මහනුවර උපක්‍රම හමුවේ CRට අවසන් තරගය අහිමි වේ

917

ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (21) මහනුවර ක්‍රීඩා සමාජය හා CR & FC කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර තියුණු තරගයකින් අනතුරුව ලකුණු 38- 26ක් ලෙස ජය හිමි කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

අවසන් මොහොතේ විසඳුණු අවසන් අසුන නාවිකයින්ට

2018 ‘Dialog’ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක් ..

තරගය ආරම්භයේ ම CR & FC කණ්ඩායමට තර්ජනයක් වෙමින් තරගයට පිවිසි මහනුවර ක්‍රීඩා සමාජය මිනිත්තු 6ක් ගතවීමටත් ප්‍රථම සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ධනුෂ්ක රන්ජන් එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය. (මහනුවර 05- CR 00)

CR කණ්ඩායමේ සියලු බලමුළු බිඳ දැමූ ධනුෂ්ක රන්ජන් නැවතත් ක්‍රියාත්මක වෙමින් 21 වැනි මිනිත්තුවේ දී සිය දෙවෙනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූයේ CR ක්‍රීඩකයෝ තවත් පසුපසට ඇද දමමිනි. නයිජල් රත්වත්ත අලංකාර පා පහරකින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 12- CR 00)

මහනුවර ආක්‍රමණයට ඉක්මන් පිළිතුරක් ලබා දුන් චානක චන්දිමාල් අලංකාර ධාවනයක යෙදෙමින් 24 වෙනි මිනිත්තුවේ දී CR කණ්ඩායම වෙනුවෙන් සිය ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තරින්ද රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 12- CR 07)

උත්සාහක දිනුම් පිපාසයකින් තරගය ආරම්භ කළ මහනුවර ක්‍රීඩකයෝ 27 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාර එම උත්සාහක දිනුමට හිමිකම් කීය. නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (මහනුවර 17- CR 07)

ඔමල්ක ගුණරත්නගේ පන්දු යොමු කිරීමකට චානක චන්දිමාල් පැමිණීමට පමා වූ ඇසිල්ලේ පන්දුව CR ක්‍රීඩකයින්ගෙන් උදුරා ගත් ගයාන් වීරරත්න 31 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැත. (මහනුවර 22- CR 07)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 22 – 07 CR & FC

දෙවැනි අර්ධය ආරම්භයේ ම තරගයට අවතීර්ණ වූ මහනුවර කණ්ඩායමේ ධනුෂ්ක රන්ජන් 43 වැනි මිනිත්තුවේ දී සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සම්පුර්ණ කිරීමට සමත් විය. නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 29- CR07)

නයිජල් රත්වත්ත දිනය පුරා එතරම් පන්දුවට පා පහර දීම් සාර්ථක කර ගැනීමට අසමත්වුවත් 47 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් අලංකාර ලෙස සාර්ථක කර ගැනීමට සමත් විය. (මහනුවර 32- CR 07)

50 වැනි මිනිත්තුවේ දී CR & FC කණ්ඩායමේ හිරන්ත මනමේන්ද්‍ර දරුණු පාදයේ ආබාධයකට ලක්වීම නිසා රෝහල්ගත කරන්නට සිදු විය.

ලකුණු පරතරය තවදුරටත් ඉහළ දැමූ නයිජල් රත්වත්ත නැවත වරක් ක්‍රියාත්මක වෙමින් 54 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 35- CR 07)

‘Singer’ පාසල් රග්බි ලීගයේ තරග කාලසටහන නිකුත් වේ

2018 වසර සඳහා වන ‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලිය එළඹෙන මාර්තු මස 03 වන දින ආරම්භ…

දීර්ඝ වෙලාවක් නිහඬව සිටි CR පිලේ ඔමල්ක ගුණරත්න කණ්ඩායමේ වගකීම තමන්ගේ උරමතට ගනිමින් 58 වන මිනිත්තුවේ දී අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේ ඔහුව නැවත් වීමට ආ මහනුවර ක්‍රීඩකයින් රැසක් පෙරලා දමමිනි. තරින්ද රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 35- CR 14)

අවසාන භාගයේ ලකුණු පරතරය අඩු කර ගැනීමට CR ක්‍රීඩකයෝ දැඩි උත්සහයක නිරත වූ අතර අවශ්‍යම මොහොතක උත්සාහක සීමාව ඉක්මවා ගිය ශේමාල් වීරසේකර 62 වන මිනිත්තුවේ තවත් උත්සාහක දිනුමක් CR වෙත රැස්කර දෙමින් ඔවුන්ගේ අවසාන මහා තරග බලාපොරොත්තු දල්වා තබන්නට සමත් විය. තරින්ද රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 35- CR 21)

කාලයත් සමඟ සටනක නිරත වූ CR & FC කණ්ඩායම තවත් අපහසු අඩියකට ඇද දමමින් 66 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයේ තිළිණ වීරසිංහ සමත් විය. (මහනුවර 38- CR 21)

පළමු අර්ධයේ සිදු වූ අතපසුවීම් රැසක් දෙවැනි අර්ධයේ නිවැරදි කර ගත්තද  ‘Line Out’ අවස්ථා රැසක් සාර්ථක කර ගැනීමට අසමත් වීම CR පිලට දැඩි අවාසියක් ගෙන දුනි. තරගයේ 79 වන මිනිත්තුවේ දී CR කණ්ඩායම වෙනුවෙන් රීසා රෆයිඩීන් තරගයේ අවසාන උත්සාහක දිනුම රැස් කළ අතර තරින්ද රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් වීමත් සමඟ ලකුණු 38-26ක් ලෙස ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අවසාන මහා තරගයට පිවිසීමේ අවස්ථාව මහනුවර ක්‍රීඩා සමාජය හිමි කර ගන්නා ලදි.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 38 (5T,2C,3P ) – 26 (4T,3C) CR & FC

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • මහනුවර ක්‍රීඩා සමාජය: නයිජල් රත්වත්ත (2C, 2P), ධනුෂ්ක රන්ජන් (3T), ගයාන් වීරරත්න (1T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), තිළිණ වීරසිංහ (1P)
  • CR & FC: ඔමල්ක ගුණරත්න (1T), චානක චන්දිමාල් (1T), රීසා රෆයිඩීන් (1T), තරින්ද රත්වත්ත (3C), ශේමාල් වීරසේකර (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<