නාවිකයෝ ගුවන් හමුදාව බිම හෙලති

476

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පස්වැනි සති අන්තය ආරම්භ කරමින් අද (01) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගය ලකුණු 10-00ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

තරගය වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩාංගණයේ පැවති අතර දින කිහිපයක් තිස්සේ පැවති අයහපත් කාලගුණය නිසා ඇදහැළුණු වර්ෂාවෙන් ක්‍රීඩා පිටිය මුළුමනින්ම පාහේ මඩ වී තිබීම නිසා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩාශීලි බවට මෙන්ම ලකුණු පුවරුවට ද දැඩි බලපෑමක් එල්ල විය. ධනුෂ්ක පෙරේරා නාවික හමුදා පිල මෙහෙය වූ අතර පරාක්‍රම රත්නායක ගුවන් හමුදා පිල මෙහෙය විය.

පොලිස් පිටිය උඩු යටිකුරු කළ CH-පොලිස් සටන

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පස්වැනි සතිය ආරම්භ කරමින් අද (01), CH & FC කණ්ඩායමත්, පොලිස් ක්‍රීඩා සමාජයත් කොළඹ පොලිස් පිටියේ දී තරග වැදුණු අතර එම තරගය…

ආරම්භක මිනිත්තුවේ සිටම ගුවන් හමුදා පිල නාවික හමුදා අර්ධය අක්‍රමණය කරමින් ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ අතර පිටියේ පැවති තෙතබරිත තත්වය නිසා පන්දුව ඔවුන් අතින් ගිලිහී යාම ඔවුන්ට ලකුණු කරා යාමට තිබූ අවස්ථා කිහිපයක්ම අවහිර කිරීමට හේතු විය.

පිටියේ පැවතී ස්වභාවය නිසාම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයෝ තරගයේ වෙනසක් කළ හැකිව තිබූ අවස්ථාවල දී පන්දුව Knock-On කිරීම කැපී පෙනුණු කරුණක් විය. තරගයේ 10 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා පිලට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ප්‍රබල නාවික හමුදා ක්‍රීඩක තිළිණ වීරසිංහ අසමත් විය. තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයේ සිටින ඔහු (මේ තරගය ද සමඟ ලකුණු 54) පසුගිය තරගවල දී මෙන්ම මේ තරගයේ දී ද දඬුවම් පහර කිහිපයක් හා ප්‍රවර්තන කිහිපයක් සාර්ථක කර ගැනීමට අසමත්වීම කැපී පෙනුණු කරුණක් විය.

අනතුරුව ගුවන් හමුදාව ඉතා ක්‍රියාශීලීව උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළ ද, අවසාන මොහොතේ ඔවුන් සිදු කර ගත් අතපසුවීම් වලින් ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔවුන්ට මග හැරී ගියේය.

තරගයේ 32 වන මිනිත්තුව තෙක් දෙපිලම කරට කර සටනක නිරත වූ අතර Driving-Maul ආකාරයට පන්දුව ඉදිරියට ගෙන ගිය නාවිකයෝ තරගයේ වාර්තා වූ එකම උත්සාහක දිනුම 32 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් විය. නාවික හමුදාවේ දුලන්ජන් විජේසිංහ එම උත්සාහක දිනුමට හිමිකම් කීය. අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් යොමු කළ තිළිණ වීරසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (නාවික 07-00 ගුවන්).

පළමු අර්ධයේ අවසාන මිනිත්තු කිහිපයේ ද ගුවන් පිල ප්‍රබල සටනක නිරත වුවත් ඔවුන්ට නාවික පසුපෙළ ඉක්මවා උත්සාහක දිනුමක් කරා යාමට ඉඩ ලැබුණේ නැත.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 07-00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ ආරම්භයේ සිටම මද වැසි ඇදහැළුණු අතර එම නිසාම ක්‍රීඩකයින්ගෙන් දිස් වූයේ ඇල්මැරුණු ක්‍රීඩා විලාසයකි. ගුවන් හමුදා කණ්ඩායම ප්‍රබල ලෙස උත්සහ ගත්ත ද, Line-Out අවස්ථා සඳහා ප්‍රබල ලෙස තරග නොකිරීම ඔවුන්ගේ අවාසියට හේතු විය.

දඬුවම් පහර ලෙස ලබාගෙන ලකුණු බවට පරිවර්තනය කළ හැකිව තිබූ අවස්ථා Scrum අවස්ථා ලෙස ලබා ගත්ත ද ඒවා උත්සාහක දිනුම් බවට පරිවර්තනය කර ගැනීමට අසමත් වීම ලකුණු පුවරුවේ ගුවන් හමුදා ලකුණු සටහන් නොවීමට ද හේතුවක් විය.

ඩික්සන්ට මාස කිහිපයක විවේකයක්

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ පසුගිය දා පැවති හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH & FC ක්‍රීඩා සමාජය අතර තරගය අතරතුර දී, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක කෙවින් ඩික්සන්ගේ…

තරගයේ 65 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩක දිනූෂ ප්‍රනාන්දු කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු කටයුතු කළ අතර එය ප්‍රයෝජනයට ගත් ගුවන් ක්‍රීඩකයෝ ප්‍රබල උත්සහ කිහිපයක නිරත වුවද, තරගයේ පුරාම දුටු පරිදි උත්සාහක දිනුම පෙනෙන මානයේ සිදු කළ අතපසුවීම් නිසා ඔවුන්ට සාර්ථක වීමට නොහැකි විය.

ගුවන් හමුදාවේ ගයන්ත ඉද්දමල්ගොඩ ප්‍රමුඛ පසු ක්‍රීඩකයෝ කෙතරම් උත්සහ කළ ද උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට නාවික හමුදා ඉදිරිපෙළ අවස්ථාවක් ලබා දුන්නේ නැත. තරගයේ 71 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා පිලට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ අසමත් වූ අතර සිය වරද ක්ෂණයෙන් නිවැරදි කර ගත් ඔහු තරගයේ 74 වන මිනිත්තුවේ හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගනිමින් තරගයේ ජය නාවික හමුදා පිලට තහවුරු කර දීමට සමත් විය (නාවික10-00 ගුවන්).

නාවික හමුදාව වෙනුවෙන් Line-Out අවස්ථා සියල්ල සාර්ථකව ලබා ගනිමින් ප්‍රබල ක්‍රීඩා විලාසයක නිරත වූ අදිශ වීරතුංග ThePapare.com තරගයේ වීරයා ලෙස අභිසෙස් ලබා ගන්නා ලදි.

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 10 (1T 1C 1P) -00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: අදීශ වීරතුංග (නාවික)

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය: දුලංජන විජේසිංහ (1T), තිළිණ වීරසිංහ(1C 1P)

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<