.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 22 – 07 හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ ආරම්භයේ සිටම හැව්ලොක් පිල නාවික හමුදා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. එතරම් උද්යෝගයකින් ක්‍රීඩා නොකළ නාවික හමුදාව ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙතක හිඳිමින් හැව්ලොක් පිලට උත්සාහක දිනුම් කරා යාමට ඉඩක් නොදී ක්‍රීඩා කිරීම කැපී පෙනුනි.

තරගයේ 49 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩක තිලින වීරසිංහ අසමත් වූ අතර ප්‍රබල ක්‍රීඩකයෙකු වන තිළිණ වීරසිංහ හට ලකුණු ලබාගත හැකිව තිබූ අවස්ථා කිහිපයක් මඟ හැරීම දක්නට ලැබුණි.

තරගයේ 54 වන මිනිත්තුවේ දී නාවික හමුදා නායක ධනුෂ්ක පෙරේරා හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළේය. තරගය පුරා නාවික හමුදා ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වූ අතර ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම කහ කාඩ්පත් අවවාද හිමි විය.

60 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ තිළිණ වීරසිංහ ඩ්‍රොප් ගෝල දිනුමක් මගින් ලකුණු රැස් කිරීමට සමත් විය (07–25).

73 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩක දුලන්ජන් විජේසිංහ හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු ක්‍රියා කළ අතර එහි වාසිය ගත් හැව්ලොක් පිල ප්‍රබල නාවික හමුදා පසුපෙළ මැඩලමින්, අසාර්ථක වූ අවස්ථා කිහිපයකට පසුව තරගයේ අවසන් මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. කෙවින් ඩික්සන් එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර රීසා මුබාරක් එම දිනුම සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි (14–25).

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 25 (3T, 2C, 1DG, 1P) – 14 (2T, 2C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: සුපුන් පීරිස් (නාවික හමුදාව)

ලකුණු ලබා ගැනීම:

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය: සෙනාල් දීලක (1T), කෙවින් ඩික්සන් (1T), රීසා මුබාරක් (2C)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය: තිළිණ වීරසිංහ (1DG, 2C, 1P) සුපුන් පීරිස් (1T), ලහිරු විශ්වජිත් (1T), මුෂීන් ෆලීල් (1T)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට